Pulse ගැන මේ දේවල් දැන සිටියාද?
හෘදය සංකෝචනය වන විට රුධිර ධමනිවල(Arteries) සිදුවන රිද්මයානුකූල සංකෝචනය නාඩි ලෙස හඳුන්වයි. මෙය රුධිර සංසරණ පද්ධතිය මෙන්ම හෘදයේ ක්‍රියාකාරිත්වය පිළිබඳවත් ඉතා වැදගත් කරුණු රැසක් හෙළි කරයි. සාමාන්‍ය නීරෝගි වැඩිහිටි පුද්ගලයකුගේ නාඩිවල අගය විනාඩියකට 60 – 100ත් අතර අගයක පවතින අතර එය එම පුද්ගලයාගේ වයස, ක්‍රියාකාරීත්වය සහ කායික සෞඛ්‍ය මත වෙනස් වේ.
මෙහිදී නාඩිවල වේගයේ(Rate) අගය මෙන්ම නාඩිවල පරිමාව(Volume), රිද්මය(Rhythm) රෝග නිර්ණය සඳහා ඉතා වැදගත් වේ. නාඩි මැන බැලීම සඳහා රුධිර ධමනීන් කිහිපයක් යොදා ගන්නා අතර මෙහිදී අතේ මැණික් කටුව අසල මහපට ඇඟිල්ලට පහළින් ඇති රුධිර ධමනිය(Radial antery) බොහෝ විට ඈත අතීතයේ සිටම නාඩි ඇල්ලීම සඳහා යොදා ගනු ලැබේ. නාඩි ඇල්ලීමට පෙර එම පුද්ගලයා විනාඩි කිහිපයක් විවේකීව සිටීම හා නාඩි අල්ලන විට වාඩි වී සිටීම මඟින් නිවැරදි අගය ලබා ගත හැකියි.
නාඩිවල අගය අඩු වීම
නාඩිවල අගය විනාඩියකට 60කට වඩා අඩු වූ විට(Less than 60 beats per minute) එම තත්ත්වය බ්‍රැඩිකාඩියා(Bradycardia) ලෙස හඳුන්වනු ලැබේ. බොහෝ විට මෙම තත්ත්වය හෘද ස්පන්දනය අක්‍රමවත් බව(Conduction abnormalities), ඇතැම් පරිවෘත්තීය රෝගී තත්ත්වයන්(Metabolic disorders) සහ සමහර ඖෂධවල අතුරුපලයන්(Side effects of medications) ලෙස ඇතිවිය හැකියි. මෙහිදී එම රෝගියාට ක්ලාන්ත ගතිය, ඇස් නිලංකාර වීම සහ ඇඟට පණ නැති වීමට පුළුවනි.
නාඩිවල අගය අඩු වීම
නාඩිවල අගය විනාඩියකට 100කට වඩා වැඩි වූ විට(More tan 100 beats per minute) එම තත්ත්වය ටැකිකාඩියා(Tachycardia) ලෙස හඳුන්වනු ලැබේ. මෙම තත්ත්වය උණ, අධික විජලනය, රක්තහීනතාව, තයිරොයිඩ් ග්‍රන්ථියේ ඇතිවන රෝගී තත්ත්වයන් සහ හෘද ස්පන්දනයේ ඇතිවන අක්‍රමවත් තත්ත්වවලදී(Cardiac Arrhythmia) දැකිය හැකියි.
මෙම අවස්ථා දෙකේදීම ඉතා ඉක්මනින් නිසි වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම අත්‍යවශ්‍ය වේ.
නාඩි වේගය අඩු, වැඩි තත්ත්ව ඇති විට සැලකිලිමත් විය යුතු කරුණු
* අධික ලෙස කරන ව්‍යායාම වෙනුවට සරල ව්‍යායාමවල නිරත වන්න. මෙහිදී පොදුවේ කරන ව්‍යායාම වෙනුවට වෛද්‍ය උපදෙස් හෝ භෞත චිකිත්සකවරයෙක්ගේ උපදෙස් මත අදාළ ව්‍යායාමවල නිරත වන්න.
* දුම්පානය සහ අධික ලෙස මත්පැන් බීම සුදුසු නොවේ.
* අධිරුධිර පීඩනය, දියවැඩියාව, කොලෙස්ටරෝල් වැනි තත්ත්ව ඇත්නම් නියමිත ඖෂධ ගෙන ඒවා පාලනය කරගන්න.
* නින්ද යෑමේ ගැටලු ඇති අය ඒ සඳහා වෛද්‍ය උපදෙස් ලබා ගන්න. මේ අයට හෘදය වස්තුව සම්බන්ධ ගැටලු ඇති විය හැකියි.
* හෘදයට හිතකර ආහාර රටාවකට හුරුවන්න.
* ආහාරවලට ලුණු එක්කිරීම හැකිතාක් සීමා කරන්න.
* කැෆේන් අඩංගු කෝපි, චොකලට් කෑම අඩු කරන්න.
* ශක්තිජනක පාන ගැනීම සුදුසු නොවේ.
* කෑම පාලනය කිරීම ආදියේ නිරත වන්නේ නම් ඒ සියල්ල කළ යුතු වන්නේ පොදු උපදෙස් අනුව නොව වෛද්‍යවරයකු වෙතින් නිර්දේශ කරන රටාවකට අනුවයි.
හෘද ස්පන්දනය(Heart rate) සහ නාඩි(Pulse rate) යනු දෙකක්ද?
හෘද ස්පන්දන වේගය(Heart rate) යනුවෙන් හඳුන්වන්නේ හෘදය විනාඩියක් තුළ සිදුවන සංකෝචනය වීමයි. මෙය හෘදය බිත්තියේ ඇති SA(Sino Atrial node) ගොනුව හෙවත් ස්වාභාවික බැටරිය මඟින් පාලනය වේ. හෘද ස්පන්දන වේගය මඟින් පිළිබිඹු වන්නේ හෘදයේ විද්්‍යුත් ආරෝපණයේ ක්‍රියාකාරීත්වයයි. මෙය හෘද කන්තු රේඛනය හෙවත් හෙවත් Echocardiography(ECG) මඟින් මැන ගත හැකියි.
නාඩි වේගය(Pulse rate) ලෙස හඳුන්වන්නේ එම හෘද සංකෝචනය වීම ඔස්සේ රුධිර ධමනිවල පීඩන වෙනස මඟින් ඇතිවන විස්තාරණය වීමයි.
මෙම හෘද වේගය හා නාඩි වේගය බොහෝ විට එකම අගයක් ගන්නා අතර හෘදයේ විද්යුත් ආරෝපණ පද්ධතියේ සිදුවන අක්‍රමිකතාවන්(Cardiac Arrhythmia) වලදී වෙනස් අගයන් ලෙස පැවතිය හැකියි. මෙම තත්ත්වය බොහෝ විට වයසක පුද්ගලයන් අතර බහුලව පවතින නමුත් එම තත්ත්වය තරුණ ප්‍රජාව අතරද දැන් සුලබව දක්නට ලැබේ.
හෘද අකර්මණ්‍යතාව(Cardiac arrest) යනු කුමක්ද?
බෙල්ලේ ඇති ප්‍රධාන රුධිර ධමනියේ(Carotid Pulse)නාඩි වැටීමක් නොදැනුණහොත් එම පුද්ගලයා හෘද අකර්මණ්‍යතාවට පත්ව ඇතැයි සලකනු ලැබේ. මෙහිදී එම පුද්ගලයා ප්‍රතිචාර නොදැක්වීම හා හුස්ම නොගැනීමද දැකිය හැකියි. මෙම අවස්ථාවේදී වහාම හෘද සම්බාහනය පටන් ගත යුතු අතර වහාම රෝගියාව ළඟම තිබෙන රෝහලට රැගෙන යා යුතුය. හෘදය නැවතී විනාඩි 10ක් ඇතුළත මොළයේ ස්නායු මියයා හැකි අතර විනාඩි දහය පසු වී ප්‍රමාද වී පැමිණෙන හෝ හෘද සම්බාහනය එම අවස්ථාවේදීම පටන් නොගතහොත් මොළය මියගිය රෝගියෙක් බවට පත්වෙයි.
පාදයේ හෝ කකුලේ නාඩි වැටීම දුර්වල වූ විට කුමක් සිදුවේද?
පාදයට රුධිරය සපයන රුධිර ධමනිවල අවහිරතා හේතුවෙන් පාදයේ ඇති සියුම් කේශනාලිිකා මියයා හැකියි. (Peripheral Vascular Diseases). මෙය බහුලවම කොලෙස්ටරෝල් අධික රෝගීන් අධික දුම් පානය කරන්නන් දියවැඩියා රෝගීන් අතර බහුලව දක්නට ලැබෙන තත්ත්වයකි. මෙහිදී මූලික අවස්ථාවේදී ඇවිදින විට වේදනාව හා පසුව පාදයේ තුවාල ඇතිවීම දක්වා වර්ධනය විය හැකියි. පාදය හිරි ගතියක් හෝ ඇවිදින විට වේදනාවක් ඇතිවූ විට වහාම වෛද්‍ය උපදෙස් ලබා ගැනීම ඉතා වැදගත් වේ.
නාඩි ගණනය කිරීම සඳහා ඔරලෝසුවක් භාවිත කොට නිවැරදිව විනාඩියක කාලයක් තුළ ඔබට දැනෙන නාඩි ගණන ගණනය කරන්න.
විනාඩියක් තුළ සාමාන්‍යයෙන් තිබිය යුතු නාඩි වාර ගණන
*ළදරු (වයස අවුරුදු 1 යි) – විනාඩියකට වාර 100 සිට 160 දක්වා
*කුඩා දරුවා (වයස අවුරුදු 1 සිට 3 දක්වා) – විනාඩියකට වාර 90 සිට 140 දක්වා
*පෙර පාසල් සිසුවා (වයස අවුරුදු 3 සිට 6 දක්වා) – විනාඩියකට වාර 80 සිට 120 දක්වා
*ළමා (වයස අවුරුදු 6 සිට 12 දක්වා) – විනාඩියකට වාර 70 සිට 110 දක්වා
*යෞවන සහ වැඩිහිටි (වයස අවුරුදු 12 ට වැඩි) – විනාඩියකට වාර 60 සිට 100 දක්වා
TEXT – ආශිර්වාදිනි හෙට්ටිආරච්චි
