අසෙනි ඇහැරෙන විට දවල් දොළහත් පසු වී තිබෙයි. ඇස් පියන් අරින්නට නොහැකි තරම් දැවිල්ලක් දැනෙයි. කවුළු තිර අතරින් එන ඉර එළිය පවා ඒ ඇස් දැවිල්ල දෙගු ණ තෙගු ණ කරයි. තද හිසේ කැක්කුමක් ද වතුර තිබහක් ද දැනෙයි. ගැල වූ ඇඳුම් ඇඳ පාමුල වැටී තිබෙයි. අවදි වූ සැණින් ඈ සොයන්නේ නිගූවයි. නිගූගේ සුවඳ ඇගේ සියොළඟ තැවරී තිබෙයි. එහෙත් ඇස් ඇර දැන් තමා සිටින්නේ තමන්ගේම කාමරයේ බව වැටහී පියවියට පිවිසෙයි. පෙරදා රැයේ ගෙදර ආවේ කොහොමදැයි ඇයට මතක නැත. ඈ කාමරයට වැදී දොරගුළුලා ගත්තා මතකය.
පෙරදා රැයෙහි අසෙනි නිගූ සමඟ සැරිසරන්නී මායාවී සුපින ලොවකයි. වෙරළබඩ අවන්හලෙන් නික්ම ඔවුහු රාත්‍රී සාද නිකේතන කිහිපයකට පිවිසෙති. අසෙනිට වුවමනා පියවියෙන් මිදී නිගූ සමඟ සැරිසැරීමටයි. ඈ යන්නේ කොහේදැයි ඔහුගෙන් නොඅසයි. ඔහුගේ ඇගේ දැවටී නටයි. පදමට මත් වී වර්ණ බුබුළු එළි කිරණින් විචිත්‍ර වූ සාද නිකේතනයක ටෙක්නො මියැසියේ රිද්මයට ඈ පාවෙයි. විටෙක ඔහුගේ ගෙලෙහි මුහුණ හොවා ගෙන හඬමින් ද සිනාසෙමින්ද මොන මොනවදෝ මුමුණයි. අගක් මුලක් නැති විකාර දේවල් ඔහුගෙන් අසයි. ඇත්තෙන්ම ඇයට වුවමනා පියවියෙන් මිදී වල්මත් වීමටයි. තවදුරටත් නිගූ තමාගේ යැයි සිතීම මුලාවක් බව ඇයට වැටහෙයි.
අම්මාගේ වචනය ලැබෙන තුරු දෙගිඩියාවෙන් සිටින කාලය නිගූට ගැටලුවක් නැතත් එය තමාගේ අනාගතය පිළිබඳ ප්‍රශ්නයකි. තමා ප්‍රාණසම ආදරයකින් මත්ව හඹා ගොස් ඇත්තේ මිරිඟුවක් පසුපස නොවේදැයි වටහා ගත්තද ඔහු කෙරෙහි තමා තුළ ඇති අසීමිත වසඟයෙන් ගැලවෙන්නේ කෙසේදැයි ඇයට අදහසක් නැත. ඈ සිතාමතාම මායා ලොවකට පිවිසෙන්නේ එබැවිනි. එය තාවකාලික සහනයකි. දැන දැනම රැවටීමකි. මේ තරම් දැඩිව තමා වසඟයට ගත් මිනිසාට බැණවදින්නට හෝ සාප කරන්නට ඇයට නොහැකිය. තමා ගැන මීට වඩා සිතන්නැයි නැවත නැවත ඔහුට ඇවිටිලි කරන්නට ඇය අකැමැතියි. මැදියම් රැය පසු වී රාත්‍රී අවන්හල් පාදමක අඳුරු මුල්ලක නැවතූ රථය තුළ ඈ ඔහුව වියරුවෙන් සිප ගනියි.
” මේ අන්තිම පාර ..මේ අන්තිම පාර..ආයේ කවදාවත් මොකවත්ම එපා” යනුවෙන් කෑගසා හඬමින් ඔහුගේ ගෙල බදාගෙන දෙතොල වැරෙන් ඇද බොහෝ වේලාවක් ඉකි ගසයි. පොඩි දරුවකු මෙන් මුව අයාගෙන හඬයි. සුසුම් කඳුළු උතුරයි. ඉකිය මඳකට නවතා මුමුණයි.
” මං ආයේ කවදාවත් ඔයාගෙන් කිසි දෙයක් ඉල්ලන්නෙ නෑ.. මෙච්චර දවසක් ඔයා මට දුන්නු ආදරේ.. ඔයාගේ ලස්සන වචන… ඔයාගේ හැමදෙයක්ම… ඒ මතක කන්දරාවම ඇති මට ජීවිතේටම..”
නිගූ කිසිවක් නොකියයි. කියන්නට කිසිවක් මුවට නොනැඟෙයි. මුනිවත රකියි. “තව ටික දවසක් ඉවසමු… හැමදේම හරි යයි.. අම්මා කැමැති වෙයි.. මං සතුටුවන දේවල්වලට අම්මා අකැමැති වෙන්නෑ..” වගේ දේවල් නැවත නැවතත් කීමෙහි තේරුමක් නැති බව ඔහුටම තේරෙයි. අසෙනි ගැන කියූ සැනින් අම්මා කී වචන ද සිතේ විදුලි කොටයි. හැමදේකින්ම පලා යන්නට සිතෙයි.
මැදියම් රැය පසු වී අසෙනිලාගේ නිෙවස ආසන්නයට එනතුරුම අසෙනි නිගූගේ උරමත නිදයි. අසෙනි අම්මාට කතාකර තමා පැමිණ ඇති බව පවසා ගේට්ටුව අරින තුරු හිඳ රථයෙන් බැස යන මොහොතෙහි මුළු ලොවම එකවර මිදී ගල් වී ගියා සේ නිගූට දැනෙයි. රථයෙන් බසින්නට පෙර ඈ විඩාපත් නිදිබර ඇස්වලින් හැඟීම් විරහිතව බලා සිටි තත්පර කිහිපය නිගූට කිසිදා අමතක නොවෙයි.
අසෙනි නැඟිට වොෂ් රූම් යයි. කණ්ණාඩිය ළඟ නතර වෙයි. ඇස් ද තොල් ද තඩිස්සි වී රතු වී ඉදිමී තිබෙයි. බෙල්ලේ කිහිප තැනෙක මතු වුණු රෝස පාට පැල්ලම්
අත ගා බලයි. ඈ දෙවසරකට ආසන්න කාලයක් තිස්සේ දකිමින් සිටි රමණීය සිහිනයෙන් පියවියට ඇද දමා තිබෙයි. ලලීන්ද්‍රගේ ආදරයෙන් විඩාපත්ව ඔහුගෙන් දුරස් වන විට ඇයට දැනෙමින් තිබුණේ ඔහු ගැන අප්‍රසන්න හැඟීමකි. තමා ගැනම උපන් කලකිරීමකි. එහෙත් අසෙනිට නිගූ ගැන එවැනි හැඟීමක් ඇති නොවෙයි. ඔහු කෙරෙහි කිසිදා නොසංසිඳෙන අනුරාගයක් ඇගේ හිත් ගැබෙහි රැඳී තිබෙයි. ඉහිලුම් නොදෙන ආශාවකින් ද හිත් පත්ලටම කිඳා බැස රිදුම් දෙන බද්ධ ආදරයකින් ද පිරී තිබෙයි.
ඇල්වතුරෙන් ඇස් දොවන විට තද දැවිල්ලක් එයි. අසෙනි ආයෙමත් ඇඳට වැටෙයි. මුනින්තලාව ඇඳ මත පතිත වන විට පියයුරු තුඩු සිහින් රිදුමකින් පුපුරු ගසයි. පෙරදා රැයෙහි අවන්හල් අඳුරු අහු මුල්ලක තම ළැමතුරෙහි මුහුණ හොවා කිරි දරුවකු සේ හැසිරුණු අයුරු සිහි වෙයි. මහා හිස්කමක් දැනෙයි. ජංගමය කොහේදැයි මතකයක් නැත. කාටවත් කතා කරන්නට හෝ කිසිවකු හමුවන්නට වුවමනා නැත. කාමරයෙන් එළියට යන්නටවත් නොසිතෙයි.
අසෙනිගේ අම්මාත්, තාත්තාත් එළිමහන් බරාඳයේ තේ බොන තැන ඔහේ බලා ගත්වනම සිටිති. අම්මා උදේට කෑම හදා අසෙනි නැඟිට එන තුරු බලා සිටියි. පෙරදා රැයේ අසෙනි පමා වී පැමිණ එක්වරම කාමරයට වැදී ගත් ගමන් තවමත් නොපැමිණීම පිළිබඳ අම්මා තුළ ඇති වී ඇත්තේ නුරුස්නාවකි. අසෙනිගේ හැසිරීම ගැන තාත්තා අම්මාගෙන් අසමින් අම්මාට මැසිවිලි කියයි. ඒ හැම විටෙකම අම්මා ද තාත්තාවත් වග උත්තරකරුවකු බවට පත් කරයි.
” ඔයාටත් පුළුවන්නෙ එයා එක්ක කතා කරන්න .. මගෙන්ම අහ අහා වද දෙන්නෙ.. ඔයා තාත්තනෙ.. නංගි ගිය මාසෙත් කතා කරද්දි ඇහුවෙ ළමයා ගැන.. ඒ ගොල්ලො මේ ගමන ආහම මෙයත් එක්ක කතා කරන්නම්කො කිව්වා.. ගිය වතාවෙත් කතා කළා යන්න හදා ගන්න ලෑස්ති කරගන්න කියලා.. ඒ වෙලාවෙදි මාත් අකැමැති වුණේ අපි දෙන්නට ළමයා නැතුව ඉන්න බැරි හින්දා..”
අම්මාත්, තාත්තාත් තමාගේ අනාගතය ගැන හිත හිතා වද වෙන බව අසෙනි දනියි. අසෙනිට සාම්ප්‍රදායික විවාහ ජීවිතය ගැන කිසිදු ආශාවක් නැත. දරුවන් හදා වඩා ගනිමින් ගෙවන ජීවිතයක් ගැන අපේක්ෂාවක් නැත. ඇයට උවමනා පුංචි පුංචි දේවල් ගැන ලොකුවට වද වෙන ආදරයකි. ඒ වුවමනාව භාෂාවට නඟා කාටවත් කිව නොහැකි එකකි. එහෙත් තමාට මේ තරම් ආදරේ කරන අම්මාගේත්, තාත්තාගේත් සැනසීම වෙනුවෙන් මොනවා හෝ නොකළ යුතුදැයි ඇයට සිතෙයි.
” යන්ඩකො ගිහින් කතා කරන්ඩකො ළමයට.. දැන් දවල් වෙලානේ.. ”
ගරාදි වැටෙන් එපිට කොහේදෝ බලාගෙන කල්පනා කරන තාත්තා, අම්මා දිහාට හැරෙයි.
තවත් කොටසකින් හමුවෙමු.
