Wednesday, March 11, 2026
Epaper
Home විශේෂාංගස්ත්‍රී ද්වේෂී වන්නේ ඇයි?

ස්ත්‍රී ද්වේෂී වන්නේ ඇයි?

by Shanaka Lakehouse

ගැහැනු ප්‍රශ්න ගැන ඇතැම් පූජ්‍ය පක්ෂයේ උතුමාණන්ට ඇත්තේ තදබල උනන්දුවකි. මිනිසුන්ගේ ගිහි ජීවිතය හැඩ ගැස්විය යුත්තේ ඔවුන් යැයි ඔවුහු සිතා සිටිති.

සැමියා බිරියට උදෑසන තේ හදා දුනහොත් බිරිය අපායේ යන බව එක් පූජකයෙක් වරෙක කීහ. ඇත්තටම එය බුදු බණක් නොවිය හැකි බව ඕනෑම අයෙකුට වටහා ගත හැකිය. මන්ද යත් තේ ඉන්දියාව, ලංකාව ඇතුළු රටවලට හඳුන්වා දුන්නේම යටත්විජිත යුගයේ බැවින් බුදුන් වහන්සේ තේ ගැන යමක් කියා තිබෙන්නට බැරිය.

ගර්භාශ යුද්ධයකට මුල් වූයේ ද ඇතැම් හිමිවරු ඇතුළු තක්කඩි දේශපාලකයින්ය.

පසුව හෙළි වූ පරිදි එය සම්පූර්ණ අසත්‍යයකි. ගර්භාශයක එල්ලී රටක් ගිනි තැබූ හනුමන්තලා ඔවුහුය. ඔවුහු ගර්භාශ කතාවක, තිසර පටක එල්ලෙන්නට හරිම ආසා කරන අයවලුන්ය. එසේ වන්නේ ඇයි? එය සිග්මන් ෆ්‍රොයිඩ් ඉදිරිපත් කළ සංරක්ෂණ ප්‍රයෝගයකි. තමාට අහිමි දෙයට ඔවුහු වෛර කරති. නරියා මිදි තිත්තයි කියන්නාක් මෙනි. ස්ත්‍රී ඇසුර අහිමි ඔවුහු එයට වෛර කරති. වෛර කරන්නට උගන්වා ඇත.

ලිංගික අධ්‍යාපනයේදී පූජ්‍ය පක්ෂය එයට විරුද්ධ වන්නේ ඇයි? එය වැසී ඇති කලාපයක් වශයෙන් පැවතිය යුතුය යන සාම්ප්‍රදායික මතවාදය නිසාය. අනෙක් අතට තමාට අහිමි ලිංගිකත්වය පිළිබඳ උන්වහන්සේලාට අතිශය බරපතළ ආශාව වෛරයක් බවට පරිවර්තනය කොට ගෙන ඇත. ආශාව සහ වෛරය එකම කාසියේ දෙපැත්ත වේ. පිරිමි දරුවන්ට ලිංගික අපචාර සිදුවූ නඩුවල විත්තිකරුවන් වන්නේ බොහෝ විට මෙම උත්තමයෝය.

අතීත කතාවල ඇත්තේ බරපතළ ස්ත්‍රී ද්වේෂයකි. ගැහැනු නම් යශෝධරා සේ ඇතැර ගිය සැමියා මත්තේ නැහිය යුතුය. ගැහැනු තළා පෙළා තබා ගත යුතු, නීති දමා පාලනය කළ යුතු, මිටෙකු, කොරෙකු, කුදෙකු හෝ සමඟ ඕනෑම වෙලාවක රමණයට සැරසුණු ජාතියක් සේ ජාතක කතා උගන්වා ඇත. උන් වහන්සේලා ද සිතන්නේ එසේය. ගැහැනු නම් චපලය, දෑඟිලි නුවණ ඇත. උන්වහන්සේලා දන්නේ එයයි.

වර්තමානයේ අගමැතිනිය ඉලක්ක කරගෙන ගෙන යන ලිංගික අපහාස සියල්ල අශීලාචාරය. ඇගේ ලිංගික දිශානතිය කුමක් වුවද එය අදාළ නැත. පෙළ පොත් ප්‍රශ්නයේදී රජයේ අකාර්යක්ෂමතාව සහ නොසැලකිල්ල අත්වැරැද්දට හේතුවයි. අගමැතිනියට සියලු පොත්වල සෝදුපත් බැලිය නොහැකිය. එහි සිටින එක් විරුද්ධවාදියකුට මෙය අන්තිම මොහොතේ වෙනස් කිරීමේ හැකියාව ඇත. එහෙත් දිගින් දිගටම අගමැතිනිය ඉල්ලක කරගෙන පහර දෙන්නේ ගැහැනියකගේ නායකත්වය උහුලන්නට බැරි පිරිමි සමූහය ඇතුළු උන්නාන්සේලාය. එහිදීද ඇගේ උසස් අධ්‍යාපනය පවා අවතක්සේරු කෙරෙයි. ඉතාම පහත් ආකාරයෙන් ඇයගේ ලිංගිකත්වය ප්‍රශ්න කෙරෙයි. මෙවන් සිද්ධි ලොව අන් කිසි තැනක සිදු නොවනු ඇත. එතරම්ම ලජ්ජාසහගතය.

මෙම ස්ත්‍රී ද්වේෂී සංස්කෘතිය වෙනස් කරන්නේ කෙසේද යන්න අප රට මුහුණ දෙන බරපතළ ගැටලුවකි.

You may also like

Leave a Comment

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?