නූතන කාර්යබහුල ලෝකය තුළ මිනිසා භෞතික සම්පත් පසුපස හඹා ගියද, තම මනස සහ ශරීරය අතර පවතින්නේ දැඩි නොසන්සුන්කාරී බවකි. මෙකී නොසන්සුන් බව දුරු කරමින්, ශාරීරික නීරෝගිභාවයත්, මානසික ඒකාග්‍රතාවත් එකලෙස ළඟා කරදෙන දිව්‍යමය ඔසුවක් ලෙසට ‘යෝග’ (Yoga) හඳුනාගත හැකිය.
වසර දහස් ගණනකට පෙර භාරතයේ බිහි වූ උක්ත ප්‍රායෝගික විද්‍යාව, අද වන විට ජාති හෝ ආගම් භේදයකින් තොරව ලොව පුරා ප්‍රචලිත වී ඇත්තේ නීරෝගි දිවියකට එය මනා පිටිවහලක් වන බැවිනි. යෝග යන්නෙන් ශාරීරික මානසික ඒකාත්මිකතාවක් හඳුනාගත හැකි අතර ශාරීරික, මානසික සමබරතාව මනා ලෙස වර්ධනය කිරීමක් ද සිදුවේ.සාමාන්‍යයෙන් සෑම දිනකම සූර්යයා මුදුන්වන වේලාවේ හැර ඕනෑම වේලාවක් යෝග කිරීම සඳහා යෝග්‍ය වේ. නමුත් “බ්‍රහ්ම මුහුර්තියේදී” එනම් උදෑසන නැවුම් අරුණලු වැටෙන යාමයේ යෝග ක්‍රියාකාරකම්හි නිරතවීමෙන් වඩාත් හොඳ ප්‍රතිඵල ඔබට ළඟා කර ගැනීමට මහෝපකාරී වේ. යෝග තුළින් නූතන වෛද්‍ය විද්‍යාවට හසුවන සහ නොවන රෝග රැසකින් වැළකී සිටීමට මෙන්ම ඔබට වැළඳී ඇති ඇතැම් රෝග රාශියක් සුවවීමද ආරම්භ වන්නේ විස්මයදනවන අයුරිනි. වර්තමානයේ බොහෝදෙනකු පීඩාවිඳින දියවැඩියාව, හෘද රෝග, මානසික පීඩනයන්, කොලෙස්ටරෝල් වැනි රෝගවලින් වැළකීමට යෝග මහඟු පිටිවහලකි. එමෙන්ම මානසික නිරවුල් බව සහ නම්‍යශීලී සහ ශක්තිමත් සිරුරක් ළඟා කර ගැනීමට ඔබට අවශ්‍ය නම් ඔබ යෝග පුරුදු පුහුණු කිරීම අනිවාර්ය කරුණකි. එහිදී නිවැරදි පුහුණුකරුවකු (යෝග ආචාර්යවරයකුගේ) මඟපෙන්වීම අතිශයින් වැදගත් වන්නේ නිවැරදි ඉරියව්, නිවැරදි ආස්වාස ප්රාශ්වාස ක්රමෝපායන් මුල සිට හැදෑරීමක් අවශ්‍ය වන නිසාවෙනි.
යෝග පුරුදු පුහුණු කරන ඕනෑම අයකු ප්‍රධාන කරුණු පහක් කෙරෙහි අවධානය යොමු කළ යුතුය. ඒවා නම්,
නිවැරදි ආසන
නිවැරදි ස්වසනය
නිවැරදි ආහාර
සුබවාදී ආකල්ප
ලිහිල් වීම
යෝග අභ්‍යාසවල ප්‍රධානතම වාසියක් වන්නේ ශරීරයේ නම්‍යශීලී බව වර්ධනය වීමයි. දිනපතා යෝගාසනවල නිරත වීමෙන් මාංසපේශි ශක්තිමත් වන අතර සන්ධිවල ක්‍රියාකාරීත්වය යහපත් වේ. විශේෂයෙන්ම කොන්දේ වේදනාව, හන්දිපත් රුදාව වැනි නූතන කාර්යබහුල ජීවිතය නිසා ඇතිවන කායික පීඩාවන් සමනය කර ගැනීමට ද යෝග අගනා විසඳුමකි. මානසික ඒකාග්‍රතාව සහ ආතතිය කළමනාකරණය සහ නූතන සමාජයේ බහුලව දක්නට ලැබෙන මානසික ආතතිය, කාංසාව සහ විෂාදය වැනි තත්වයන් පාලනය කිරීමට යෝග සතු හැකියාව විද්‍යාත්මකව පවා තහවුරු වී ඇත. හුස්ම ගැනීමේ අභ්‍යාස මඟින් මනස සන්සුන් කරන අතර, එමඟින් රුධිර පීඩනය පාලනය වී සිතට මනා සහනයක් ලැබේ. ප්‍රතිශක්තිකරණය සහ ලෙඩ රෝගවලින් තොර දිවියක් නිවැරදි යෝග අභ්‍යාස මඟින් ලැබේ. ශරීරයේ අභ්‍යන්තර ඉන්ද්රියයන් උත්තේජනය වන අතර එමඟින් ශරීරයේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් වේ. ඔබ යෝග ක්‍රියාකාරකම්වලට නිරන්තරයෙන් යොමුවීම තුළින් චින්තනමය වෙනසක්, නැවුම් බලාපොරොත්තු ඇතිකර ගතහැකි අතර අවිහිංසාවාදී සිතුවිලි සුපෝෂණය වීම ද සිදුවන්නේ නිරායාසයෙනි. පවුලක් තුළ යහපත් අන්තර් සම්බන්ධතා වර්ධනය වීමක් මෙන්ම යහපත් ගුණාංග දිනෙන් දින ඔබ තුළ වර්ධනය වීමක් බුද්ධි මට්ටම ඉහළ යාමක්ද සිදුවේ.
යෝග පිළිබඳ පොදු අවබෝධයක් ලබාගැනීමේදී ආසන වර්ග රාශියක් ඇති බව දැනුවත්වීම ඉතා වැදගත් වේ. ඉතා විශාල ආසන සංඛ්‍යාවක් මෙකී අති දැවැන්ත විෂය ක්ෂේත්රය තුළ ගැබ් වූ නමුදු සරල, පහසු ආසන, එකිනෙකාගේ හැකියාව මත පදනම්ව ආසන විස්සත්, විසිපහත් අතර ප්‍රමාණයක් පවතී. එය එක් එක් පුද්ගලයාගේ හැකියාවන් මත පදනම් වූ දෙයක් බව මතක තබාගත යුතුය. ඒ අතරින්,
පාද හස්ථානාසන
පඡ්ඡිමුත්ථානාසන
බුජංගාසන
ධනුරාසන
සළඹාසන
රුක්ෂාසන
මණ්ඩුකාසන
ත්‍රිකෝණාසන
පර්වතාසන…ප්රමුඛ වේ.
උක්ත යෝග ආසන අතරින් වැදගත්ම ආසනයක් ලෙසට බුජංගාසනය හඳුනාගත හැකිවේ. මෙම බුජංගාසනය විශේෂයෙන් කාන්තා පක්ෂයට ගුණ දෙන ආසනයක් වන අතර කාන්තා – පුරුෂ දෙපාර්ශ්වයටම යහපත් ප්‍රතිඵල ලබා දෙන වැදගත් ආසනයකි. එය සිදු කරන ආකාරය පහත පරිදි වේ.
වැදගත්ම කරුණ නම්,
ඔබ යෝග ආචාර්යවරයකුගේ පූර්ණ අධීක්ෂණය යටතේම උක්ත ආසනය පුරුදු පුහුණු වීමයී.
මුලින්ම මුනින් අතට හැරී පාද දෙක දිගහැර විලුම් දෙක එක ළඟ තබාගෙන දෑත් දෙක වැලමිටෙන් නවා උරහිස් දෙක ළඟින් අල්ලා පොළොවේ තබා මුළු ශරීරයම මනසම සැහැල්ලුකොට හුස්මක් ගන්නා ගමන් දෙපතුලේ සිට ඉණ දක්වා කොටස පොළොවේ තබා ඉණෙන් ඉහළ කොටස දෑත්වල වාරුවෙන් ඉහළට ඔසවා හිස ඉහළ දෙසට හරවා බුජංගාසනයේ රැඳී සිටිය යුතුය. සැහැල්ලුවෙන් ආශ්වාස හා ප්රාශ්වසයට මනස යොමු කොට සිතිවිලි සැහැල්ලු කරගත යුතුය.
තත්පර 15ක 20ක පමණ කාලයකින් පසු දෑත්වල ආධාරයෙන් ශරීරයේ ඉහළ කොටස පහළට ගෙන ආසනයෙන් නිදහස් වීම යෝග්‍ය වේ.
මෙය කාන්තා – පුරුෂ දෙපාර්ශ්වයටම ගුණදෙන ආසනයකි. මෙහි වැඩි කාලයක් කාන්තාවන් රැඳී සිටීම තුළින් පිටේ කුදු බව කෙමෙන් සුව වන අතර තුනටියේ වේදනාව ඉවත් වී යන අතර උරස් කුහරය හොඳින් ක්‍රියාකාරී වන නිසා පෙණහලු තුළ ඔක්සිජන් ධාරිතාව වැඩි වේ.
නිතිපතා මෙය සිදු කිරීමෙන් ඇදුම රෝගයෙන් වැළකී සිටිමටද ඔබට අවස්ථාව උදාවේ. ප්‍රජනක සොඛ්‍ය යහපත් කර ගැනීමටත් උදර ප්‍රදේශයේ මාංසපේශීන් ශක්තිමත් කර මලබද්ධය දුරු කිරීමටත් මේ තුළින් හැකියාව ලැබේ. මීට අමතරව මඳ සරු බවට, ඔසප් චක්‍රය අක්‍රමවත් වී ඇතිනම් එයටද මෙය කදිම විසඳුම් ලබා දෙන දිව්‍යමය ආසන ක්‍රමයක් ලෙස බුජංගාසනය ප්රමුඛත්වයක් උසුලයි. හෝමෝන අසමතුලිතාවන් පාලනය කොට සිරුර අභ්‍යන්තරයෙන්ම ඔබව නීරෝගි කිරිමෙහිලා බුජංගාසනය ඔබට මහඟු අත්වැලක් ලබා දේ. ඔබ මෙම ආසනයට ආධුනික කෙනෙක් නම් තත්පර 20ක් පමණද මෙම ආසනයෙහි රැඳී සිටීම ප්රමාණවත්ය. මේ ආකාරයට බුජංගාසනයෙහි උපරිම ප්රතිලාභ වන නීරෝගිකම, ශරීරයේ හැඩය, මානසික දියුණුව අපේක්ෂා කරන කාන්තා ඔබට නිසැක වශයෙන්ම හිමි වීම නොරහසකි.
පඡ්ඡිමුත්ථානාසන ක්‍රමය ද යෝග පිළිබඳව ඇලුම් කරන හා තුරුණු බව රැක ගැනීමට වෙහෙසෙන ඔබට ඉතා ගුණදායක ආසනයකි.
පඡ්ඡිමුත්ථානාසන
බිම වාඩි වී පාද දෙක දිගහැර එක ළඟ තබා ඉණ දෙපසින් දෑත් දෙක අල්ලා පොළොවේ තබා ගන්න. කොන්ද ප්‍රදේශය ඍජුකොට ඉරියව්ව නිවැරදිව සකසා ගන්න.
දිගු හුස්මක් ගන්නා ගමන් දෑත් දෙක ඉදිරියෙන් ඉහළට දිගහැර ඒ හුස්ම පිට කරන ගමන් උදරය ඇතුළට හකුළා ඉණෙන් ඉහළ කඳ කොටස ඉදිරියට අදිනගමන් පහත් වී දෑත් දෙකෙන්ම පාද දෙකෙහි විළුඹ දෙක අල්ලා කඳ කොටස පහළට තද කිරීම සිදු කළ යුතුය. මේ හරහා පාද දෙක එක ළඟ තබා බිම වාඩි වී දෙපසින්ම දෑත් අල්ලා පොළොවෙහි තබා කොඳුඇටපෙළ ප්‍රදේශය ඍජුකොට ශරීරය සහ මනස සැහැල්ලු කොට දිග හුස්මක් ගන්නා ගමන් දෑත් දෙක ඉහළට ඔසවා ඒ හුස්ම පිට කරනා ගමන් උදරය ඇතුළට හකුළා ශරීරයේ ඉණෙන් ඉහළ කොටස ඉදිරියට අදින ගමන් කිරීම තුරුණු බව සහ ප්‍රතිශක්තිකරණය වැඩිදියුණු කරන අපූරු ක්රමවේදයකි.
ආසනයේ තත්පර 15ක් 20ක් පමණ කාලයක් ශරීරය, මනස සැහැල්ලු කොට හුස්ම ගන්නා, පිට කරන ගමන් රැඳී සිටින්න. ආසනයෙන් මිදෙන විට හුස්ම ගන්නා ගමන් ශරීරයේ ඉහළ කොටස හා දෑත් ඉහළට ඔසවා ආසනයෙන් මිදෙන්න. දෑත් පහළ දමා සැහැල්ලුවන්න.
ඔබ තරුණ කාන්තාවක් නම් ජීවිතයේ යහපත් පුරුදු වර්ධනය කර ගැනීම මුළු මහත් සමාජයම සුවඳවත් කිරීමට හේතුවක් වේ. මක් නිසාද යත් තවත් අවුරුදු කිහිපයකින් ඔබ වගකීම් දරන ගෘහිණියක් හෝ දරුවන් කිහිප දෙනකුගේ මවක් වීමට ඇති ඉඩකඩ බොහෝ සෙයින් වැඩිහෙයිනි. එහෙයින් යෝග වැනි ඉතා වටිනා දෙවියන්ගෙන් ලද උතුම් ත්‍යාගයක් බඳු වූ උක්ත විද්‍යාව පුරුදු පුහුණු කිරීම සහ ඔබගේ පවුලේ සමීපතමයන් ඊට නැඹුරු කරවා ගැනීම ශාරිරික, මානසික, ආධ්‍යාත්මික වශයෙන් වූ සෑම පැතිකඩක්ම යහපත් කර ගැනීමට හේතුවක් වේ.
TEXT – සහන් ගමගේ
