කෙසෙල් ශාකයේ නිජභූමිය වන්නේ දකුණු අග්නිදිග ආසියානු කලාපයයි. කෙසෙල් මූසා කුලයට (Musa) අයත් වන අතර, පලතුරු ලෝකයේ කොමඩුවලට පමණක් දෙවැනි වැඩිම නිෂ්පාදනයක් තිබෙන පලතුරු භෝගය වේ. ලෝකයේ සෑම රටකම කෙසෙල් පලතුරක් ලෙස ජනප්‍රියව පැවතියද, කෙසෙල් මල් ආහාරයක් ලෙස ගන්නේ ඉන්දියාව, ශ්‍රී ලංකාව සහ අග්නිදිග ආසියානු රටවල් පමණි.
ආහාරයට ගන්නා කෙසෙල් මලට මෙරට ජනතාව “කෙසෙල්මුව ”, “වතුමුහ” යන නම් ද භාවිත කරයි. පැරැන්නන් අතර කෙසෙල්මුව ඉතාමත් පෝෂණීය එළවළුවක් ලෙස ප්රකටව තිබුණ ද, වර්තමානය වන විට බොහෝ දෙනකුගේ ආහාර ප්‍රමුඛතා ලැයිස්තුවේ මෙය පහළට වැටෙමින් තිබෙන එළවළුවකි. මිලෙන් අඩු වුවද, සොයා ගැනීමට පහසු වුව ද, නොදන්නාකම නිසාවෙන් ඒ හැටි වටිනාකමක් හිමි නොවුණු මෙම එළවළුව රෝගාබාධ රැසකට විසඳුම් දෙන අරුම පුදුම ඹෟෂධීය සහ පෝෂණීය ගුණ සම්භාරයකි.
යකඩ යනු රුධිර නිෂ්පාදනය සඳහා අත්‍යවශ්‍ය අංගයකි. මිනිස් සිරුරේ යකඩවලින් සියයට 70ක් පමණ හිමොග්ලොබින් ලෙස හඳුන්වන රුධිරයේ රතු රුධිර සෛලවල හා මයෝග්ලොබින් නම් මාංසපේශි සෛල තුළ දක්නට ලැබේ. ඔක්සිජන් පෙණහලුවල සිට පටකවලට මාරු කිරීම සඳහා හිමොග්ලොබින් අත්‍යවශ්‍ය වේ.
යකඩවලින් සියයට 6ක් පමණ ශ්වසනය හා බලශක්ති පරිවෘත්තීය සඳහා අත්‍යවශ්‍ය වන ඇතැම් ප්‍රෝටීනවල සංඝටකයක් වන අතර, කොලජන් හා සමහර ස්නායු සම්ප්‍රේෂක සංස්ලේෂණයට සම්බන්ධ එන්සයිමවල ද යකඩ සංඝටකයක් වෙයි. ප්‍රතිශක්තිකරණ පද්ධතියේ නිසි ක්‍රියාකාරිත්වය සඳහා ද යකඩ අවශ්‍ය වෙයි. මේ අනුව, මිනිස් රුධිරයේ සහ යහපත් කායික මානසික පැවැත්මේ අතිශය තීරණාත්මක කාර්යභාරයක් සඳහා ආහාර මඟින් අප ලබා ගන්නා යකඩ පදාර්ථය වැදගත් වෙයි. රුධිරයේ යකඩ පදාර්ථය අඩු වීම, ලේ හිඟකම නොහොත් රක්තහීනතාව සඳහා බලපානු ලබන ප්රමුඛ සාධකයක්ද වෙයි.
යකඩ අඩංගු ශාකමය ආහාරය ලෙස ජනප්‍රියව තිබෙන්නේ නිවිති, මෑ, මුං, බෝංචි වැනි ඇට වර්ග වෙයි. එකී ආහාර ග්‍රෑම් සියයක යකඩ මිලිග්‍රෑම් 3 – 4 ක් අතර ප්‍රමාණයක් තිබෙන අතර, පීකුදු ග්‍රෑම් සියයක යකඩ මිලි ග්‍රෑම් 6.5ක් පමණ අන්තර්ගත වෙයි. එහෙත්, නවතම සොයා ගැනීම්වලට අනුව කෙසෙල් මල් ග්‍රෑම් සියයක යකඩ මිලිග්‍රෑම් 56.4ක් තිබෙන බව සොයා ගෙන තිබෙනවා. වෙනත් ආකාරයකට පැවසුවහොත්, දෛනිකව ගර්භිණී මවකට අවශ්‍ය යකඩ ප්‍රමාණය ලබා ගැනීමට ආහාරයට ගත යුත්තේ කෙසෙල් මල් ග්‍රෑම් 50ක් පමණකි.
කෙසෙල් මල් ග්‍රෑම් 100ක තඹ මිලි ග්‍රෑම් 13ක් අඩංගු වන අතර, එය තඹ සුලභවම අන්තර්ගතවන ආහරවල උපරිම අන්තර්ගත වන ප්‍රමාණය මෙන් තුන් හතර ගුණයකටත් වඩා වැඩි වෙයි. තඹ අධිකව ශරීරයට ලබා ගැනීම අතුරු ආබාධ සඳහාද හේතු වන බැවින්, දිනපතා ආහාරයට කෙසෙල් මල් සුදුසු නොවන බව ද මේ අනුව අවධාරණය කළ යුතුව ඇත. මෙයට අමතර කෙසෙල් මල් පොටෑසියම්, කැල්සියම්, මැග්නීසියම්, සෙලෙනියම්, සින්ක් යන ඛනිජ ලවණ වර්ග පිරි ආහාරයකි. කෙසෙල් මල්වල අන්තර්ගත තවත් සුවිශේෂි පෝෂණ ගුණයක් වන්නේ මෙහි සුලභව ආහාරමය කෙඳි අඩංගු වීමයි. කෙසෙල් මල් විටමින් C, A, සහ විටමින් E යන ශරීරයට හානි කරන විනාශකාරි නිදහස් මුක්ත ඛණ්ඩක විනාශ කිරීමට ද ඉවහල් වන ප්‍රතිඔක්සිකාරකයකි. මෙයට අමතරව කෙසෙල් මල්වල ප්‍රෝටීන් බහුලය.
කෙසෙල් මල් ආසාදනවලට ප්‍රතිකාරයක් ලෙස භාවිත කළ හැකි බවට වන පර්යේෂණාත්මක සාක්ෂි ඇත. කෙසෙල් මල තුවාල සුව කිරීමට උපකාරී වන බවත්, කෙසෙල් මල් සාරය මඟින් මැලේරියා පරපෝෂිතයාගේ වර්ධනය වළක්වා ගත හැකි බවත් ඇතැම් අධ්‍යයන මඟින් සොයා ගෙන ඇත. විද්‍යාඥයින්ගේ අවධානය වැඩිපුරම යොමු වී ඇත්තේ කෙසෙල් මල සතු රුධිරයේ සීනි මට්ටම පාලනය කිරීමේ ගුණය පිළිබඳවය. මේ පිළිබඳ පර්යේෂණ කිහිපයක්ම සිදුකර ඇති අතර, ඒ සියලු පර්යේෂණවල ප්‍රතිඵල බලාපොරොත්තු ඇති කරවනසුලු වෙයි.
ශරීරය තුළ නිදහස් මුක්ත ඛණ්ඩක ඇති වීම බරපතළ සෞඛ්‍ය ගැටලු සඳහා හේතු වෙයි. වාසනාවකට මෙන්, එම මුක්ත ඛණ්ඩක විනාශ කරන ප්‍රතිඔක්සිකාරක කෙසෙල් මලෙහි යහමින් තිබෙන බව සොයා ගෙන තිබෙනවා. මේ අනුව අකලට වියපත් වීම, ස්නායු ආබාධ, හදවත් රෝග සහ පිළිකා වැනි සෞඛ්‍ය ගැටලු රැසකට පිළියමක් ලෙස කෙසෙල් මල් භාවිත කළ හැකි වෙයි.
මනෝභාවය වැඩි කර කාංසාව අඩු කරයි. එහි සුලභව අන්තර්ගත මැග්නීසියම් නිසා කෙසෙල් මල්, කාංසාව සහ මානසික අවපීඩනය අඩු කොට මනෝභාවය වැඩි දියුණු කිරීම කරයි. ආර්තව රුධිර වහනය අඩු කරයි.
ඔසප් වීමේ දී ඇතැම් කාන්තාවන්ට අධික වේදනා ගෙන දෙන අතර ඇතැම් කාන්තාවන්ට අධික ලෙස ඔසප් සමඟ රුධිරය වහනය වෙයි. පිසූ කෙසෙල් මල් වෑංජන හැන්දක් ඔබේ බත්පතට බෙදා ගැනීමෙන් මෙම විස්මිත ප්‍රතිඵල ලැබිය හැකිය. යෝගට් සමඟ පිසූ කෙසෙල් මල් ශරීරයේ ප්‍රොජෙස්ටරෝන් හෝමෝනය ද වැඩි කරන අතර ලේ ගැලීම් ද අඩු කරන බව සොයා ගෙන ඇත.
කෙසෙල් මල් ගර්භිණී සහ කිරි දෙන මවකට වස විසවලින් අවම උසස් පෝෂ්‍ය පදාර්ථ ලබා දෙන බවට සහතික කරන ලාභදායි සහ විශ්වාසවන්තම ආහාරයකි. ගර්භිණී සමයේ දී ඇතැම් මවුවරුන්ට දියවැඩියා රෝගය වැලඳීමේ අවදානමක් තිබෙන බැවින්, එවැනි අවදානමක් මඟ හරවා ගැනීම සඳහා ද කෙසෙල් මල් ආහාරයට ගැනීම වැදගත්. එමෙන්ම උදෑසන ඔක්කාරය සමනය කිරීමේ ගුණයක් ද කෙසෙල් මල්වල ඇත. තව ද මල බද්ධය වළක්වන ආහාරයක් ද වන බැවින් ගර්භිණී මවුවරුන්ගේ ආහාර වට්ටෝරුවේ සතියකට දෙතුන් වේලක්වත් කෙසෙල් මල් අන්තර්ගත වීම බොහෝ සෞඛ්‍ය ප්රතිලාභ සඳහා හේතු වන බව කිව හැකිය. මවුකිරි දීමේදී විශේෂයෙන් නවක මවුවරුන් බොහෝ ගැටලුවලට මුහුණ දෙති. ඔවුන් මුහුණ දෙන ප්‍රධාන ගැටලුවක් වන්නේ කිරි සැපයුම අඩු වීමය. කෙසෙල් මල් කිරි සැපයුම වැඩි කරන අතර, නව මවුවරුන්ට තම ළදරුවන් වඩා හොඳින් පෝෂණය කිරීමට උපකාරී විය හැකිය.

කෙසෙල්මුව සම්බෝලය
අවශ්‍ය ද්‍රව්‍ය
ළපටි කෙහෙල්මුවක්
හීනියට ගා ගත් පොල් මිටක් පමණ
උම්බලකඩ කුඩු ටිකක්
රතු ලූනු ටිකක්
සිහින්ව කපා ගත් අමු මිරිස් කරල් 5ක් පමණ
පදමට සෑහෙන සේ ලුණු කුඩු
සාදන ක්‍රමය
කෙසෙල්මුව පිටත ඇති පියලි (පොතු ) කිහිපයක් ඉවත් කර ළපටි කොටස මතු කර ගන්න. ඉන් පසුව සිහින්ව ලියා ගෙන ලුණු වතුරේ දමන්න. (කෙසෙල්මුව කහට පිපීමෙන් වළක්වා ගැනීම සඳහා) මඳ වෙලාවකින් වතුරෙන් ගෙන හොඳින් මිරිකා ගන්න. රතු ලූනු, අමු මිරිස් සිහිනව කපාගෙන, එයට සිහින්ව ගා ගත් පොල් දමා උම්බලකඩ දමන්න. අවශ්‍ය ප්‍රමාණයට ලුණු හා දෙහි එකතු කර කෙසෙල්මුව සමඟ හොඳින් කළවම් කරගන්න.

කෙසෙල්මුව සීනි සම්බෝල
අවශ්‍ය ද්‍රව්‍ය
කෙසෙල්මුවයක්
බී ලූනු
සුදු ලූනු
කරපිංචා
කුරුඳු
කරදමුංගු
සියඹලා
රම්පෙ
කෑලි මිරිස්
සීනි
ලුණු
කරාබු නැටි
අවශ්‍ය නම්,
කරවල/ උම්බලකඩ
රටකජු
පරිප්පු, කඩල
ගාගත් පොල් ටිකක්
සාදන ක්‍රමය
කෙසෙල්මුව, බී ලූනු සහ සුදු ලූනු සිහින්ව කපා ගන්න. ඒවා රන්වන් පාට වෙනතුරු ගැඹුරු තෙල්වල බැද ගන්න. කරපිංචා, රම්පෙ, කරදමුංගු, කුරුඳු ආදිය ද තෙල්වලට දමා ඉක්මනින් ආපසු ගන්න. කරවල, රටකජු ආදිය එක් කරනවා නම් ඒවා ද බැද ගන්න. සියඹලා ටික වතුර මේස හැඳි දෙකක පමණ දිය කර එයට සීනි මේස හැන්දක්, ලුණු සහ මිරිස් දමා භාජනයක දමා ළිප තබා හොඳින් හැඳි ගා ඝන සෝස් එකක් සාදා ගන්න. එය ඇලෙන ගතියක් එන විට ළිපෙන් බා ගන්න. කලින් බැද ගත් සියල්ල එයට මිශ්‍ර කරන්න. හොඳින් සෝදා වේළා ගත් බෝතලයක දමා තියන්න. සතියක් පමණ එළියේ තබා ගන්න පුළුවන්.

කෙසෙල්මුව වඩේ
අවශ්‍ය ද්‍රව්‍ය
කෙසෙල්මුව
උම්බලකඩ
කොච්චි මිරිස් කරල්
රතුලූනු
කරපිංචා
පරිප්පු (ග්‍රෑම් 250ක්)
පොල් තෙල්
සාදන ක්‍රමය
කෙසෙල්මුවය හොඳට සෝදා ඉතා සිහින් ලෙස කපා උතුරන වතුරට දමන්න. විනාඩි 5 ක් පමණ කාලයක් කපාගත් කෙසෙල්මුව තම්බා ගන්න. තම්බාගත් කෙසෙල්මුව වතුර මිරිකාහැර මිරිස් ගලක හෝ වංගෙඩියක දමා තරමක් තළාගන්න. සුළු මොහොතක් පරිප්පු පෙඟෙන්නට හැර සෝදා ගලේ අඹරාගන්න. ඊටපසු ලියාගත් ලූනූ, කරපිංචා, කොච්චි, උම්බලකඩ, අඹරාගන්නා ලද පරිප්පු සියල්ල කෙසෙල්මුවට දමා ලුණු එකතු කරමින් හොඳින් සියල්ල එකට මිශ්‍රවන සේ අනාගන්න. පසුව තමන් කැමති ප්‍රමාණයට (වඩයක ප්‍රමාණයට) මිශ්‍රණයෙන් ගුළියක් ගෙන මඳක් පැතලි කොට හොඳින් රත්වූ තෙල් තාච්චියකට දමා රන්වන් පැහැ වන තුරු බැදගන්න.

කෙසෙල්මුව ව්‍යංජනය
අවශ්‍ය ද්‍රව්‍ය
කෙසෙල්මුව 1
රටලූනු ගෙඩි (සිහින්ව ලියා ගන්න)
අමුමිරිස් කරල් 2ක් (ඇලයට කපා)
කෑලි මිරිස් මේස හැඳි 2
උම්බලකඩ කැබැලිවලට කොටා ග්‍රෑම් 50ක්
දියකිරි කෝප්ප 2
කහ ස්වල්පයක්
සාදන ක්‍රමය
කෙසෙල්මුව පිට පොතු ගලවා පිසීමට සුදුසු කොටස ගෙන සිහින්ව ලියාගෙන කහ සහ ලුණු මිශ්‍ර වතුරේ දමන්න. හට්ටියක් ගෙන ළිපේ තබා හට්ටිය හොඳට රත්වූ පසු කෙහෙල්මුව වතුරෙන් මිරිකා හට්ටියට දමන්න.
එය වතුර ගතිය හිඳෙන තුරු හට්ටිය හැඳි ගාන්න. එයටම රටලූනු, අමුමිරිස්, කෑලි මිරිස්, උම්බලකඩ දමාගන්න දියකිරි කහ සමඟ එකතු කර කෙසෙල්මුව ව්‍යංජනයට දමා පිස ගන්න. හොඳින් තම්බාගත් කෙසෙල්මුව ලුණු සහ දෙහි යුෂ එක්කර කෑමට ගන්න.
TEXT – හිරුෂිකා ප්‍රියදර්ශනි
