Wednesday, February 4, 2026
Epaper
Home විශේෂාංගගෙදර ගිනි ගනිද්දී දරුවන්ගේ හීන මියැදෙන හඬ ඔබට ඇසෙනවාද?

ගෙදර ගිනි ගනිද්දී දරුවන්ගේ හීන මියැදෙන හඬ ඔබට ඇසෙනවාද?

by Shanaka Lakehouse

ලොව ඕනෑම දරුවකුට තමන්ගේ නි‍ෙවස යනු ආරක්ෂිතම නවාතැනයි. අම්මාගේ සෙනෙහසත් පියාගේ රැකවරණයත් මැද ලෝකය දකින්නට වෙර දරන දරුවකුට නි‍ෙවස යනු පාරාදීසයකි.

එහෙත් අවාසනාවකට මෙන් වර්තමාන සමාජය දෙස බලන විට පෙනී යන්නේ බොහෝ දරුවන්ට තමන්ගේම නි‍ෙවස පාරාදීසයක් වෙනුවට නිරයක් වී ඇති අයුරුයි. අඹුසැමි ආරවුල්, අනියම් සබඳතා, මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වීම් සහ ආර්ථික පීඩනය හමුවේ අද බොහෝ නිවෙස් දිනපතා යුද පිටි බවට පත්වෙමින් තිබේ. මේ යුද්ධයේ අවසාන ගොදුර බවට පත්වන්නේ කිසිවක් කරකියා ගත නොහැකි අහිංසක දරුවන්ය.

පවුලක් තුළ ඇතිවන සාමාන්‍ය මතභේදයක් දුරදිග ගොස් එය ගුටි බැට හුවමාරුවක් හෝ අසභ්‍ය වචනයෙන් කෙරෙන වාග් ප්‍රහාරයක් දක්වා වර්ධනය වන විට පසෙකට වී එය බලා සිටින දරුවාගේ සිත තුළ මැවෙන චිත්‍රය ඉතාමත් බියකරුය. තමන්ට ඇති එකම ආරක්ෂක පවුර තමන් ඉදිරියේම කඩා වැටෙන විට දරුවා දැඩි අනාරක්ෂිත බවකින් පෙළෙන්නට පටන් ගනී. මව සහ පියා අතර ඇතිවන වෛරී සහගත සබඳතාව දරුවාගේ පෞරුෂය කෙරෙහි සෘජුවම බලපාන අතර එවැනි දරුවන් සමාජය තුළ හුදෙකලා වූ බියගුලු හෝ අතිශය කලහකාරී චරිත බවට පත්වීම වැළැක්විය නොහැකිය. මෙය හුදෙක් එක් නි‍ෙවසක රණ්ඩුවක් නොව අනාගත පුරවැසියාගේ මනස විකෘති කිරීමකි.

මෑතකදී වාර්තා වූ ඇතැම් පුවත් දෙස බලන විට පවුල් ආරාවුල් කෙළවර වන්නේ ඉතාමත් ඛේදජනක ලෙසය. මව හෝ පියා අතින් අනෙක් පාර්ශ්වය ඝාතනය වීම හෝ දෙදෙනාම සියදිවි නසා ගැනීම වැනි සිදුවීම් අද සුලභ වී ඇත. එවැනි අවස්ථාවක අසරණ වන දරුවාට අත්වන ඉරණම වචනවලින් විස්තර කළ නොහැකිය. මව පියා දෙදෙනාම අහිමි වී ඥාතීන්ගේ නිවෙස්වල හෝ පරිවාස භාරයේ හැදී වැඩීමට සිදුවන දරුවකුගේ සිත තුළ ඇතිවන හැඟීම ජීවිත කාලය පුරාම මැකී නොයන කැලලක් බවට පත්වේ. ඔවුන් වැඩෙන්නේ ලෝකය කෙරෙහි දැඩි වෛරයකින් සහ අවිශ්වාසයකිනි. අම්මාගේ පපුතුරේ උණුසුම වෙනුවට හිරගෙදරක වැටකොටු අතර හෝ මල් ශාලාවක මිනී පෙට්ටියක් අසල තනිවන දරුවකුගේ වේදනාවට වගකිව යුත්තේ කවුද?

නූතන මනෝ විද්‍යාත්මක විග්‍රහයන්ට අනුව මෙවැනි අසහනකාරී පවුල් පසුබිම්වල හැදෙන දරුවන්ගේ අධ්‍යාපනය සම්පූර්ණයෙන්ම කඩා වැටේ. පාසල් යන දරුවකු පන්තියේදී නිහඬව සිටින්නේ නම් හෝ හදිසියේම දරුණු ලෙස හැසිරෙන්නේ නම් එහි මූලය බොහෝ විට ඇත්තේ ඔහුගේ නි‍ෙවස තුළය. ගෙදරදී දකින අඬදබර දරුවාගේ මොළයේ වර්ධනයට මෙන්ම මානසික ඒකාග්‍රතාවට ද දැඩි ලෙස බාධා පමුණුවයි. ඔවුන් නිතරම පසුවන්නේ තම මවුපියන්ට කුමක් වේදෝ යන බියෙනි. මේ බිය ඔවුන්ව මානසික අවපීඩනය (Depression) වැනි බරපතළ තත්ත්වයන් කරා තල්ලු කරයි. විශේෂයෙන්ම කුඩා කාලයේ දකින ප්‍රචණ්ඩත්වය දරුවා තුළ “ප්‍රචණ්ඩත්වය යනු ගැටලුු විසඳන ක්‍රමයයි” යන වැරදි මතය තහවුරු කරයි.

තවද මවුපියන් රණ්ඩු වන විට ඇතැම් විට දරුවා පළිහක් ලෙස යොදා ගැනීමට හෝ දරුවා ඉදිරිපිට අනෙක් පාර්ශ්වයට අපහාස කිරීමට වැඩිහිටියන් පෙලඹේ. “උඹේ තාත්තා මෙහෙමයි”, “උඹේ අම්මා මහ නරක ගැහැනියක්” ලෙස දරුවාගේ කනට කොඳුරන වචන දරුවාගේ ආත්ම අභිමානය සුනු විසුනු කරයි. තමන් වැඩියෙන්ම ආදරය කරන දෙදෙනා එකිනෙකාට වෛර කරන විට දරුවා පත්වන්නේ දැඩි දෝලනයකටය. අවසානයේදී ඔවුන් සෙනෙහස සොයා නි‍ෙවසින් බැහැරට යන්නට පෙලඹෙන අතර එහිදී විවිධ දුරාචාරවලට මත්ද්‍රව්‍යවලට හෝ වැරදි සබඳතාවලට මැදි වී තම ජීවිතයම විනාශ කරගන්නා අවස්ථා එමටය. මත්කුඩු රකුසාට හෝ පාතාලයට බිලිවන බොහෝ තරුණයන්ගේ අතීතය පිරික්සීමේදී පෙනී යන්නේ ඔවුන් කඩා වැටුණු පවුල් පසුබිමක අමිහිරි අත්දැකීම් ලැබූවන් බවයි.

පවුල් ආරවුල් ඇතිවීම ස්වාභාවික වුවද ඒවා විසඳා ගැනීමේදී ශිෂ්ට සම්පන්න වීම වැඩිහිටියන්ගේ වගකීමකි. බොහෝ විට ආර්ථික ප්‍රශ්න සහ ඉවසීම නොමැතිකම නිසා කුඩා බහින්බස්වීම් මිනීමැරුම් දක්වා දුරදිග යයි. සමාජයක් ලෙස අප මීට වඩා සංවේදී විය යුතුය. අසල්වැසි නි‍ෙවසකින් දරුවකුගේ විලාපයක් හෝ රණ්ඩුවක ශබ්දයක් ඇසෙන විට “ඒවා ඒ ගොල්ලන්ගේ පෞද්ගලික ප්‍රශ්න” යැයි කියා මඟහැරීම අප කරන ලොකුම වරදයි. ඒ නොසලකාහැරීම තුළ ඇතැම් විට මියයන්නේ රටට වටිනා අනාගත පුරවැසියෙකි. දරුවන් යනු හුදෙක් අපේ අවශ්‍යතාවලට මෙලොවට බිහි කළ පිරිසක් නොව ඔවුන්ට නිදහසේ සහ සාමකාමීව වැඩීමට ඇති අයිතිය අප විසින් සුරක්ෂිත කළ යුතුය. නි‍ෙවසක් යනු ගඩොල් සහ සිමෙන්තිවලින් තැනූ ගොඩනැඟිල්ලක් පමණක් නොව එය ආදරය, ඉවසීම සහ අවබෝධය රජයන තැනක් විය යුතුය.

අප මතක තබා ගත යුතු වැදගත්ම කරුණ වන්නේ ඔබේ කෝපය හෝ අහංකාරය වෙනුවෙන් බිලි දෙන්නේ ඔබේම දරුවාගේ අනාගතය බවයි. පවුල තුළ ගැටුම් ඇතිවන සෑම මොහොතකම, ඔබේ දරුවාගේ අහිංසක දෑස් දෙස මොහොතකට හැරී බලන්න. ඒ දෑස්වල ඇත්තේ බිය සහ කඳුළ නම් ඔබ පරාජය වී හමාරය. පවුල් ආරවුල් නිසා දරුවන් අසරණ වීම වළක්වා ගැනීමට නම් මවුපියන් අතර මනා සන්නිවේදනයක් සහ එකිනෙකාට ගරු කිරීමේ සංස්කෘතියක් ගොඩනැඟිය යුතුය. හෙට දවසේ යහපත් පුරවැසියකු ලොවට දායාද කිරීමට නම් අද ඔබේ නි‍ෙවස යුද පිටියක් නොව ප්‍රේමයේ නිකේතනයක් බවට පත් කර ගැනීමට අදිටන් කරගත යුතුය.

“සිනා පිරි පාරාදීසයක්

විය යුතුය නිවහන

වෛරයේ ගිනි ඇවිළෙනා

යුද පිටියක් වූ තැන

අම්මයි තාත්තයි

දබර කරනා හැම දින

බිත්ති මුල්ලක

දරුවෙක් තනිවම හඬනවා…

පුංචි අත් දෙකෙන් කන් දෙක වසාගෙන

තදට සොයනවා සෙනෙහසක්

රිදුම් දෙන හදවතට

ලොකු මිනිසුන්ගේ අහංකාර වෛරී ගින්නට

පිච්චෙනවා මල් කැකුළු

තැවෙමින් ඒ අළු මැදට…

ලෝකයම දිනන්නට

කරන මේ මහා යුද්ධය

බිඳ දමයි දරුවකුගෙ හෙට දිනේ

සුබ සිහිනය

කෝපයට ඉඩ නොදී

සොයන්න පෑහෙන නිමාව

නැතහොත් ඉතිරි වෙයි

දරුවාට සදාකල් තනිකම…”

 

TEXT – නයනි මධුශානි

You may also like

Leave a Comment

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?