මුළුතැන්ගෙයින් ඉවතලන බොහෝ දේ අප නැවත නැවතත් භාවිතයට ගන්නා වාර අපමණයි. විශේෂයෙන්ම භාවිතයෙන් පසුව ඉවත් කරන තේ රොඩු, පොල් කුඩු, බිත්තර කටු, ලූනු පොතු ආදිය බොහෝ විට ශාක පොහොර ලෙස යොදා ගැනේ. ඊට අමතරව නෙත පිනවන සොඳුරු නිර්මාණ සකසා ගන්නටත් මේ ඉවතලන දේ ප්‍රයෝජනයට ගන්නා බව බොහෝදෙනකු නොදන්නා රහසකි.
ගහකොළට පොහොරක් වී එහෙමත් නැතිනම් කොහේ හෝ කුණු ගොඩක දිරාපත් වන බිත්තර කටුවෙන් මැවෙන මේ සොඳුරු නිර්මාණ දෙස මොහොතක් නෙත් යොමන්න. විසිත්ත කාමරය, සාලය, කෑම කාමරය ආදී ලෙසින් ගෙතුළ සරසන්නටත්, නෑ හිත මිතුරෙකුට තිළිණ කරන්නටත් හරි අපූරු නිර්මාණ සමූහයක් නේද? විශේෂයෙන්ම විවාහ මංගල, ප්‍රිය සාද, උපන්දින සාද වැනි උත්සව අවස්ථාවල අලංකර මේස සැරසිල්ලකට මේ බිත්තර කටු නිර්මාණ හරිම අපූරුයි. ඊට අමතරව ස්වයං රැකියාවක් ගැන නිතර සිහින මවන ඔබට මෙය කදිම අදහසක්ද රැගෙන එයි.
මේ සඳහා ඔබට අවශ්‍ය වන්නේ සෝදා පිරිසුදු කර ගත් බිත්තර කටු, ඔබ කැමැති වර්ණ කිහිපයක්, පින්සලක් සහ ගම් ස්වල්පයක් පමණි. ඊට අමතරව විසිතුරු පබළු, අලංකාර රේන්ද, කම්බි, රිබන්, කෝඩ් නූල් ආදිය භාවිත කරමින් වඩාත් සුන්දර නිර්මාණ සකසා ගත හැකියි.
මෙවැනි නිර්මාණ සඳහා බිත්තර කටු ලබා ගැනීමේදී තරමක් කුඩා සිදුරක් සාදා ඒ තුළින් පරෙස්සමෙන් බිත්තර මදය පිටතට ගත යුතු අතර තම්බා ගත් බිත්තරයක් වුවද කටුව වඩාත් පළුදු නොවන අයුරින් ගලවා අනතුරුව ගම් ගා අලවා ගන්න. විසිතුරුව වර්ණ කිරීමෙන් මේ අලවා ගත් ස්ථාන පිටතට නොපෙනෙන්නට සකසා ගන්නට තරම් ඔබ සූක්ෂ්ම විය යුතුමයි.
TEXT – චම්පා වරුසප්පෙරුම
