Wednesday, January 28, 2026
Epaper
Home විශේෂාංගනූරිය වත්තේ පිරිමි දරුවාගේ අබිරහස් මරණය සහ බිඳුණු මනුෂ්‍යත්වය

නූරිය වත්තේ පිරිමි දරුවාගේ අබිරහස් මරණය සහ බිඳුණු මනුෂ්‍යත්වය

by Shanaka Lakehouse

දැරණියගල, නූරිය ප්‍රදේශය යනු මෙරට දේශපාලනික සහ සමාජීය ඉතිහාසයේ අතිශය ආන්දෝලනාත්මක භීෂණකාරී මතකයන් රැසකට උරුමකම් කියන භූමියකි. අතීතයේදී මෙම ප්‍රදේශය මුළු මහත් ශ්‍රී ලංකාවේම අවධානයට ලක් වූයේ එහි පැවති නීතිය බිඳී ගිය මැර පාලනයක් හේතුවෙනි.

විශේෂයෙන්ම නූරිය වතුයායේ අධිකාරිවරයා අමුඅමුවේ ඝාතනය කරමින් එදා ක්‍රියාත්මක වූ ඒ ම්ලේච්ඡ ප්‍රචණ්ඩත්වය, ලාංකේය සමාජයම කම්පා කරවන්නක් විය. එදා එම ප්‍රදේශය හැඳින්වූයේ දේශපාලන රැකවරණය ලබන මැර කණ්ඩායම් විසින් පාලනය කරනු ලබන පොදු නීතියට අභියෝග කළ “වෙනම රාජ්‍යයක්” ලෙසිනි. මෙම තත්ත්වය පාලනය කිරීම සඳහාත් එම ජනතාවට නීතියේ රැකවරණය ලබා දීම සඳහාත් එවකට පැවති රජය විසින් නූරිය ප්‍රදේශයේ විශේෂ පොලිස් ස්ථානයක් ස්ථාපනය කිරීමට පියවර ගත්තේය.

මෙම අලුතින් පිහිටුවන ලද පොලිස් ස්ථානය හරහා ප්‍රදේශයේ සාමය ස්ථාපිත කිරීමටත් ජනතාව තුළ තිබූ භීෂණය තුරන් කිරීමටත් විශාල මෙහෙවරක් ඉටු විය. එහෙත් වසර ගණනාවකට පසු එදා මැර බලයෙන් පීඩිතව තිබූ එම භූමියෙන් අද නැවතත් ඇසෙන්නේ අතිශය සංවේදී සහ අබිරහස් මරණයක පුවතකි. ඒ 14 හැවිරිදි පිරිමි දරුවකුගේ අවසන් සුසුම පිළිබඳ ශෝකජනක පුවතයි. අතීතයේ බාහිර ප්‍රචණ්ඩත්වය හමුවේ වැලපුණු නූරිය ප්‍රදේශය, අද වන විට පවුලක් තුළ සිදුවූ අභ්‍යන්තර ඛේදවාචකයක් හමුවේ ලක්වැසි සැමගේ සංවේගයට පත්ව තිබේ.

පසුගිය ජනවාරි 02 වැනිදා සිය මව සහ පියා සමඟ නිවහන තුළ සිටියදී අකාලයේ නිහඬ වූ මේ දරුවාගේ මරණය මුලින් අනාවරණය වී තිබුණේ ගෙල වැලලාගෙන මියගිය සිද්ධියක්, එසේත් නැතිනම් සියදිවි නසාගැනීමක් ලෙසිනි. එහෙත් නූරිය පොලිස් ස්ථානයේ ප්‍රධාන පොලිස් පරීක්ෂක තිසිත ඉන්දික මහතාගේ මූලිකත්වයෙන් සිදු කළ මූලික විමර්ශනවලදී මෙම මරණය පිළිබඳව බරපතළ සැකයක් මතු විය. නීතිය ක්‍රියාත්මක කරන නිලධාරීන්ගේ සූක්ෂ්ම පරීක්ෂාව හමුවේ මෙය සියදිවි නසාගැනීමක් නොව සාපරාධී ලෙස සිදු වූ මරණයක් විය හැකි බවට කරුණු හෙළි වීමත් සමඟ අදාළ දරුවාගේ මව සහ පියා සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීමට පොලීසිය කටයුතු කළේය. දරුවකුට ලොව ආරක්ෂිතම සෙවණැල්ල විය යුතු මවුපියන්ම මෙවැනි සැකයකට භාජනය වීම ශිෂ්ට සමාජයක පැවැත්ම ප්‍රශ්න කරන්නකි.

සත්‍යය යටපත් කළ නොහැකි බව පසක් කරමින් අවිස්සාවේල්ල මහේස්ත්‍රාත් ප්‍රමොද් ජයසේකර මහතා ඉදිරියේ ජනවාරි 12 වැනිදා මෙම දේහය යළි ගොඩගනු ලැබුවේ මරණයට සැබෑ හේතුව විද්‍යාත්මකව තහවුරු කර ගැනීම සඳහාය. මෙම දේහය මේ වන විටත් කොළඹ ප්‍රධාන විශේෂඥ වෛද්‍ය ශ්‍රියන්ත අමරරත්න මහතාගේ සහ නිලධාරි මණ්ඩලයේ ප්‍රධානත්වයෙන් දෙවැනි පරීක්ෂණයකට ලක් කෙරේ. මෙහිදී අනාවරණය වන වෛද්‍ය විද්‍යාත්මක සාක්ෂි මත දරුවාගේ මරණය සිදුවූ ආකාරය පිළිබඳව අවසන් තීරණය අධිකරණය හමුවේ ප්‍රකාශ වනු ඇත.

මෙම සිදුවීම තුළ ඇති වඩාත්ම ශෝචනීය සහ සමාජයීය වශයෙන් ගැඹුරු කම්පනයක් ඇති කරන කාරණය වන්නේ සැකපිට අත්අඩංගුවට ගත් මව සහ පියා රක්ෂිත බන්ධනාගාරගත කිරීමෙන් පසු ඔවුන් ඇප මත නිදහස් කර ගැනීමට ඉදිරිපත් වීමට කිසිදු පුද්ගලයකු හෝ ඥාතියකු මෙතෙක් ඉදිරිපත් නොවීමයි. තමන්ගේම ලෙයින් උපන් දරුවාගේ මරණය සම්බන්ධයෙන් චෝදනා ලැබූ මවුපියන් වෙනුවෙන් ඇප වීමට කෙනකු නැති තරමට එම සමාජය තුළ ඔවුන් කෙරෙහි පිළිකුළක් සහ කම්පනයක් ගොඩනැඟී ඇති බව මින් පැහැදිලි වේ. සැකකාර මවුපියන් දෙදෙනා තවමත් බන්ධනාගාරගතව පසුවේ.

මෙවැනි සිදුවීම් දෙස බලන කල අපට පැහැදිලි වන්නේ රටක දේශපාලනික සහ ආර්ථික දියුණුව පමණක් මනුෂ්‍යයකුගේ පැවැත්මට ප්‍රමාණවත් නොවන බවයි. සමාජයක් ලෙස අප ආධ්‍යාත්මිකව සහ සමාජීය වශයෙන් විශාල පරිවර්තනයකට ලක් විය යුතුව තිබේ. අපේ රටේ රජයේ සෞඛ්‍ය සහ නීති පද්ධතිය පෞද්ගලික රෝහල් හෝ ආයතන මට්ටමට දියුණු කිරීමට වෙහෙසෙනවා සේම මිනිසුන්ගේ සිත් තුළ පවතින සදාචාරය සහ මනුෂ්‍යත්වයද එලෙසම දියුණු කළ යුතුය. රජයේ පද්ධතීන් පෞද්ගලික අංශයට නොදෙවැනි වන ලෙස දියුණු කිරීමේ හැකියාව අප සතු වුවද මනුෂ්‍යත්වයේ පදනම වන “පවුල” තුළ දරුවකුට ආරක්ෂාව අහිමි වන්නේ නම් එම සමාජය දියුණු යැයි කිව නොහැකිය.

නූරිය පොලිස් ස්ථානය ස්ථාපනය කළ යුගයේදී අප බලාපොරොත්තු වූයේ බාහිර අපරාධවලින් ජනතාව සුරක්ෂිත කිරීමයි. එහෙත් අද වන විට සිදුව ඇත්තේ කුමක්ද? ගේ දොර අඟුල ලා ගත්තද තමන්ගේම නිවහන තුළ තමන්ගේම හිතවතුන් අතින් ජීවිත අහිමි වන තත්ත්වයක් නිර්මාණය වී තිබේ. මෙය හුදෙක් නීතියෙන් පමණක් පාලනය කළ හැකි තත්ත්වයක් නොවේ. මෙහිදී සමාජ, ආර්ථික හා දේශපාලනික දියුණුව පිළිබඳව අප නැවතත් ගැඹුරින් සිතිය යුතුය. දේශපාලන නායකත්වයේ වගකීම විය යුත්තේ හුදෙක් භෞතික සම්පත් බෙදාදීම නොව, මනුෂ්‍ය සදාචාරය සහ ආකල්ප දියුණු කරන අධ්‍යාපන සහ සමාජ පද්ධතියක් නිර්මාණය කිරීමයි.

සැබෑ සමාජ පරිවර්තනයක් යනු හුදෙක් භෞතික සම්පත්වලින් රට පොහොසත් කිරීම නොව; තම දරුවාට ආදරය කරන, අසල්වැසියාගේ දුකේදී සංවේදී වන සහ නීතියට ගරු කරන ගුණගරුක පුරවැසියන් බිහි කිරීමයි. දේශපාලන අධිකාරිය විසින් සිදු කළ යුත්තේ ජනතාවට සහන මලු බෙදා දීම පමණක් නොව, ඔවුන්ගේ ජීවන තත්ත්වය සහ මානසික සෞඛ්‍යය නඟාසිටුවන තිරසර සමාජීය වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමයි. විශේෂයෙන්ම නූරිය වත්ත වැනි පීඩිත පරිසරවල වෙසෙන ජනතාවගේ පවුල් ඒකක ශක්තිමත් කිරීමටත්, ඔවුන් අතර පවතින ප්‍රචණ්ඩකාරී ප්‍රවණතා සහ නොමනා ආකල්ප මුලිනුපුටා දැමීමටත් රජය මෙන්ම ආගමික නායකයන් ද මැදිහත් විය යුතුය.

නූරිය වත්තේ 14 හැවිරිදි පිරිමි දරුවාගේ අකල් මරණය අපට දෙන පණිවිඩය වන්නේ “ආදරය සහ රැකවරණය අහිමි තැන ජීවිතයක් පවතින්නේ නැත” යන්නයි. දරුවකුට ලොව ආරක්ෂිතම ස්ථානය ඔහුගේ නිවහන විය යුතුය. එම නිවහන තුළදීම දරුවකුට ජීවිතය අහිමි වන්නේ නම් අප සමාජයක් ලෙස ආධ්‍යාත්මිකව කොතරම් බිඳ වැටී ඇත්දැයි නැවත සිතා බැලිය යුතුය. ආධ්‍යාත්මිකව හික්මුණු, සමාජීය වශයෙන් වගකීම්සහගත සහ දේශපාලනිකව අවදි වූ සමාජයක් ගොඩනැඟීම සඳහා දැන්වත් අප අත්වැල් බැඳගත යුතුය. අහිංසක දරුවන්ගේ සුසුම් නිහඬ වන, මනුෂ්‍යත්වය රජ කරන හෙට දවසක් උදා කර ගැනීම අප සැමගේ පරම වගකීමයි.

TEXT – දුමින්ද කාරියවසම්

You may also like

Leave a Comment

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?