Wednesday, March 18, 2026
Epaper
Home විශේෂාංගමොක්පුර ගිය ගජිඳුන් යළිත් ලක් දෙරණේ

මොක්පුර ගිය ගජිඳුන් යළිත් ලක් දෙරණේ

by Shanaka Lakehouse

2022 මාර්තු 07 වැනිදා මුළු ලංකාවේම ජනී ජනයාගේ හදවත් කම්පා කරමින් නිවන් පුර කරා නික්ම ගිය මෙරට මහනුවර ඇසළ පෙරහරේ උත්තම දන්ත ධාතුන් වහන්සේ සහිත කරඬුව වැඩම කළ නැදුන්ගමුවේ රාජා හස්තියා නැවත ජීවමාන අන්දමින් දැකගැනීමට ඇත්නම් එය මොනතරම් ආනන්දයක්ද? මේ දිනවල නැදුන්ගමුවේ රාජා හස්තියාගේ දේහය නැවත ප්‍රතිනිර්මාණය කෙරෙන, සංරක්ෂණය කිරීමේ කටයුතුවල අවසන් භාගය සිදු වෙමින් පවතී. ඒ අනුව එම කටයුතු අවසන් වූ පසු ඉතා ඉක්මනින් කොළඹ පිහිටි ජාතික කෞතුකාගාරයෙන් ඒ තේජවන්ත හස්තිරාජයාගේ දේහය නැවත දැක බලා ගැනීමේ භාග්‍ය උදාවනු ඇත.

වර්ෂ 1953 ඉන්දියාවේ මයිසූරයේ උපන් නැදුන්ගමුවේ රාජා හස්තියා වසර 17 කාලයක් මහනුවර උතුම් දළදා පෙරහැරට සහභාගි වූ මෙරට සිටි තේජවන්ත මෙන්ම හීලෑම හස්ති රාජයකු වේ. ඉන්දියාවේ උපන් මෙම නැදුන්ගමුවේ රාජා හස්තියා ලංකාවට ලැබුණේ නීලම්මහර වෙද හාමුදුරුවන්ට ලැබුණු තුටු පඬුරක් ලෙසය. 1950 දශකයේදී වෙද හාමුදුරුවන් විසින් මයිසූර් මහාරාජාවරයකුගේ මානසික රෝගයෙන් පෙළුණු ඥාතියකු සුවකර දී එයට මුදල් ලබා ගැනීමට අකැමැති වීම හේතුවෙන් උන්වහන්සේට තුටු පඬුරක් ලෙස ඇත් පැටවු දෙදෙනකු ලැබිණි. හාමුදුරුවන් සතුව සිටි ඇත් පැටවුන් දෙදෙනා වයස අවුරුදු පහළොවක් පමණ වූ, ඇඹිලිපිටියේ සහ හොරණ ප්‍රදේශයේ ප්‍රභූන් දෙදෙනකුට භාර වූ අතර එහි වසර දහයක් පමණ හැදුණු රාජා හස්තියා භාරකාරිත්වය පසුව නැදුන්ගමුවේ ලොකු වෙද රාල වෙත පැවරිණි. 1978 සිට නැදුන්ගමුවේ රාජා හස්තියා බලාගැනීමට ඇත් ගොව්වන් සිවු දෙනෙක් සිටි අතර පළමුවෙන්ම සීමන් අයියා, පසුව සෝමේ අයියාත්, සයිමන් අයියාත් අවසාන වශයෙන් විල්සන් හෙවත් කළු මාමා යන ඇත් ගොව්වන් නැදුන්ගමුවේ රාජා රැකබලා ගැනීමේ වගකීමට උර දුන්හ. අන් කිසිවකුටත් වඩා නැදුන්ගමුවේ හස්තියා පිළිබඳ හොඳින් දැන සිටියේ රාජා අවසන් හුස්ම හෙලන තෙක් ළඟින් සිටි විල්සන් කොඩිතුවක්කු හෙවත් කළු මාමාය.

1985 වර්ෂයේදී සබරගමුව මහ සමන් දේවාලයේ පෙරහරට මුල් වරට සම්බන්ධ වූ රාජා හස්තියා මහනුවර දළදා පෙරහර වෙත එක්වූයේ 2005 වර්ෂයේදීය. මහනුවර දළදා පෙරහරට පළමුවරට සහභාගි වන විටත් නැදුන්ගමුවේ රාජා වයස අවුරුදු පනස් දෙකක පරිණත භාවයේ පසු විය. ඉන්පසු දහතුන් වතාවක් දළදා පෙරහරේ සධාතුක කරඬුව වැඩම කරවීමේ රාජකාරිය හරි හැටි ඉටු කළ මෙම හස්ති රාජයා දළදා පෙරහරේ ප්‍රධාන සංකේතයක් බවට පත්වෙමින් ලාංකේය බැතිමතුන්ගේ ගෞරවාදරයට ප්‍රාප්ත විය.

දළදා පෙරහරට එක් වූ මුල් වතාවේ සිට නැදුන්ගමුවේ රාජා හස්තියාගේ පැවති තේජාන්විත ගමන් විලාසයත්, හීලෑ ස්වභාවයත් නිසා බොහෝ වතාවක් දළදා කරඬුව වැඩම කිරීමේ භාග්‍ය රාජාට ලැබුණි. 2016 වර්ෂයේදී සිදුවූ රිය අනතුරක් නිසා එතැන් පටන් ඇතු මිය යන තෙක්ම මහා මාර්ගයේ ගමන් ගත්තේ හමුදා ආරක්‍ෂාව මැද ය.

දළදා පෙරහරට සහභාගි වන සෑම අවස්ථාවකම නැදුන්ගමුවේ රාජා ගමන් කළේ ආගමික වතාවත් හා චාරිත්‍රයන්ට මනාව සම්බන්ධ වෙමින් පසුවය. හිත් පිත් නැති සත්ත්වයකු වුවද මහා සංඝරත්නයටත්, දළදා වහන්සේටත් දණ නවා ආචාර කිරීමට පුරුදුව සිටි මෙම තේජවන්ත හස්ති රාජයා සැබවින්ම පින්සාර වූ හස්තියෙකි. ගම්පහ නැදුන්ගමුවේ සිට මහනුවර බලා එන ගමන තුළ දිනකට කිලෝමීටර 20 ක් පමණ පා ගමනින් එන රාජාගේ ප්‍රියතම නවාතැන්පළවල් වුයේ නිට්ටඹුවේ විද්‍යාරවින්ද පිරිවෙන් පන්සල, දංඕවිට නි‍ෙවස, නෙළුම්දෙණිය මොරවක නි‍ෙවස, රන්වල දුනුකොළ වලව්ව, හිඟුල ගනේතැන්න මල්වතු විහාරය වැනි සුවිශේෂී ස්ථානයන්ය.

මහනුවර දළදා පෙරහරට අමතරව බෙල්ලන්විල පෙරහර, රත්නපුර මහ සමන් දේවාල පෙරහර, කැලණි විහාර පෙරහර, වාද්දූව පෙරහැර වැනි පෙරහර රැසකට සහභාගි වූ මෙම තේජවන්ත හස්ති රාජයා එකී සෑම පෙරහරක් සඳහාම සහභාගි වූයේ කිසිදු රථයකට ගොඩ නොවදිමින් තම සිවුපාදෙහි වෙර වීරියෙන් ය.

දශකයකට අධික කාලයක් තමන්ගේ රාජකාරිය නොපිරිහෙලා උතුම් දළදා වහන්සේ වෙනුවෙන් ඉටු කළ මෙම පින්වන්ත හස්තිරාජයා 2022 මාර්තු 07 වැනි දා රටක් හඬවෙමින් අවුරුදු 69ක් ආයු වළඳා මෙලොවින් සමුගත්තේය. හිත් පිත් නැති සතකු වුවද රාජා රට දැය වෙනුවෙන් කළ මෙහෙය නිමිත්තෙන් ඔහුව ජාතික වස්තුවක් වශයෙන් නම් කෙරුණේ ද ඔහු කළ මෙහෙය වෙනුවෙන් ලැබුණු ගෞරවයක් වශයෙන්ය. අප අතරින් වෙන් වුවද රාජා ඇතුගේ සංරක්ෂණය කළ දේහයේ ජීවමාන අනුරුවක් නුදුරේදීම කොළඹ ජාතික කෞතුකාගාරය පරිශ්‍රයේදී අප සියලු දෙනාටම දැක බලා ගැනීමට හැකි වනු ඇත.

TEXT – ජීවන්ත ගුණවර්ධන

You may also like

Leave a Comment

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?