නිෙවසක් සෞඛ්‍ය සම්පන්නව පවත්වාගෙන යාමේ පූර්ණ වගකීම පැවරෙන්නේ ගෘහිණියටයි. ඇය මුළුතැන්ගෙය තුළ සිදුකරන සුළු හෝ වැරැද්දක් මුළු පවුලේම අනාගතය තීරණය කරයි. අතීතයේ අපේ අම්මලා මැටි හට්ටියට, වේවැල් වට්ටියට පෙම් බැඳි යුගය අවසන් වී, අද සියල්ල “ප්ලාස්ටික්”මය ලෝකයකට අපි නතු වී සිටිමු. විශේෂයෙන්ම ආර්ථික අපහසුතා මැද “ලාභය” සොයා යන අපේ ගෘහිණියන්, ප්ලාස්ටික් භාණ්ඩ භාවිතයේදී සිදුකරන මාරාන්තික වැරදි බොහෝය. මේ සොච්චමක් ඉතිරි කරන්න ගිහින් මුළු පවුලම පිළිකා මාරයාට බිලිදෙනු ලබයි.
වර්තමාන වෙෙළඳපොළ දෙස බැලූ විට පෙනී යන්නේ සෑම මුළුතැන්ගෙයක්ම පාහේ ප්ලාස්ටික් ප්රදර්ශනාගාර බවට පත්ව ඇති බවයි. රුපියල් සියයකට හෝ දෙසීයයකට පාර අයිනේ අලෙවි කරන වර්ණවත් ප්ලාස්ටික් භාණ්ඩ දැකීමෙන් ගෘහිණියක් ලබන ආකර්ෂණය සුළුපටු නොවේ. “වීදුරු බඳුනක් ගන්න යන මුදලින් මේවා තුනක් ගන්න පුළුවන්” යන සරල තර්කය මත ඇය තම මුළුතැන්ගෙය ප්ලාස්ටික්වලින් පුරවනු ලබයි. නමුත් මේ ප්ලාස්ටික් භාණ්ඩ නිෂ්පාදනය කරන්නේ කුමන අමුද්රව්යවලින්ද යන්න ඇය දන්නේ නැත. බොහෝ විට මේවා නිපදවන්නේ රෝහල් අපද්‍රව්‍ය, කසළ බඳුන්වලින් ඉවත් කළ ප්ලාස්ටික් නැවත ප්‍රතිචක්‍රීකරණය කිරීමෙනි. මේවායේ අඩංගු ඊයම්, කැඩ්මියම් සහ තඹ වැනි බැර ලෝහ සෘජුවම අපේ ආහාර වේලට එක්වීමට ගතවන්නේ තත්පර කිහිපයකි. එම නිසා එයින් මිදීමට කටයුතු කළ යුතුය. ඔබ කරන වැරදිවලින් සිදු වන අනතුරු වන්නේ,
අයිස්ක්‍රීම් පෙට්ටියේ “මාළු – මස්” ගබඩා කිරීම
අපේ බොහෝ ගෘහිණියන් කරන පොදු වැරැද්දක් වන්නේ අයිස්ක්‍රීම් අනුභව කර අවසන් වූ පසු එම හිස් පෙට්ටි සෝදා එහි මස්, මාළු හෝ ඉතිරි වූ වෑංජන දමා ශීතකරණයට දැමීමයි. මෙය අහිංසක පුරුද්දක් ලෙස පෙනුනද, මෙහි ඇති විද්‍යාත්මක අනතුර අතිමහත්ය. අයිස්ක්‍රීම් පෙට්ටි නිපදවා ඇත්තේ අයිස්ක්‍රිම් වැනි ශීත කළ ආහාරයක් එක් වරක් පමණක් අලෙවි කිරීමට මිස, නැවත නැවත භාවිතයට හෝ සේදීමට නොවේ. මේ නිසා සිදුවන හානි විශාලය.
මාළු, මස් දමා සෝදන විට මේවායේ මතුපිට ඉතා සියුම් සීරීම් ඇති වේ. එම සීරීම් තුළ මස්, මාළු වල ඇති සැල්මොනෙල්ලා වැනි බැක්ටීරියා ලැගුම් ගනී. සාමාන්‍ය සේදීමකින් මේවා ඉවත් කළ නොහැකිය.
එසේම අයිස්ක්‍රීම් පෙට්ටි සෑදීමට යොදාගන්නා ප්ලාස්ටික් වර්ගය, තෙල් සහිත හෝ අම්ල සහිත ආහාර සමඟ ප්‍රතික්‍රියා කරයි. මස් මාළුවල ඇති තෙල් ගතිය නිසා ප්ලාස්ටික් වල ඇති විෂ රසායනික ද්‍රව්‍ය ඉතා වේගයෙන් ආහාරයට උරා ගනු ලබයි. තවද ශීතකරණයේ ‘ෆ්‍රීසර්’ එක තුළ අධික ශීතලට ලක්වන විට මෙම බාල ප්ලාස්ටික් පිපිරීමට හෝ එහි ක්ෂුද්‍ර අංශු ආහාරයට මුසු වීමට බොහෝ ඉඩ ඇත.
ලිපෙන් බාන උණුසුම් ආහාර දැමීම
අපේ ගෘහිණියන් කරන තවත් භයානක වරදක් වන්නේ ආහාරයේ උණුසුම පවතිද්දීම ඒවා ප්ලාස්ටික් බඳුන්වලට දැමීමයි. ඒවගේම ප්ලාස්ටික් යනු පොලිමර් වර්ගයකි. එය රත් වූ විට එහි ඇති රසායනික බන්ධන ලිහිල් වේ. එවිට ප්ලාස්ටික් වල අඩංගු Bisphenol A (BPA) සහ Phthalates නමැති රසායනික ද්‍රව්‍ය ඉතා වේගයෙන් ආහාරයට කාන්දු වේ. මෙය ඉතා භයානකය. තවද මේ රසායනික ද්‍රව්‍ය ශරීරගත වූ විට අපේ සිරුරේ ස්වභාවිකව නිපදවෙන “ඊස්ට්‍රජන්” හෝර්මෝනය අනුකරණය කරයි. මෙය දරුවන්ගේ ඉක්මන් වැඩිවිය පැමිණීමටත්, පුරුෂයන්ගේ ලිංගික දුර්වලතා වලටත්, කාන්තාවන්ගේ ගර්භාශ සහ පියයුරු පිළිකාවලටත් ප්‍රධාන හේතුවක් වේ.
වතුර බෝතල් දරුවන්ට ලබාදීමෙදි ඔබ කරන තවත් වැරදි ක්‍රියාවක් වන්නේ කඩයෙන් මිලදී ගන්නා බීම බෝතල් හෝ වතුර බෝතල් හිස් වූ පසු ඒවා සෝදා නැවත නැවතත් දරුවන්ට පාසල් යැවීමට ජලය පිරවීමයි. මෙය අද සමාජය තුළ සාමාන්‍ය දෙයකි. නමුත් මෙමඟින් වන හානිය බියකරුය. මේවා සැලසුම් කර ඇත්තේ “එක් වරක් පමණක්” භාවිතයටය. මේවා නැවත සේදීමේදී සහ අව්වේ රත් වීමේදී (පාසල් බෑගය තුළ) ප්ලාස්ටික් වල ඇති ඇන්ටිමනි වැනි විස ද්‍රව්‍ය ජලයට මුසු වේ. එමඟින් ඔබේ ආදරණීයන්ව ඔබට අහිමි වීමටද හැකිය. එසේම මෑතකදී කරන ලද පර්යේෂණවලට අනුව, ප්ලාස්ටික් බෝතල්වල ඇති ජලය පානය කරන විට වසරකට ක්ෂුද්‍ර ප්ලාස්ටික් අංශු දහස් ගණනක් අපේ සිරුරට ඇතුළු වේ.
ප්ලාස්ටික් භාණ්ඩවල අඩියේ ඇති රහස් අංක ඔබ දන්නවාද
ඕනෑම ප්ලාස්ටික් භාණ්ඩයක් මිලදී ගැනීමට පෙර එහි අඩිය පරීක්ෂා කරන්න. එහි ත්‍රිකෝණයක් තුළ අංකයක් සටහන් කර ඇති අතර එම අංකය බලා ප්ලාස්ටික් භාණ්ඩ මිලදි ගන්නට කටයුතු කළ යුතුය. ප්ලාස්ටික් භාණ්ඩ මිලදි ගැනීමේදි ඔබ මේ පිළිබඳව අවධානය යොමු කළ යුතුය. එනම්,
අංක 1 (PET): වරක් පමණක් පාවිච්චි කරන්න. නැවත පාවිච්චිය විසයි.
අංක 2 (HDPE) සහ 4 (LDPE): සාපේක්ෂව ආරක්ෂිතයි.
අංක 3 (PVC): ඉතා භයානකයි. ආහාර සඳහා කිසිසේත් සුදුසු නැත. පිළිකාකාරකයි.
අංක 5 (PP): වඩාත් ආරක්ෂිතයි. ආහාර ගබඩා කිරීමට සහ රත් කිරීමට වඩාත් සුදුසු ප්ලාස්ටික් වර්ගයයි.
අංක 6 (PS): අනතුරුදායකයි. රත් වූ විට විස වායු පිටවේ.
මුළුතැන්ගෙය ප්ලාස්ටික්වලින් තොර කිරීම එක රැයකින් කළ නොහැකිය. නමුත් ක්‍රමයෙන් මෙම වෙනස කළ හැකිය. එනම්,
අයිස්ක්‍රීම් පෙට්ටි ඉවත් කරන්න, මස් මාළු දැමීමට වීදුරු හෝ මල නොබැඳෙන වානේ බඳුන් පාවිච්චි කරන්න, ප්ලාස්ටික්වලින් වීදුරු වලට මාරු වන්න, වියළි ආහාර (සීනි, තේ කොළ, ධාන්‍ය) ගබඩා කිරීමට ජෑම් බෝතල් හෝ කෝපි බෝතල් සෝදා භාවිත කරන්න. ස්වභාවික දේ අගය කරන්න. එනම් හැකි සෑම විටම මැටි හට්ටි සහ වේවැල් වට්ටි භාවිතයට හුරු වන්න, මැටි බඳුනක තබන ආහාරයේ ගුණය සහ රසය ප්ලාස්ටික් බඳුනකට වඩා දහස් ගුණයකින් වැඩිය, එයට ඔබ පුරුදු වි ඔබේ ආදරණියන් රැක ගන්න අදම පියවර ගන්න.
අපේ ගෘහිණියන් පවසන්නේ වීදුරු හෝ වානේ භාණ්ඩ මිල අධික බවයි. වීදුරු භාණ්ඩ ගත හැකි වියදමින් ප්ලාස්ටික් භාණ්ඩ තුන හතරක් මිලදී ගත හැකි බවයි. නමුත් ප්ලාස්ටික් බඳුනක් මාස කිහිපයකින් විසි කිරීමට සිදු වන විට, වීදුරු බඳුනක් වසර ගණනාවක් පවතී. වඩාත්ම වැදගත් දෙය නම්, අද ඔබ ඉතිරි කරගන්නා රුපියල් දහස් ගණන හෙට රෝහල් බිල්පත් ගෙවීමට ප්‍රමාණවත් නොවීමයි. එබැවින් ඔබ අද මෙසේ ඉතිරි කර ගන්නා මුදල් මෙන් කිහිප ගුණයකින් හෙට වියදම් කිරිමට සිදු වේ. එම නිසා ලෝබකමට තිත තබමින් ඔබේ සෞඛ්‍ය ගැන සිතන්න.
මවකගේ ආදරය පිරෙන්නට ඕනෑ පිරිසුදු, සෞඛ්‍ය සම්පන්න ආහාර වේලකය. ප්ලාස්ටික්වලට ඇති ආශාව නිසා හෝ “ලෝබකම” නිසා ඔබේ පවුලේ අයගේ ලේ ධාතුවට වස විස එක් කිරීමට ඉඩ නොදෙන්න. බුද්ධිමත් ගෘහිණියක ලෙස අදම තීරණයක් ගන්න. ප්ලාස්ටික් රහිත නීරෝගි මුළුතැන්ගෙයක් ඔබේ නිෙවසටත් උදා කරගන්න.
TEXT – පවනි උමේෂා කැලණිය විශ්වවිද්‍යාලය
