Wednesday, January 28, 2026
Epaper
Home විශේෂාංගස්ත්‍රී විරෝධී ගීත

ස්ත්‍රී විරෝධී ගීත

by Shanaka Lakehouse

ලංකාවේ ඇති බොහෝ සුන්දර ගී, ඇතැම් අය අතින් ලියැවුණු, එසේම සුන්දර ගීත ගායනා කළ අය අතින් කියවුණු ස්ත්‍රී ද්වේෂී ගීත හෝ ගීත ඛණ්ඩ ගැන යමක් කියන්නට සිතුවෙමි. අද මම එක් ගීයක් උදාහරණකොට ගනිමි.


“ඔබ පෙම් කරනා ඔබේ කුමාරී

ඔබට ආදරේ කියනා අයුරින්

පෙර දවසක මා පෙම් කරනා සඳ

මට ද ආදරේ කියා තිබේ”

අසන්නට ඇත්තේ ඉතින් මොකෝ කියාය.

ගැහැනියකට පිරිමි දෙදෙනකුට ආදරය කළ නොහැකිද? එක් සම්බන්ධයක් නිම වූ පසු වෙනත් කෙනකු වෙත යා නොහැකිද? ඔයාගේ කෙල්ල ඔයාට කලින් මට ආදරේ කළා කීම කේළමක් නොවන්නේ කෙසේද? මෙසේ කීමෙන් ඇගේ අලුත් ආදරය පවා බිඳ වැටිය හැකිය. මේ පෙම්වතාගේ අරමුණ අලුත් සබඳතාව බිඳ හෙළා හෝ ඇය යළි තමා වෙතට දිනා ගන්නද?

නොගැළපෙන සම්බන්ධයකින් වෙන් වීමට ඕනෑම ගැහැනියකට අයිතිය ඇත. එසේම වෙනත් කෙනකුට ආදරේ කිරීමටත් අයිතිය ඇත. විවාහයේදී වුවද මෙය මෙසේමය. නොගැළපෙන සබඳතාවලින් මිදීමට සියලු දෙනාට අයිතිය ඇත. විවාහයක දී නම් දරුවන් සිටී නම් දරුවන්ගේ වගකීම දෙදෙනාම ගත යුතු වේ.

“සාගර වෙරළේ සොඳුරු සැඳෑවක

රඟහල කෙළවර අඳුරු නිමේෂෙක

අද ඔබ ළඟ ඔබ සනසාලන ඇය

පෙර දවසක මා තුරුලට වී හිඳ

මට ද ආදරය කියා තිබේ”

එසේ ගැහැනියකට කිව හැකිය. දුක් විඳිමින් එකම මිනිසකු වෙනුවෙන් මිය යාමේ වුවමනාවක් නැත. මිනිහා මැරුණු පසු දර සෑයට පැන සිය දිවි නසා ගැනීම කිසිම ගැහැනියක කැමැත්තෙන් නොකරන්නට ඇත.

අනෙක් අතට මාත් එක්ක මුහුදු වෙරළවල් ගානේත් චිත්‍රපට බලන්නත් ගියා යැයි අලුත් පෙම්වතාට කීමේ සදාචාරය කුමක් ද? ඇය ගියේ ඔහු එපා වීමෙනි. දැන් කේළාම් කීමේ අර්ථය කුමක්ද?

ආදරය කරන කාලයේදී මුහුදු වෙරළවල්, සිනමා හල් මතු නොව ඔවුන් අතර ලිංගික සබඳතා පවා ඇතිවී තිබෙන්නට හැකිය. එහෙත් එසේ යැයි සදාකාලිකව දුක් දෙන තැනක ගැහැනියකට විසිය නොහැකිය. මෙහිදී පෙම්වතා තමාගේ කිසිම වරදක් නොදකී. අනේ මාව දාලා ගියානේ යන්න පමණක් දකී. එහෙත් ගැහැනිය එසේ යන්නේ තවත් ඉවසා සිටිය නොහැකි තැනය.

“සක්මන් මළුවක දෙපා ගෙවෙද්දී

දොඩමලු පෙම් බස් ගොළු වී යද්දී

මා සමුගෙන ඔබ වෙතට පැමිණි ඇය

සනහස සඟවා දෙනෙත නුරාවෙන්

මට ද ආදරේ කියා තිබේ”

මෙහි යටිපෙළ නම් සාම්ප්‍රදායික පුරුෂ චින්තනයයි. “අනේ මගේ කිසිම වරදක් නැහැ. ගැහැනු ඔහොමයි, කොහොමත් චපලයි. මාව අතහැර ඔබ වෙත ආවා” වැනි අදහසකි.

සම්බන්ධතාවක් බිඳ වැටෙන්නේ එක් පාර්ශ්වයක වරදින් ද දෙපාර්ශ්වයේම වරදින් ද කිසිම වැරැද්දක් නැතිවද යන්න සංකීර්ණය. මානව සබඳතා සංකීර්ණය. එවිට ගැහැනු නම් ඔහොමය යනාදී කතා සාම්ප්‍රදායික ස්ත්‍රී ද්වේෂී කතන්දර වේ.

You may also like

Leave a Comment

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?