Wednesday, January 28, 2026
Epaper
Home විශේෂාංගපාසල් අධ්‍යාපනය පමණක් ජීවිතය ජය ගැනීමට ප්‍රමාණවත්ද?

පාසල් අධ්‍යාපනය පමණක් ජීවිතය ජය ගැනීමට ප්‍රමාණවත්ද?

by Shanaka Lakehouse

ශ්‍රී ලාංකේය සමාජය තුළ දරුවකු මෙලොවට බිහි වූ දා සිට මවුපියන්ගේ, වැඩිහිටියන්ගේ සහ සමස්ත සමාජයේම අවධානය යොමු වන්නේ එම දරුවාගේ අධ්‍යාපනය වෙතයි. දරුවා බහ තෝරන වියේ සිටම “හොඳින් ඉගෙනගෙන ලොකු මිනිහෙක් වෙන්න” යන අවවාදය නිරන්තරයෙන් ඇසෙන්නට සලස්වයි. අපේ සමාජ සංදර්භය තුළ “හොඳින් ඉගෙනීම” යන්නෙන් බහුතරයක් දෙනා අදහස් කරන්නේ පාසල් විභාග ඉහළින්ම සමත් වීම, විශ්වවිද්‍යාල වරම් ලැබීම සහ අවසානයේ උපාධියක් සමඟ ඉහළ රැකියාවකට යොමු වීමයි.

මෙම ගමන් මඟ සාර්ථකත්වයේ එකම සහ නිවැරදි මාවත ලෙස බොහෝ දෙනා විශ්වාස කරති. එහෙත්, වර්තමාන සංකීර්ණ සමාජ සහ ආර්ථික වටපිටාව දෙස බලන විට අප හමුවේ විශාල ප්‍රශ්නාර්ථයක් මතු වේ. එනම්, හුදු පාසල් අධ්‍යාපනය සහ සහතික පත්‍ර මත පදනම් වූ දැනුම පමණක් පුද්ගලයකුගේ ජීවිතය සාර්ථක කිරීමට ප්‍රමාණවත්ද? නැතහොත් ජීවිතය ජය ගැනීම සඳහා ඊට එහා ගිය වෙනත් මානයන් ගවේෂණය කළ යුතුද?

පාසල් අධ්‍යාපනය යනු පුද්ගලයකුගේ ජීවිතයේ අත්තිවාරම බව අවිවාදිතය. එය දරුවකුට මූලික අක්ෂර දැනුම, ගණිතමය හැකියාව සහ ලෝකය පිළිබඳ විද්‍යාත්මක මෙන්ම සමාජයීය අවබෝධයක් ලබා දෙන මූලික තෝතැන්නයි. පාසල තුළින් දරුවා විනය, කාල කළමනාකරණය, කණ්ඩායම් හැඟීම සහ පොදු සම්මුතීන්ට ගරු කිරීම වැනි මූලික සමාජීය ලක්ෂණ ඉගෙන ගනී. කියවීමට සහ ලිවීමට ඇති හැකියාව මඟින් ලෝකය සමඟ ගනුදෙනු කිරීමට අවශ්‍ය මූලික මෙවලම් දරුවාට හිමි වේ. විද්‍යාව, ගණිතය, ඉතිහාසය සහ භාෂාව වැනි විෂයයන් හැදෑරීමෙන් තමන් ජීවත් වන පරිසරය සහ මානව ශිෂ්ටාචාරයේ ගමන් මඟ පිළිබඳ පුළුල් පින්තූරයක් ගොඩනඟා ගැනීමට ශිෂ්‍යයාට අවස්ථාව ලැබේ. මෙම පදනම නොමැතිව නූතන තාක්ෂණික ලෝකය තුළ ස්ථාවර වීමට කිසිවකුට නොහැකිය. එබැවින් පාසල් අධ්‍යාපනයේ වැදගත්කම කිසිසේත් අවතක්සේරු කළ නොහැකි අතර, එය නූතන පුරවැසියකු වීමට අවශ්‍ය මූලික ගමන් බලපත්‍රයයි.

නමුත් ගැටලුව පැනනඟින්නේ, මෙම පාසල් අධ්‍යාපනයම ජීවිතයේ අවසානය ලෙස සලකා කටයුතු කිරීමට සමාජය පෙලඹී සිටීමයි. වර්තමාන අධ්‍යාපන ක්‍රමය බොහෝ දුරට විභාග කේන්ද්‍රීය ස්වභාවයක් ගනී. මෙහිදී දරුවාගේ දක්ෂතාව මනිනු ලබන්නේ වසර කිහිපයකට වරක් පවත්වන පැය තුනක ප්‍රශ්න පත්‍රයකට ලබා දෙන ලකුණු ප්‍රමාණය මතයි. මේ හේතුවෙන් දරුවා මෙන්ම මවුපියන් ද දැනුම ලබා ගැනීමට වඩා ලකුණු ලබා ගැනීමේ සටනක නිරත වේ. කරුණු කටපාඩම් කිරීම, ආදර්ශ ප්‍රශ්න පත්‍ර පිරවීම සහ අමතර පන්ති හරහා ලැබෙන සීමිත දැනුම මත පමණක් යැපීම නිසා දරුවාගේ නිර්මාණශීලි චින්තනය සහ ස්වාධීනත්වය ක්‍රමයෙන් හීන වී යයි. ජීවිතය යනු විෂය නිර්දේශයකට කොටු කළ හැකි දෙයක් නොවන බව අප වටහා ගත යුත්තේ මෙහිදීය. සැබෑ ජීවිතයේදී අපට මුහුණ දීමට සිදුවන ගැටලු විභාග ප්‍රශ්න පත්‍රවල ඇති ගැටලුවලට වඩා හාත්පසින්ම වෙනස්ය.

පුද්ගලයකුගේ සැබෑ සාර්ථකත්වය තීරණය වන්නේ ඔහු සතු ප්‍රායෝගික කුසලතා මතයි. සහතික පත්‍රයක ඇති ඉහළම සාමාර්ථය වුවත් සැබෑ ලෝකයේ ගැටලුවක් විසඳීමට අවශ්‍ය ප්‍රායෝගික දැනුම ලබා නොදෙන්නට පුළුවන. උදාහරණයක් ලෙස, මූල්‍ය කළමනාකරණය පිළිබඳව පොතේ ඇති න්‍යායන් ඉගෙන ගත් අයෙකුට වඩා, ප්‍රායෝගිකව සුළු ව්‍යාපාරයක් කරගෙන යන අයෙකු සතු අත්දැකීම් බහුල විය හැකිය. රැකියා වෙ‍ෙළඳපොළ දෙස බැලීමේදී, අද වන විට බොහෝ පෞද්ගලික ආයතන සේවකයන් බඳවා ගැනීමේදී සහතික පත්‍රවලට වඩා ඔවුන් සතු “මෘදු කුසලතා” පිළිබඳව වැඩි අවධානයක් යොමු කරයි. සන්නිවේදන හැකියාව, නායකත්ව ගුණාංග, අර්බුද කළමනාකරණය සහ නව්‍යකරණය වැනි කුසලතා පෙළපොතකින් පමණක් උගන්වනු ලබන දේවල් නොවේ. මේවා ප්‍රායෝගික අත්දැකීම් සහ සමාජ අන්තර්ක්‍රියා තුළින්ම ලබා ගත යුතුය.

චිත්තවේගීය බුද්ධිය යනු ජීවිතය ජය ගැනීමට අවශ්‍ය තවත් ප්‍රබල සාධකයකි. අධ්‍යාපනයෙන් ඉහළම තැන්වලට ගිය ද, තම හැඟීම් පාලනය කර ගැනීමට නොහැකි වීම නිසා ජීවිතය අසාර්ථක කරගත් පුද්ගලයෝ අපේ සමාජයේ ඕනෑතරම් සිටිති. ජීවිතයේ එන අභියෝග, බලාපොරොත්තු සුන්වීම් සහ පරාජයන් හමුවේ නොසැලී සිටීමටත්, අන් අයගේ හැඟීම් තේරුම් ගෙන සුහදව කටයුතු කිරීමටත් අවශ්‍ය වන්නේ ඉහළ චිත්තවේගීය බුද්ධියකි. විභාග පරාජය වූ පමණින් දරුවන් සිය දිවි නසා ගැනීමට පෙලඹෙන්නේ හෝ ජීවිතය අත්හැර දමන්නේ ඔවුන්ට මෙම මානසික ශක්තිය පාසල තුළින් නිසි ලෙස නොලැබෙන බැවිනි. අධ්‍යාපනය යනු හුදෙක් බුද්ධි වර්ධනය (IQ) පමණක් නොව, හෘදයංගම බව සහ මනස පාලනය කර ගැනීමේ කලාව ද විය යුතුය.

එමෙන්ම අනුවර්තනය වීමේ හැකියාව නූතන යුගයේ අත්‍යවශ්‍යම ලක්ෂණයකි. තාක්ෂණයේ වේගවත් දියුණුවත් සමඟ අද අප ඉගෙන ගන්නා දේ තවත් වසර කිහිපයකින් යල් පැන ගිය දේ බවට පත් විය හැකිය. මෙවැනි තත්ත්වයකදී පුද්ගලයකු සතු විය යුතු වැදගත්ම කුසලතාව වන්නේ “ඉගෙන ගැනීමට ඇති කැමැත්ත” සහ “වෙනස්කම්වලට හැඩගැසීමේ හැකියාවයි”. පාසලෙන් පිටව ගිය පසු ඉගෙනීම නතර කරන පුද්ගලයාට වඩා, ජීවිත කාලය පුරාම අලුත් දේ ඉගෙන ගැනීමට (Lifelong Learning) උත්සාහ කරන පුද්ගලයා සැමවිටම ඉදිරියෙන් සිටී. අපේ අධ්‍යාපන ක්‍රමය තුළ බොහෝ විට දකින්නේ එක් දිශාවකට පමණක් දරුවා යොමු කිරීම වුවත්, සැබෑ සාර්ථකත්වය ඇත්තේ බහුකාර්ය පුද්ගලයෙකු වීම තුළයි.

ලෝක ප්‍රසිද්ධ පුද්ගලයන් වන බිල් ගේට්ස්, ස්ටීව් ජොබ්ස් හෝ මාර්ක් සකර්බර්ග් වැනි අයගේ චරිත කතා දෙස බැලීමේදී අපට පෙනී යන්නේ ඔවුන් සියල්ලන්ම සාම්ප්‍රදායික අධ්‍යාපන රාමුවෙන් එහාට ගිය අය බවයි. ඔවුන් ජයග්‍රහණය කළේ විභාග සමත් වීමෙන් ලැබෙන සහතික නිසා නොව, ඔවුන් සතු වූ සුවිශේෂී දැක්ම, අවදානම් ගැනීමට ඇති කැමැත්ත සහ ස්වයං අධ්‍යාපනය මඟින් ලබා ගත් කුසලතා නිසාය. මෙයින් අදහස් කරන්නේ පාසල් අධ්‍යාපනය හැර දමා යා යුතු බව නොවේ. ඒ වෙනුවට, පාසලෙන් ලැබෙන දැනුමට අමතරව තමන්ගේම අනන්‍යතාවක් සහ කුසලතාවක් ගොඩනඟා ගැනීමට උත්සාහ කළ යුතු බවයි.

අපේ රටේ පවතින උපාධිධාරී රැකියා විරහිතභාවයට ද ප්‍රධාන හේතුවක් වන්නේ මෙයයි. විශ්වවිද්‍යාලවලින් පිටවන බොහෝ තරුණ තරුණියන් සතුව පොතේ දැනුම ඇතත්, පවතින රැකියා වෙ‍ෙළඳපොළට අවශ්‍ය ප්‍රායෝගික හැකියාවන් හෝ වෘත්තීය ආචාරධර්ම පිළිබඳ අවබෝධය අඩු මට්ටමක පවතී. ඔවුන් බලාපොරොත්තු වන්නේ තමන් ලබා ගත් සහතිකයට සරිලන රජයේ රැකියාවක් පමණි. එහෙත් නිර්මාණශීලි අදහස් ඇති, ස්වයං රැකියාවක නිරත වීමට හෝ අලුත් ව්‍යාපාරයක් ආරම්භ කිරීමට තරම් ආත්ම විශ්වාසයක් ඇති පුද්ගලයන් බිහි කිරීමේ දුර්වලතාවක් අපේ අධ්‍යාපන ක්‍රමය තුළ පවතී. දරුවකුට තමන් කැමැති ක්ෂේත්‍රය තෝරා ගැනීමටත්, එහි ප්‍රවීණයකු වීමටත් අවශ්‍ය නිදහස සහ මඟපෙන්වීම සමාජයෙන් ලැබිය යුතුය.

මවුපියන්ගේ වගකීම වන්නේ තම දරුවා අසල්වැසි දරුවා සමඟ ලකුණු මට්ටමින් සංසන්දනය කිරීම නොව, තම දරුවා සතු සැඟවුණු දක්ෂතා හඳුනාගැනීමයි. ක්‍රීඩාව, කලාව, තාක්ෂණය හෝ සමාජ සේවය වැනි ඕනෑම ක්ෂේත්‍රයකට දරුවා රුචිකත්වයක් දක්වන්නේ නම්, එයට අවශ්‍ය සහයෝගය ලබා දීම වැදගත්ය. ක්‍රීඩා පිටියේදී ලැබෙන ජයග්‍රහණය සහ පරාජය දරුවාට උගන්වන ජීවන පාඩම් කිසිදු පෙළපොතකින් ලබා ගත නොහැකිය. කණ්ඩායම් හැඟීමෙන් යුතුව වැඩ කිරීමේ අගය ඔවුන් ඉගෙන ගන්නේ එතැනිනි. එමෙන්ම නි‍ෙවසේදී දරුවාට කුඩා වගකීම් ලබා දීම, ඔවුන්ට ස්වාධීනව තීරණ ගැනීමට ඉඩ දීම සහ වැරදි සිදු වූ විට ඒවායින් ඉගෙන ගැනීමට මඟපෙන්වීම දරුවාගේ පෞරුෂ වර්ධනයට අතිශය වැදගත් වේ.

අවසාන වශයෙන්, සැබෑ සාර්ථකත්වය යනු විභාග ප්‍රතිඵල ලේඛනයක සටහන් වන අංක හෝ අකුරු සමූහයක් නොවේ. එය තම ජීවිතය සාර්ථකව කළමනාකරණය කර ගනිමින්, තමන්ටත් සමාජයටත් වැඩදායී පුද්ගලයකු ලෙස ජීවත් වීමයි. පාසල් අධ්‍යාපනය යනු එම ගමනට අවශ්‍ය පදනම සහ ආලෝකය සපයන පහනකි. නමුත් එම පහන දල්වාගෙන ගමන් කළ යුතු මාවත සහ ඒ මාවතේ ඇති බාධක ජය ගත යුතු ආකාරය ඉගෙන ගත යුත්තේ ජීවිතය නමැති විවෘත විශ්වවිද්‍යාලයෙනි. අධ්‍යාපනය සහ ප්‍රායෝගික ජීවන අත්දැකීම් අතර මනා සමබරතාවක් පවත්වා ගන්නා පුද්ගලයාට ලෝකයේ ඕනෑම අභියෝගයක් ජය ගැනීම අපහසු නැත. සැබෑ උගතා යනු හුදු පොත් ගුල්ලෙකු නොව, දැනුම සහ මනුෂ්‍යත්වය පිරිපුන්, ඕනෑම පරිසරයක ජීවත් විය හැකි ශක්තිමත් පෞරුෂයකින් හෙබි පුද්ගලයාය. එබැවින්, දරුවන්ට පොතේ දැනුම ලබා දෙනවා සේම, ජීවිතය ජය ගැනීමට අවශ්‍ය ජීවන කුසලතා ද ලබා දීමට අප සියලු දෙනාම වගබලා ගත යුතුය.

TEXT – තරුෂිකා නුවන්ති වික්‍රමසිංහ

You may also like

Leave a Comment

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?