Wednesday, January 28, 2026
Epaper
Home Recipeදන්න කෑමක් වෙනස් විදිහට හදමු

දන්න කෑමක් වෙනස් විදිහට හදමු

by Shanaka Lakehouse

හැමදාමත් එකම විදිහේ කන ආහාර රටාවට පුංචි වෙනසක් කරමු නේද? විවේකී සති අන්තයක මෙවැනි රස මුසුවක එකතුව ඔබේ පවුලේ සාමාජිකයන්ට සැබැවින්ම මතක සැමරුමක් වේවි. මේ කෑම වට්ටෝරු ඔබේ අවට පරිසරයෙන් ඉතා අඩු මුදලකට සොයාගත හැකි වීමත් විශේෂත්වයකි.

චිකන් බිරියානි

අවශ්‍ය ද්‍රව්‍ය

චිකන්

බාස්මතී හාල්

මුදවපු කිරි

බේ ලීව්ස්

ස්ටාර් අනීස්

ඉඟුරු, සුදුලූනු

ලූනු

තක්කාලි

අමුමිරිස්

බිරියානි පේස්ට්

මිංචි කොළ

කොත්තමල්ලි කොළ

කජු සහ මුද්දරපලම්

සාදාගන්නා ආකාරය

මුලින්ම කුකුළු මස් ටික හොඳින් සෝදා පිරිසුදු කර ගන්න. පසුව භාජනයකට

කුකුළු මස් ටික දමා එයට තක්කාලි, අමුමිරිස්, මුදවපු කිරි, බිරියානි පේස්ට් හෝ බිරියානි කුඩු එකතු කරගන්න. ඉන්පසුව එයට මිංචි කොළ, කොත්තමල්ලි කොළ, මිරිස් කුඩු දමා හොඳින් අතින් අනාගන්න. පසුව බිරියානි එක සෑදීමට හොඳින් ඉඩ ඇති බඳුනක් ළිපෙන් තබා එයට පොල්තෙල් හාල් ටිකක් දාගන්න. ඉන්පසුව එයට සූදුරු, එනසාල්, කුරුඳු, ස්ටාර් අනීස්, බේ ලීව්ස්, ලුනු සහ හාල් ටික දාගන්න. හොඳින් තෙම්පරාදු කර ගන්න. තෙම්පරාදුව රන්වන් පැහැති වනවිට එයට කජු සහ මුද්දර්පලම් එකතුකර අඩු ගින්දරේ තෙම්පරාදු වෙන්න ඉඩ හරින්න. විනාඩියකට පසුව කලින් අනා තබාගත් චිකන් ටික තෙම්පරාදුවට දමා මඳ ගින්නෙ හොඳින් කවලම් කරන්න. පසුව එයට අවශ්‍ය ප්‍රමාණයට වතුර දමා හොඳින් කලවම් කරන්න. අනතුරුව කොත්තමල්ලි කොළ ටිකක් දමා හොදින් හැඳි ගා විනාඩි 15ක් පමණ උයා ගන්න.

විනාඩි පහළොවකින් පසු හොඳින් පිපුණු කුකුළුමස් එකට සෝදා පිරිසුදු කරගත් බාස්මතී හාල් එකතුකර නැවත කොත්තමල්ලි කොළ දමා ටික වේලාවක් උයාගන්න. (සහල් එකතු කරන විට වතුර මදි නම් නැවත වතුර ටිකක් එකතු කරන්න.) විනාඩි පහළොවක් විස්සක් පමණක් රසම රස චිකන් බිරියානි එක සෑදුණාට පසුව එයට බැදගත් ලූනු සහ කොත්තමල්ලි කොළ එකතු කරගන්න. දැන් ඔබට පුළුවන් රසම රස චිකන් බිරියානි එකේ රස බලන්න.

************************************************************************
වට්ටක්කා කොළ රෝල්ස්

අවශ්‍ය ද්‍රව්‍ය

වට්ටක්කා කොළ

බිත්තර එකයි

හාල්පිටි

ලූනු, අමු මිරිස්

ලුණු ස්වල්පයක්

ගම්මිරිස් කුඩු

පොල්තෙල්

සාදාගන්නා ආකාරය

මුලින්ම හොඳින් වට්ටක්කා කොළ ටික පිරිසුදු කරගන්න. ඊට පස්සේ ලුනූ, අමුමිරිස් චූටි කෑලිවලට කපා ගන්න. කපා ගත් ලූනු, අමු මිරිස් භාජනයකට දාගෙන ඒකට ලුණු කුඩු, ගම්මිරිස් කුඩු සහ බිත්තරයක් එකතු කරන්න. පසුව මේ සේරම හොඳින් මිශ්‍ර කරගන්න අතරේ ඒකට හාල් පිටි ටික ටික අවශ්‍ය ප්‍රමාණයට එකතු කර ඉන්පසු පිරිසුදු කරගත් වට්ටක්කා කොළයක් අරගෙන වට්ටක්කා කොළේ එක පැත්තක සාදා ගත් මිශ්‍රණය තවරගන්න. ඊට පස්සේ එක පැත්තකින් අල්ලාගෙන වට්ටක්කා කොළය රෝල් කරගන්න. කුඩා ප්‍රමාණයේ වට්ටක්කා කොළ රෝල්ස් සාදා ගැනීමට අවශ්‍ය නම් පිහියෙන් දෙකට කපන්න. ඊට පස්සේ තාච්චියට තෙල් ටික දමා මඳගින්නේ රසම රස වට්ටක්කා රෝල්ස් බැඳගන්න. වට්ටක්කා රෝල්ස් පිම්බිලා කොළේ පාට තද කොළ පාට වීගෙන එද්දී ළිපෙන් බාගන්න.

************************************************************************
බණ්ඩක්කා ස්නැක්ස්

අවශ්‍ය ද්‍රව්‍ය

බණ්ඩක්කා

පාන්පිටි

බටර් ග්‍රෑම් 50ක්

කූනිස්සෝ

කපාගත් ලූනු

කෑලි මිරිස් සහ ලුණු

සුදුලුනු

සාදාගන්නා ආකාරය

මුලින්ම බණ්ඩක්කා හොඳින් සෝදා පිරිසුදු කරගෙන පසුව පිහියකින් මැද ඉරක් කපාගන්න. පසුව බණ්ඩක්කා ඇතුළ පිරිසුදු නරක් නොවූ කරල් රැගෙන ස්ටීමරේට දමා විනාඩි තුනක් තම්බාගන්න. ඊට පසුව බටර් සහ ලුණු වතුරට දමා හොඳින් මිශ්‍රකර ගන්න. පසුව එය විනාඩි 10ක් පමණ වසා තබන්න. ඒ අතර කූනිස්සෝ මිශ්‍රණය සාදාගන්න. ඇතිලිය ළිපෙහි තබා එයට තෙල් ටිකක් එකතු කරගන්න. කපා ගත් සුදුලූනු දමා අනතුරුව කූනිස්සෝ එකතු කරගෙන හොඳින් තෙම්පරාදු කරගන්න.

ඒ ටික හොඳින් තෙම්පරාදු වූ පසු එයට ලූනු එකතු කර නැවත විනාඩි පහක් පමණ හොඳින් තෙම්පරාදු කරගන්න. පසුව එයට කෑලි මිරිස්, ලුණු කුඩු දමා හොඳින් කවලම් කර විනාඩි පහක් පමණ තෙම්පරාදු කර ළිපෙන් බාගන්න. ළිපෙන් බා ගත් කූනිස්සෝ තෙම්පරාදුව නිවෙන්නට හැර කලින් අනාගත් පාන් පිටි බෝල තුනීවන තෙක් රොටියක් හැඩයට සකසා ගන්න. පසුව පිහියක් රැගෙන එය හීනියට පටි ලෙස කපා ගන්න.

කලින් තම්බා ගත් බණ්ඩක්කා කරල මැදට කූනිස්සෝ පිරවුම දමා කපාගත් පාන්පිටි පටි එකින් එක රැගෙන කූනිස්සෝ පිරවුම එළියට නොයෙන අන්දමින් බණ්ඩක්කා කරල වටා හොඳින් ඔතාගන්න. ඉන්පසු රත් වූ සාමාන්‍ය ගැඹුරු තෙලේ බණ්ඩක්කා කරල් ටික හොඳින් රන්වන් පැහැ වන තෙක් බැදගන්න. දැන් ඔබට පුළුවන් රසම රස ස්නැක්ස්වල රස බලන්න.

************************************************************************
ක්‍රිස්පි වම්බටු

අවශ්‍ය ද්‍රව්‍ය

වම්බටු

ලුණු

තක්කාලි

අමු මිරිස්

සුදුලූනු

සූදුරු, කුරුඳු එනසාල්

පාන් කුඩු/ බිස්කට් කුඩු

බිත්තර

පාන්පිටි

සාදාගන්නා ආකාරය

මුලින්ම වම්බටු ටික හොඳින් සෝදා පිරිසුදු කරගෙන දිග පොඩි කෑලිවලට කපාගන්න. පසුව වම්බටු බැදගන්න. අවශ්‍ය දවටනය සාදා ගන්න. පාන් පිටි ටිකක් බිත්තර එකක් සහ රස අනුව ලුණු, ගම්මිරිස් දමා වතුර ටිකෙන් ටික එකතු කර උකු දවටනයක් සාදා ගන්න. ඉන්පසු වම්බටු කැබලි ටික මිශ්‍රණයට දමා දවටා ගන්න. අනතුරුව වම්බටු කැබලි ටික පාන් කුඩුවල හෝ බිස්කට් කුඩුවල තවරා‍ෙ‍ගන ගැඹුරු තෙලේ රන්වන් පැහැය එන තෙක් බැදගන්න. වම්බටු ටික බැඳුණු පසු ළිපෙන් ඉවතට ගෙන නැවතත් එයට තෙල් ස්වල්පයක් දමා සූදුරු, කුරුඳු, එනසාල් දමා මඳ ගින්දරේ තෙම්පරාදු කරගන්න.

එයට ලූනු, අමුමිරිස්, තක්කාලි දමා හැන්දකින් ටිකක් තෙම්පරාදු කර කෑලි මිරිස්, ලුණු කුඩු, සෝයා සෝස්, තක්කාලි සෝස් සහ සීනි එකතු කර හොඳින් කලවම් කරගන්න. එයටම බැදගත් වම්බටු කැබලි එකතුකර නැවතත් මඳ ගින්නේ විනාඩි පහක් පමණ තෙම්පරාදු කරගන්න. දැන් ඔබට පුළුවන් රසම රස ක්‍රිස්පි වම්බටුවල රස බලන්න.

TEXT – කවීෂා සංදීපනී

You may also like

Leave a Comment

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?