Saturday, February 14, 2026
Epaper
Home කලා ලොවෆාදර් චිත්‍රපටය නිසා දැනෙන මේ හැඟීම මට මීට කලින් දැනිලා නෑ

ෆාදර් චිත්‍රපටය නිසා දැනෙන මේ හැඟීම මට මීට කලින් දැනිලා නෑ

රංගන ශිල්පී පූජන දන්දෙණිය

by Shanaka Lakehouse

ඉර සඳ සෙවණැල්ලේ කළු සුදු ඕ්විල්ලේ

නැළවෙනවද මේ මනුසත් උද්‍යානේ

කඳුළද හසරැල්ලේ සැනහී දිවි නිල්ලේ

හමුවෙමු මොහොතක් අපි පරසතු යායේ

කාටත් හුරු පුරුදු චාමර වීරසිංහගේ මේ කටහඬ අපට ඇහෙන්නේ ෆාදර් චිත්‍රපටය අවසානයේදීයි. ඉර හඳ හෙවණ යට ජීවත් වන මිනිසුන්ගේ ජීවිතවල කළු පාට වගේම සුදු පාට ලකුණුත් විටින් විට ඉස්මතු වීම අප කවුරුත් දන්නේ ස්ව අත්දැකීමෙනි. බුද්ධ කාලයේ අහිංසක, අංගුලිමාල වෙන්නෙත් අංගුලිමාල නම් දාමරිකයා රහතන් වහන්සේ නමක් ලෙස වෙනස් වෙන්නේත් මේ කළු සුදු ලක්ෂණවල දෝලනය නිසා බව කිව යුතුයි. අහිංසකලා අංගුලිමාල කරන්නට මංපෙත් හෙළි කරන්නෙත් හුදු සමාජය විසින්ම බව ඒ ඒ චරිතවල අතීතය සොයා බැලීමේදී අපට පැහැදිලි වෙයි. අතිශය යහපත් මිනිසෙක් සැණෙකින් අතිශය නරක මිනිසෙක් කරන්නට මේ සමාජයට පවතින්නේ පුදුමාකාරයේ හැකියාවකි. එවන් සිදුවීමක් ප්‍රස්තූතය කරගෙන නිර්මාණය වන ෆාදර් නූතන සිනමාවේ අද්විතීය සලකුණක් බව ප්‍රේක්ෂකයන් විසින්ම මේ වන විට ඔප්පු කර හමාරය. මේ වන විටත් සිනමා ශාලාවල ප්‍රේක්ෂකාගාර අතුරු සිදුරු නැතිව පිරී යන්නේ ෆාදර් චිත්‍රපටයේ පවතින මානව කතාන්දර අපගේ ජීවිතවලටත් කොතරම් සමීපද යන්න මොනවට පැහැදිලි කරමින්. මේ එක් එක් චරිතවලට පණ පොවන රංගන ශිල්පීන් ශිල්පිනියන් ෆාදර් ගැන තරුණී අප සමඟ දැක්වූ අදහස්…

සිංහල සිනමාවට ආගන්තුකයෙක් නොවූවද පූජන දන්දෙණිය ප්‍රධාන චරිතයකින් සිංහල සිනමාව අතික්‍රමණය කරන්නේ ෆාදර් චිත්‍රපටයෙනි. මෙහිදී පූජනගේ ශරීර භාවයන්, ඇස් භාවිත කරමින් දක්වන සුවිශේෂ භාවයන් අනුව ඔහු මෙහි රංගන භූමිකාව අත්පත් කරගෙන ඇති බව මනාව පෙනී යයි. ඒ අත්පත් කර ගැනීම ෆාදර් චිත්‍රපටයේ සාර්ථකත්වයට ප්‍රධාන හේතුවක් වී ඇති බවට තර්කයක් නැත. ප්‍රවීණ රංගධරයන් රැසක් මැද පූජන සිය රංගන විශිෂ්ටත්වය මෙහිදී අපට ගෙන හැර පාන්නේ ප්‍රවීණයන්ට නොදෙවැනි අද්විතීය රංගනයකිනි. මේ ඒ පිළිබඳව ඔහු අප සමඟ දැක්වූ අදහස්..

චමින්ද අයියාව මට මුලින්ම හමුවෙන්නේ 2012 වසරේදී පමණ. අපි ඒ දවස්වල මංගල සේනානායකගේ ජුලියස් සීසර්‌ගේ නාට්‍යයට සම්බන්ධ වෙලා හිටියා. ඒ කාලේ ඉඳලාම තරුණ නළුවන්ට වැඩිපුර සමීප වන එක ඔහුගේ පුරුද්දක්. එහිදී අපි එකතු වෙලා වැඩක් කරමු යැයි නිතරම ඔහු කීවා. එහෙත් ජුලියස් සීසර් වැඩෙන් පස්සේ ඔහුව මට හමුවුණේම නෑ. ඒ වුණත් ඔහු ඉඳහිට හෝ මට කෝල් කරමින් ඉදිරියේදී කරන වැඩක් ගැන මට මතක් කරනවා. ඔහොම කාලය ගත වෙලා 2024දී වගේ ඔහු මට දුරකතන ඇමතුමක් දෙමින් මේ චිත්‍රපටය ගැන කතා කරනවා. ඉතින් මේ චිත්‍රපටයේ පිටපත දැක්කාම මං වික්ෂිප්ත වුණා. ඒක පිස්සු හැදෙන වැඩක්. ඇත්තටම ෆාදර් කියලා ෆිල්ම් එකක් මං වෙනුවෙන් සූදානම් වෙමින් තියෙන බවක් මං ඒ වන තුරු දැනගෙන හිටියේ නෑ. ඇත්තටම ඒක අහම්බයක්.

ඊටත් කලකට ඉහත මේ ෆිල්ම් එකේ කැමරා කරපු විශ්වජිත් අයියාගේ ගෙදර ගිය වෙලාවෙත් “මෙයා තමයි වැඩේ ඉන්නේ. මේ පාර නියම වැඩක් දෙමු” වගේ කතාබහක් තිබුණා. ඒත් වැඩේ මොකක්ද කියලා එදා මට කීවේ නෑ. මේ වැඩේ මට දැනගන්නට ලැබුණේ ඊට සෑහෙන කලකට පස්සෙයි.

ඩෙස්මන්ගේ චරිතයත් එක්ක මේ දවස්වල ලැබෙන ප්‍රතිචාර ගැන කීවොත්..

ඇත්තටම චිත්‍රපටයට වුණු පෙර සූදානම, රූගත කිරීම්, පසු නිෂ්පාදන කටයුතු දැක්කාම මේක හොඳින්ම සාර්ථක වන වැඩක් බව මට දැනුණා. එහෙත් මෙවන් ප්‍රතිචාරයක් මං බලාපොරොත්තු වුණේ නෑ. මගේ රංගන ජීවිතයේ එක ලයිෆ් ගෝල් එකක් පසු කළා කියා මට හිතෙනවා. ක්ෂේත්‍රයේ හිත මිතුරන්ගෙන් වගේම රසිකයන්ගෙන් ලැබෙන ප්‍රතිචාර ඉතා ඉහළයි. මේක නිකම් මගේ ජීවිතයේ පොඩි මංගල්‍යයක් වගේ කිව්වොත් වැරදි නෑ. ඉතින් මේ මොහොතේ මං ඉන්නෙ ගොඩාක් සතුටින්.

ප්‍රධාන චරිතයක් රඟ දැක්වූ පළමු චිත්‍රපටයෙන්ම ඔස්මන්ඩ් වගේ ප්‍රබල චරිතයක් නිරූපණය කිරීම අභියෝගයක් වුණාද? ඒ චරිතයට සූදානම් වුණේ කොහොමද?

ඒක විශාල අභියෝගයක්. ඔස්මන්ඩ් අංකල් කියන්නේ තවමත් ජීවත් වන චරිතයක්. චරිතයේ ප්‍රබලත්වයට වඩා මෙහිදී මට දැනුණේ පිටපතේ ප්‍රබලත්වයයි. මං මේ චරිතය ගැන හොයන්න ගත්තේ පිටපතේ ප්‍රබලත්වයත් එක්ක. ඇත්තටම මීට පෙර මං ඔස්මන්ඩ් චරිතය ගැන අසා හෝ තිබුණේ නෑ. ඊට පස්සේ මං ඔහු ගැන සොයන්නට පෙලඹුණා. අධ්‍යක්ෂ චමින්ද අයියා මගෙන් බලාපොරොත්තු වුණේ ඔස්මන්ඩ් චරිතය විදිහේම රංගනයක් නොවේ. ඒ කාලයේ දේශපාලන, සමාජ තත්ත්වය අධ්‍යයනය කරන්නැයි ඔහු මට උපදෙස් දුන්නා. ඒ වගේම සාමාන්‍යයෙන් නළුවෙක් පිටපතක් ලැබුණාම සූදානම් වන ක්‍රම විධි අනුගමනය කළා. මං ශරීරය ගැන හිතුවා. ගම්පහ කියන්නේ වොලිබෝල් ක්‍රීඩාවට ජනප්‍රිය තෝතැන්නක්. ඉතින් වොලිබෝල් ක්‍රීඩකයෙක්ගේ අත් තියෙන්නේ ඕනේ කොහොමද වගේ දේවල් ගැන මං අවධානය යොමු කළා. ඒ වගේම 70-80 දශකයේ දේශපාලන සමාජ වටපිටාව අධ්‍යයනය කරමින් මේ සිටුවේෂන් එක ප්ලේ කළා. ඒක ටිකක් අසීරු වැඩක් වුණේ ජීවත් වන චරිතයක් රඟ දැක්වීම නිසායි. ඒ අභියෝගය මට නිතරම තිබුණා.

ඇත්තටම ඔබ මෙහිදී සජීවීව නුදුටු 70-80 දශකයේ සමාජ පසුබිම අධ්‍යයනය කළේ කොහොමද ?

එය මං හොඳින් අධ්‍යයනය කළා. ඒ කාලේ ෆොටෝ, වීඩියෝ සහ ෆැෂන් පිළිබඳ සොයා බැලුවා. ඒ කාලේ කැමරාවලින් ගත් මුද්‍රිත ඡායාරූප අපේ අම්මා ළඟ තිබුණා. ඒ ඇල්බම් සියල්ලක්ම පාහේ මං පෙරළා බැලුවා. ඒ කාලේ තරුණ තරුණියෝ ඡායාරූපවලට පෙනී සිටින ආකාරය, විලාසිතා, මිනිසුන්ගේ හැසිරීම් ආදිය හොඳින් අධ්‍යයනය කළා. ඔවුන් ඇවිදින ආකාරය, විජය කුමාරතුංගගේ ෆිල්ම් බලලා බෙල් බොටම් අඳින තරුණයින්ව මං එහිදී දුටුවා. මම මේ රංගනයට අත ගැසුවේ එවන් පුළුල් අධ්‍යයනයකින් පසුවයි. මේක වගකීම් සහගත වැඩක් බව මගේ හිතට කා වැදී තිබුණා. ඇත්තටම ඒ සූදානම නැතිව මේ වගේ වැඩක් කරන්න මට බෑ.

ප්‍රවීණයන් රැසක් මැද රඟපානකොට දැනුණ හැඟීම මොකක්ද?

එය මට මේ රංගනයේදී විශාල මෝටිවේෂන් එකක් වුණා. මේ අධ්‍යක්ෂවරයා, නිෂ්පාදකවරයා වගේම ප්‍රවීණ රංගන ශිල්පීන් ශිල්පිනියන් මාව විශ්වාස කළා. ඒ විශ්වාසය රකින්නට මං හැම මොහොතකම උත්සාහ කළා. මට ඉහළ පරම්පරාව වගේම මගේ වටේ හිටපු මගේ පරම්පරාවේ අයත් දක්ෂතාවලින් පිරිපුන් අය. ඒ වගේම සෙට් එක ඇතුළේ වැඩ කරන කොට අපේ වරදක් ගැන කතා කරන්න වෙලාවක් නෑ. ඒ වගේම මෙය මං ප්‍රධාන චරිතයකට පණ පොවන පළමු චිත්‍රපටය. ඒත් බිග් ස්ක්‍රීන් එක ගැන මට අදහසක් තිබුණා. ඉතින් රසිකයන් මගේ ළඟටම ඇවිත් බලද්දී ඇහිපිල්ලමක හෝ වරදක් වෙන්න බෑ කියන අදහසින් කටයුතු කළා. සිනමා පාඨමාලා හැදෑරීම වගේම කාලයක් තිස්සේ රංගනයේ යෙදීමත් එක්ක මං ඒ අවබෝධය ඇතුව මෙහි රංගනයේ යෙදුණා.

ඔබේ රංගනය ඔබට දැනෙන්නේ කොහොමද?

මං ඇත්තටම මගේ රංගනයක් ගැන සෑහීමකට පත් වෙන කෙනෙක් නොවේ. එක් රංගනයකින් අනතුරුව ඊළඟ රංගනය සාර්ථක කර ගැනීමට මට ඒ නොසෑහීම ප්‍රයෝජනවත් වෙනවා. මං හැමතිස්සෙම අලුත් වැඩකට අත ගහන්නේ කලින් කරපු වැඩේ පැත්තකින් තියලයි. ඒ වගේම ඩෙස්මන්ගේ චරිතය මං කළේ ඉතා පරිස්සමින් මගේ පළමු රංග කාර්යය සේ සලකමින්. ඇත්තටම මේ වැඩේ ගැන මං පුද්ගලිකවම තෘප්තිමත්.

ඔස්මන්ඩ් අයියා හා ඔබ අතර දකින සමානකම් මොනවද ?

අපි දෙන්නා මුහුණුවරින් සමාන නෑ. ඒත් මගේ සහ ඔහුගේ අභ්‍යන්තරිකව සමාන ලක්ෂණ කිහිපයක් තිබෙනවා. ආවේගශීලිත්වය ඉන් එකක්. ඉතින් මං ඔස්මන්ඩ් අංකල්ගේ අභ්‍යන්තරික ලක්ෂණ කිහිපයක් කියෙව්වා. මං ඒ කියවීම සිදු කළේ ඔස්මන්ඩ් අංකල් එක්ක කතා කරලා නොවේ. චමින්ද අයියාගේ උපදෙස් අනුව මං ඔස්මන්ඩ් අංකල් ගැන හොයන්න ගත්තා. ඉතින් ඒ අනුව මං නිතරම සොයා බැලුවේ ඔහුගේ අභ්‍යන්තරික ගුණ පමණයි.

ඔස්මන්ඩ් අංකල්ගේ ප්‍රතිචාරය කොහොමද ?

එදා ප්‍රිමියර් එකේදී මගේ උරහිස අල්ලලා “කිසිම අඩුවක් නෑ” යැයි ඔහු මට ප්‍රශංසා කළා. ඒ වගේම ඔස්මන්ඩ් අංකල්ගේ දුව එදා දැක්වූ ප්‍රතිචාරය ඉතාම ආදරණීයයි. මං දන්නවා ම‌ගේ තාත්තාව. තාත්තාගේ වේදනාව, තාත්තා ඉවසන ආකාරය, තාත්තා සිතන විදිහ අතින් මේ මගේ තාත්තාම තමයි යැයි ඇය මට පැවසුවා. තවත් තැනකදී ඔස්මන්ඩ් අංකල් “ඔයා මට වඩා මෙතැන හොඳට කරලා තියෙනවා” යනුවෙන්ද පැවසූ බව කිව යුතුයි.

මේ දවස්වල මොකද කරන්නේ?

මට මෙහි නිෂ්පාදකවරයා, අධ්‍යක්ෂවරයා වගේම ප්‍රේක්ෂකයා වෙනුවෙන් වගකීමක් තියෙනවා. මෙහි චරිතයට තවමත් මං වැඩ කරනවා. ඇත්තටම අලුතින් වැඩක් කරන්නට මට මානසිකත්වයක් නෑ. මෙය මාව විශ්වාස කරලා මං ප්‍රධාන චරිතය කරපු චිත්‍රපටයක්. විශාල ප්‍රාග්ධනයක් මෙයට වැය කර තිබෙනවා. චිත්‍රපට කර්මාන්තයට සෙතක් වන්නේ මෙයින් ලාභයක් ඉපැයීමෙන් පසුවයි. ඉතින් ඒ වෙනුවෙන් හරිම පරිස්සමෙන් සීරුවෙන් මං මේ දවස්වල කටයුතු කරනවා. ඉදිරියේදීත් ප්‍රේක්ෂකයා සහ ක්ෂේ්ත්‍රයේ ප්‍රවීණයන් මට ලබා දී ඇති ආදරය සහ විශ්වාසය රකින්නට මා උත්සාහ කරනවා. ඇත්තටම මේ දැනෙන හැඟීම මට මීට කලින් දැනුණ එකක් නොවන බවද අවධාරණයෙන් කිව යුතුයි.

ඩෙස්මන්ගේ තරුණ කාලය පූජනගේ රංගනයෙන් චිත්‍රපටය පුරා දිව යද්දී ඩෙස්මන්ගේ වැඩිහිටි භූමිකාවට පණ පොවන්නට සෞම්‍ය ලියනගේ පැමිණෙන්නේ චිත්‍රපටය අවසන් කරන්නට මිනිත්තු දෙක තුනක් තිබියදීය. මේ ඒ පිළිබඳ සෞම්‍යගේ අදහසයි.

TEXT – පසිඳු මිහිරාන් රැටියල

You may also like

Leave a Comment

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?