තමා වෙනුවෙන් ආදරණීය කෙනකු සිටිනවා යැයි දැනෙන හැඟීම ඕනෑම කෙනකුගේ සිත සුවපත් කරන කරුණකි. එනිසාම බොහෝ දෙනෙක් තමා වෙනුවෙන් ආදරණීය කෙනෙක් තෝරාගන්නේ දිවි ඇතිතෙක් ජීවත් වීමට සිහින දකිමිනි.
එය බෙහෙවින්ම සුන්දර හැඟීමකි. එනිසාම ඔවුන් යුග දිවියට එළඹෙන්නේ එකිනෙකා පිළිබඳ මහත් විශ්වාසයෙනි. ආදරයකිනි. නමුත් එකී විශ්වාසය හෝ ආදරය එලෙසින්ම රඳා පවතින්නේ ද යන්න ගැටලුවකි. වර්තමානය තුළ දික්කසාදය මෙතරම්ම බලවත් වීම එයට කදිම නිදසුනකි.
සැබවින්ම අප දික්කසාදයට ඉඩ දිය යුතුද? අප කළ යුත්තේ එකිනෙකාට දික්කසාදය කරා ගමන් කිරීමට හේතු වන්නේ මොනවාදැයි සෙවීමයි. ඒ පිළිබඳ දැනුවත් වීමයි. එවැනි හේතු මඟහරවා ගැනීමයි.
ජීවත් වීමට අනවශ්‍ය අවශ්‍යතා ඇති කර ගැනීම
සිතා බලන්න. ඔබට වඩාත් පහසුවෙන් ගමන් කිරීමට හැකි වාහනයක් ඔබ සතුව දැනටමත් තිබියදී වුවද ඔබගේ යහළුවෙක්, අසල්වැසියෙක් හෝ නෑදෑයෙකු ඉන් ඔබ්බට ගොස් නවතම පන්නයේ වාහනයක් ගත්විට ඔබටත් එම වාහනයම මිලදී ගැනීමට සිතෙන්නේ නම් එය සැබවින්ම ජීවිතයට අනවශ්‍ය අවශ්‍යතාවයකි. එමෙන්ම අනවශ්‍ය වියදමකි. මේ නිසාම ඔබ රැකියා ස්ථානයේ දී වෙහෙස වී වැඩ කිරීමට උත්සාහ දරයි. මෙයින් සිදුවන්නේ ඔබට දවස තුළ පවුල වෙනුවෙන් ගත කිරීමට හැකි කාලය මිඩංගු කිරීමටය. එයින් ඔබේ දරුවන් මෙන්ම බිරියත් ඔබෙන් මඟහැරෙයි. එසේත් නැතිනම් ඔබ ණය මුදලක් ගැනීමෙන් එම ආශාව තෘප්ත කර ගනී. මෙයින් සිදුවන්නේ ද ඊට නොදෙවෙනි දෙයකි. ණය බරින් නිදහස් වීමට නොහැකි වූ විට ඔබට ඔබගේ බිරිය සමඟ හෝ දරුවන් සමඟ සාමකාමීව, සතුටින් හෝ ආදරණීය ලෙස ජීවත්වීමට නොහැකිය. සැබැවින්ම මෙය විවාහයෙන් පසු සැමියා සහ බිරිය එකිනෙකාට වහකදුරු මෙන් පෙනීමට හේතුවක් බව පැහැදිලි නොවේ ද ?
බොහෝවිට ඔබ රාජකාරිය දේවකාරිය මෙන් සලකයි. එහි කිසිදු දෝෂයක් නොවේ. නමුත් රාජකාරිය හා පවුල් ජීවිතය සමබරව පවත්වාගෙන යාමට ඔබ බුද්ධිමත් පුද්ගලයෙකු විය යුතුමය. මන්ද අධික ලෙස කාර්යබහුල වීම අධික ආතතියට හේතුවකි. අධික ආතතිය ඔබ බෝ නොවන රෝගියකු බවට පත්කිරීමට හේතුවකි. එය ඔබගේ පවුල් ජීවිතය මෙන්ම පෞද්ගලික ජීවිතයටද සුබ ලකුණක් නම් නොවේ.
අධික මානසික ආතතිය සහ ඇබ්බැහිවීම්
මෙවැනි මානසික මට්ටම්වලින් බැහැරවීමට ඔබ ඇබ්බැහිවීම්වලට ලක්විය හැකිය. මන්ද ඇබ්බැහිවීම් තුළින් තාවකාලිකව ඔබේ මානසික සුවය නිර්මාණය කර යි. මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවීම, අනියම් සම්බන්ධතාවලට යොමුවීම, දුරකතනයට හෝ රූපවාහිනියට ඇබ්බැහිවීම, වැඩිපුර ආහාර ගැනීම, වැඩිපුර නිදා ගැනීම වැනි මානසික මට්ටම්වලට ඇද වැටීම එහි දරුණුතම අවස්ථාවකි. මෙයින් ඔබට යම්කිසි උද්දීපනයක් ලැබිය හැකිය. නමුත් මත්ද්‍රව්‍ය පානය කිරීම යනු ඔබේ ශරීර සෞඛ්‍යයට එක හෙලා තර්ජන එල්ල වන ඔබ ඇබ්බැහි නොවිය යුතු ක්‍රියාවකි. අනියම් සම්බන්ධතා තුළින් ඔබට අවශ්‍ය මානසික සුවය ඔබ පතන අයුරින් දීර්ඝකාලීනව ලැබෙන්නේ නැත. රූපවාහිනිය තුළින් විකාශය වන රසවින්දනාත්මක වැඩසටහනක් නැරඹීම කිසිසේත්ම ගැටලුවක් නොවේ. නමුත් රූපවාහිනිය ඉදිරියේ දිනපතා දවසින් වැඩි කාලයක් ගත කිරීමෙන් වැළකීමට ඔබ නිසැකවම සැලකිලිමත් විය යුතුමය.
විසඳුම්
ලොව පවතින ඕනෑම පැනයකට විසඳුමක් ඇති බව අපගේ භාග්‍යවතුන් වහන්සේ විසින් පෙන්වා දී ඇත. එබැවින් මෙවැනි අවුල් සහගත පවුල් ජීවිතයක් හිමි කර ගැනීමට පෙර හෝ ඔබ දැන් එවැනි අසීරු තත්ත්වයක සිටින්නේ නම්, ඔබට මෙවැනි දෑ අනුගමනය කර ඔබේ මානසික සුවතාවය පිළිබඳ අධ්‍යයනය කළ හැකිය. එනම් අනවශ්‍ය කාර්යබහුලත්වයෙන් මිදී ක්‍රීඩාවකට යොමුවීම ඔබේ මානසික මෙන්ම කායික සුවතාවය බෙහෙවින්ම සංවර්ධනය කර ගැනීමට හැකි කදිම යතුරකි. එය ඔබ බෝ නොවන රෝගවලින් වළක්වා ගනියි. එමෙන්ම ඔබේ ඒකාකාරී මානසිකත්වයට කදිම ඔසුවකි. එසේම ඔබ සිතට වද දෙන යම් දෙයක් පිළිබඳව තනිව කල්පනා කරන ගෘහිණියක් නම් ඔබට කාන්තා සමිතියකට හෝ බැඳී එහි ක්‍රියාකාරීව කාලය ගත කළ හැකිය. එහි දී ඔබට සමාජයේ මිතුරියන් මුණගැසෙයි. ඔවුන් සමඟ තම අත්දැකීම් බෙදා ගත හැකිය. එය ඔබේ මානසික සුවතාවයට බෙහෙවින්ම වටියි. ඔබ මානසික සුවයෙන් සිටිනවා යනු ඔබේ පවුල ද ආදරයෙන් පිරී ඉතිරීමට හේතුවකි. එය ඔබ කුටුම්භය තුළ සිර වී සිටීමෙන් ද මුදා ගනියි. එසේම කිසියම් විනෝදාංශයක් හුරුකිරීම ඔබගේ මානස සුව වන තවත් සුවිශේෂී ක්‍රියාවලියකි.
ඉතින් ඔබත් සතුටින් ජීවත් වන්න. එය ඔබේ ජීවිතයත් පවුල් ජීවිතයත් රැකදේ.
TEXT – පියුනි හිමායා
