Tuesday, February 3, 2026
Epaper
Home වෛද්‍යවයස් භේදයක් නොමැතිව කාන්තාවන්ට වධ දෙන සුද යෑම

වයස් භේදයක් නොමැතිව කාන්තාවන්ට වධ දෙන සුද යෑම

by Shanaka Lakehouse

කාන්තාවන්ට ඇතිවන ‘සුද යෑම’ (Leucorrhoea) පිළිබඳව කතා කිරීමේදී, එය බොහෝ දෙනෙක් ලැජ්ජාව නිසා සඟවාගෙන සිටින නමුත්, නිවැරදි වෛද්‍ය උපදෙස් ලබාගත යුතු සෞඛ්‍ය තත්ත්වයකි. මෙය සාමාන්‍ය ස්වාභාවික තත්ත්වයක් හෝ කිසියම් රෝගයක ලක්ෂණයක් ද විය හැකියි.

මොකක්ද මේ ශ්වේත ප්‍රදරය හෙවත් සුද යෑමේ රෝගය කියන්නේ?

ඕනෑම කාන්තාවකට යෝනි මාර්ගයෙන් ශ්‍රාවයන් ( Normal pbysiologiw disacharge) පිටවන අතර එය අවර්ණ, ගඳක් නැති ද්‍රාවණයකි. ලිංගික උත්තේජනයකදී වැඩිපුර ශ්‍රාවය වන අතර මාස්ශුද්ධිය ආසන්නයේද ඝන වශයෙන් දැකිය හැකි වේ.

කැන්ඩිඩා නම් දිලීරය ආසාදනය වූ කාන්තාවන්ගේ යෝනි මාර්ගයෙන් සුදු පැහැති ඝන ශ්‍රාවයන් පිටවන අතර සමහර විට යෝනි මාර්ගය අවට කැසීමක් ද ඇතිවිය හැකිය. මෙම තත්ත්වය සාමාන්‍ය වහරේ සුද යෑම ලෙස හඳුන්වනු ලැබේ.

මෙම රෝගී තත්ත්වය වැළඳීමෙන් පසුව ඇතිවන අපහසුතා පිළිබඳ කතාකළොත්?

සමහර විට මෙම තත්ත්වය නිසා යෝනි මාර්ගය අවට පැළීම් හෝ තුවාල වැනි තත්ත්වයන් ද, වේදනාවක්ද ඇතිවිය හැකිය. තවද තුවාලවල මූත්‍ර පහකිරීමේදී වේදනාවක්ද ඇතිවිය හැකිය. නමුත් වෙනත් ලිංගාශ්‍රිත රෝග වන ගොනෝරියාව, ක්ලැමිඩියාව සහ ධ්‍රරයිකොමොනසියාව නිසාද මෙම සුද යෑම නැත්තම් යෝනි මාර්ගයෙන් සුදු පැහැති දියරයක් ශ්‍රාවය වීම හෝ යෝනි මාර්ග ශ්‍රාවයන්හි අසාමාන්‍යතා ඇති විය හැකි නිසාවෙන් සුදුසුකම් ලත් වෛද්‍යවරයකු පරීක්ෂා කර නිවැරදිව හඳුනාගත යුතුය.

මෙම රෝගී තත්ත්ව ඇතිවීමට බලපාන හේතු පැහැදිලි කළොත්?

සුද යෑම ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදිය හැකියි.

ස්වාභාවික (සාමාන්‍ය) සුද යෑම

මෙය ශරීරයේ සිදුවන හෝමෝන වෙනස්කම් නිසා සිදුවන සාමාන්‍ය ක්‍රියාවලියකි.

ඔසප් චක්‍රය ආරම්භ වීමට පෙර හෝ අවසානයේදී, ගර්භණී සමයේදී, ලිංගික උත්තේජනයකදී සිදුවිය හැකිය.

ලක්ෂණ

ශ්‍රාවය සුදු හෝ විනිවිද පෙනෙන සුලු වීම, දුගඳක් නොමැති වීම සහ කැසීමක් ඇති නොවීම.

අසාමාන්‍ය (රෝගී) සුද යෑම

යෝනි මාර්ගයේ ඇතිවන ආසාදනයක් නිසා මෙය සිදුවිය හැකියි. මෙයට වහාම ප්‍රතිකාර අවශ්‍ය වේ.

බැක්ටීරියා හෝ දිලීර ආසාදන (Fungal/Yeast Infections)පිරිසුදුකම මදිකම හෝ තෙතමනය නිසා ඇතිවේ.

ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝග

අනාරක්ෂිත සබඳතා නිසා ඇතිවිය හැකිය.

මානසික ආතතිය

අධික මානසික පීඩනය නිසාත් මෙය සිදුවිය හැකියි.

වෛද්‍යවරයකු හමුවිය යුතු අවස්ථා (අන්තරායදායක ලක්ෂණ)

පහත ලක්ෂණ ඇත්නම් එය සාමාන්‍ය තත්ත්වයක් නොවන බැවින් වෛද්‍ය උපදෙස් ලබාගත යුතුය.

  • ශ්‍රාවයෙන් අධික ලෙස දුගඳ හැමීම. කහ, කොළ හෝ තද අළු පැහැයට හුරු වීම.
  • යෝනි මාර්ගය අවට අධික කැසීම හෝ දැවිල්ල. යටිබඩ වේදනාව.
  • මූත්‍ර කිරීමේදී ඇතිවන අපහසුව.

සාමාන්‍යයෙන් මෙම කැන්ඩිඩා ආසාදනය ඕනෑම කාන්තාවකට ජීවිතයේ එක් වරක් ඇතිවිය හැකී තත්ත්වයකි. විශේෂයෙන්ම ගර්භිණී කාන්තාවන් අතර කැන්ඩිඩා ආසාදනය වැඩිපුර ඇතිවිය ඇතිවිය හැකිය. තවද දියවැඩියාව පාලනය නොකළ රෝගීන්ගේ ප්‍රතිශක්තිය අඩු වීම නිසා ගැහැනු පිරිමි දෙපාර්ශ්වයටම කැන්ඩිඩා ආසාදනය ඇති විය හැකිය. නිතර නිතර සුද යෑම නැත්තම් කැන්ඩිඩා ආසාදනය ඇති වේ නම් දියවැඩියාව හඳුනා ගැනීම සඳහා පරීක්ෂණ සිදු කර ගැනිම වඩාත් වැදගත් වේ.

මේ සුද යෑම පිළිකා අවස්ථාවක ලක්ෂණයක්ද?

නැත. නමුත් ගැබ්ගෙල පිළිකා තත්ත්වයන්වලදි යෝනි මාර්ගයෙන් පිටවන ශ්‍රාවයන්හි වෙනසක්, ලිංගික සම්බන්ධතාවකින් පසුව රුධිරය පිටවීම හෝ අර්ධව, වක්‍ර සේ අක්‍රමකිකතා ඇති විය හැකිය. මේ නිසා අවුරුදු 35ට වැඩි කාන්තාවන් ගැබ්ගෙල පිළිකා හඳුනා ගැනීමේ පරික්ෂණ වෙත යොමුවීම ඉතා වැදගත් වේ. තවද සැකයක් ඇත්නම් රජයේ ලිංගාශ්‍රිත රෝග සායනයට පැමිණ අවශ්‍ය උපදෙස් ලබා ගැනීම වැදගත් වේ.

මේ පිළිබඳ ප්‍රතිකාර ගැන කතා කළොත්?

කැන්ඩිඩා යනු දිලීරයකි. මේ සඳහා දිලිරනාශක ඖෂධ, බෙහෙත් හෝ ආලේපන ලෙස ලබා දිය හැකියි. තවද නිතර නිතර සුදයෑම ඇත්නම් සමහරවිට දීර්ඝකාලීන ප්‍රතිකාර ද වෛද්‍යවරුන් විසින් නියම කරනුු ලබයි. එමෙන්ම දියවැඩියා රෝගීන් රුධිරයේ සීනි මට්ටම පාලනය කිරීම ද කැන්ඩිඩා ආසාදනය වළක්වා ගැනීමට ඉවහල් වේ.

පිරිසුදුකම

ලිංගික ප්‍රදේශය සැමවිටම වියළිව සහ පිරිසුදුව තබා ගන්න.

යට ඇඳුම්

කපු රෙද්දෙන් කළ (Cotton) යට ඇඳුම් භාවිත කරන්න. තද ඇඳුම් ඇඳීමෙන් වළකින්න.

පෝෂණය

පෝෂ්‍යදායී ආහාර වේලක් ලබාගැනීම සහ හොඳින් ජලය පානය කිරීම.

රසායනික ද්‍රව්‍ය

සුවඳ විලවුන් අඩංගු සබන් හෝ පවුඩර් වර්ග එම ප්‍රදේශයේ භාවිතයෙන් වළකින්න.

මෙවැනි තත්ත්වයකදී ලැජ්ජා නොවී රජයේ රෝහලක සායනයකට හෝ පවුලේ වෛද්‍යවරයා වෙත ගොස් පරීක්ෂා කර ගැනීම ඉතා වැදගත්. නිවැරදි ප්‍රතිකාර මඟින් මෙය ඉතා ඉක්මනින් සුව කළ හැකියි.

 

TEXT – චතූ වීරසිංහ

You may also like

Leave a Comment

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?