මහාචාර්ය නාමල් විජේසිංහ කායික රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනයේ සභාපති ධුරයට 2026 වසර සඳහා ශ්‍රී ලංකා කායික රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනයේ (Ceylon College of Physicians) 50 වැනි සභාපතිවරයා ලෙස මහාචාර්ය නාමල් විජේසිංහ මහතා තේරී පත්වී ඇත.
ශ්‍රී ලංකා කායික රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනය, මෙරට කායික වෛද්‍ය විද්‍යාව සහ ඒ හා බැඳුණු හෘද රෝග විද්‍යාව, අන්තරාසර්ග විද්‍යාව, ආමාශ ආන්ත්‍රික විද්‍යාව, වෘක්කවේදය, සන්ධි රෝග හා පුනරුත්ථාපන වෛද්‍ය විද්‍යාව, ස්නායු රෝග විද්‍යාව, ශ්වසන රෝග විද්‍යාව මෙන්ම දැඩි සත්කාර වෛද්‍ය විද්‍යාව වැනි ක්ෂේත්‍රයන්හි විශේෂඥ වෛද්‍යවරුන් නියෝජනය කරන ප්‍රමුඛතම වෘත්තීය ආයතනයයි. වෛද්‍ය දැනුම වර්ධනය කිරීම, පශ්චාත් උපාධි අධ්‍යාපනය ප්‍රවර්ධනය කිරීම සහ රෝගී සත්කාරයේ ගුණාත්මකභාවය සහතික කිරීමේ අරමුණින් 1967 වසරේදී මෙම ලාභ නොලබන සංවිධානය පිහිටුවන ලදී. ප්‍රතිපත්ති සහ මාර්ගෝපදේශ සකස් කිරීම හරහා මෙරට සෞඛ්‍ය සේවාවේ ප්‍රමිතීන් ඉහළ නැංවීම සඳහා මෙම විද්‍යායතනය සෞඛ්‍ය අමාත්‍යාංශය සමඟ සමීපව කටයුතු කරයි.
වෛද්‍ය ප්‍රජාව සහ මහජනතාව වෙනුවෙන් ශ්‍රී ලංකා කායික රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනය විවිධ ක්‍රියාකාරකම්වල නිරත වේ. වෛද්‍යවරුන්ගේ අඛණ්ඩ වෘත්තීය සංවර්ධනය සඳහා වාර්ෂික විද්‍යාත්මක සැසි සහ විවිධ අධ්‍යාපනික වැඩසටහන් මෙහිදී සංවිධාන කෙරේ. එසේම, නිවර්තන කලාපීය රෝග සහ බෝ නොවන රෝග පිළිබඳ පර්යේෂණ සිදු කිරීම සඳහා වෛද්‍යවරුන් දිරිමත් කිරීම කෙරෙහි ද මෙම විද්‍යායතනය විශේෂ අවධානයක් යොමු කරයි. 2026 වසර සඳහා එහි සභාපතිවරයා ලෙස තේරී පත් වූ මහාචාර්ය නාමල් විජේසිංහ මහතා, ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ වෛද්‍ය විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයකු ලෙස කටයුතු කරන අතර, ඔහු එම වෛද්‍ය පීඨයේ හිටපු පීඨාධිපතිවරයා ද වේ. මාතර රාහුල විද්‍යාලයෙන් සහ කොළඹ රාජකීය විද්‍යාලයෙන් ප්‍රාථමික හා ද්විතීයික අධ්‍යාපනය ලැබූ ඒ මහතා, රුහුණ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයෙන් වෛද්‍ය උපාධිය ලබා ගත්තේය. අනතුරුව කොළඹ විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධි වෛද්‍ය විද්‍යායතනයෙන් පශ්චාත් උපාධි පුහුණුව ලබා MD (Medicine) උපාධිය හිමිකර ගත්තේය. නවසීලන්තයේදී හෘද රෝග විද්‍යාව පිළිබඳ උසස් පුහුණුව ලැබූ ඒ මහතා, කැනඩාවේ වැන්කුවර් හි ශාන්ත පාවුළු රෝහලෙන් ශල්‍යකර්මවලින් තොර ස්ටෙන්ට් (stent) ප්‍රතිකර්ම පිළිබඳ හෘද වෛද්‍ය විද්‍යාව පිළිබඳ පුහුණුව ද ලබා ඇත. මීට අමතරව ඒ මහතා, ලන්ඩන් රාජකීය වෛද්‍යවරුන්ගේ විද්‍යාලයේ සාමාජිකත්වය, එඩින්බරෝ රාජකීය වෛද්‍යවරුන්ගේ විද්‍යාලයේ සාමාජිකත්වය, ලංකා වෛද්‍යවරුන්ගේ විද්‍යාලයේ සාමාජිකත්වය, ඔස්ට්‍රේලියාවේ සහ නවසීලන්තයේ හෘද රෝග පිළිබඳ සංගමයේ සාමාජිකත්වය සහ යුරෝපීය හෘද රෝග විද්‍යාව පිළිබඳ සංගමයේ සාමාජිකත්වය යන අධි සාමාජිකත්වයන්ගෙන් ද පිදුම් ලබා ඇත.
එමෙන්ම හෘද රෝග ක්ෂේත්‍රයේ කෘතහස්ත වෛද්‍යවරයෙකු විශ්වවිද්‍යාල අධ්‍යයන ක්ෂේත්‍රයේ ප්‍රමුඛතමයකු, නිපුණ පර්යේෂකයෙකු සේම, වෛද්‍ය අධ්‍යාපනයේ දක්ෂ පරිපාලකයෙකු ද වන මහාචාර්ය නාමල් විජේසිංහ මහතා පළපුරුදු සඟරා සංස්කාරකයෙක් ද වේ.
