වර්තමාන කාර්යබහුල සමාජ වටපිටාව තුළ කාන්තාවකට පැවරී ඇති වගකීම් සමුදාය අතිමහත්ය. නිෙවසේ දෛනික වැඩකටයුතු, දරු මුනුපුරන්ගේ ඕනෑ එපාකම් මෙන්ම රැකියා ස්ථානයේ රාජකාරි අතර දෝලනය වන ඇය බොහෝ විට පවුලේ සැමගේ සුවදුක් සොයා බැලුවද තමාගේ සෞඛ්‍යය පිළිබඳ දක්වන්නේ අවම සැලකිල්ලකි. විශේෂයෙන්ම දවස පුරා වෙහෙස වී රාත්‍රියට දැනෙන සුළු කොන්දේ වේදනාවක් හෝ දණහිස්වල හිරිගතියක් වෙහෙස නිසා ඇති වූවක් ලෙස සලකා නොසලකා හැරීම අද බොහෝ කාන්තාවන්ගේ පුරුද්දක් වී තිබේ.
එහෙත් ඔබ මෙලෙස සුළුවෙන් තකන සන්ධි වේදනාව හෙට දිනයේ ඔබේ ක්‍රියාශීලි බව මුළුමනින්ම උදුරා ගන්නා ‘ආතරයිටිස්’ රෝගයේ මුල්ම පෙරනිමිත්ත විය හැකි බව ඔබ දන්නවාද? ලෝක සෞඛ්‍ය සංඛ්‍යාලේඛනවලට අනුව පිරිමින්ට සාපේක්ෂව කාන්තාවන් මෙම පීඩාකාරී රෝගයට ගොදුරු වීමේ ප්‍රවණතාව බෙහෙවින් වැඩිය. මෙයට ප්‍රධානතම හේතුව වන්නේ කාන්තාවකගේ ජීවිතයේ මැදි වියේදී සිදුවන ආර්තවහරණය සමඟ සිරුරේ ඊස්ට්‍රජන් වැනි හෝමෝන මට්ටම පහත වැටීමයි. මෙම හෝමෝන වෙනස්කම් සන්ධිවල නම්‍යශීලී බවට සෘජුවම බලපාන බැවින් සුළු වේදනාවකදී පවා අවදිව සිටීමත් නිසි වෛද්‍ය උපදෙස් කරා යොමු වීමත් ඔබ සතු අත්හළ නොහැකි වගකීමකි.
කාන්තා ඔබ මේ රෝගී තත්ත්වය පිළිබඳව මෙතරම් සැලකිලිමත් විය යුත්තේ ඇයි?
ආතරයිටිස් යනු හුදෙක් අප සිතන සාමාන්‍ය සන්ධි වේදනාවක්ම පමණක් නොවන බැවිනි. එය ඇතැම් විට ඔබේ ජීවිතයම අඩාල කළ හැකි පීඩාකාරී රෝගී තත්ත්වයන් කිහිපයක එකතුවක් විය හැකියි. විශේෂයෙන්ම උදෑසන අවදි වන විට සන්ධිවල දැනෙන අසාමාන්‍ය තද ගතිය, දණහිස්, වළලුකර සහ ඇඟිලි පුරුක්වල ඇති වන ඉදිමීම මෙන්ම එම ප්‍රදේශ රතු වීම කෙරෙහි ඔබ දැඩිව විමසිලිමත් විය යුතුයි. ඇතැම් විට එම සන්ධි ස්පර්ශ කිරීමේදී සාමාන්‍ය දේහ උෂ්ණත්වයට වඩා වැඩි උණුසුම් බවක් ඔබට දැනෙන්නට පුළුවනි. මීට අමතරව රෝගය උත්සන්න වන විට සන්ධි වේදනාවට අමතරව අධික තෙහෙට්ටුව, නිතර දැනෙන වෙහෙස මහන්සිය, බර අඩුවීම සහ ඇතැම් විට මඳ උණ ගතිය පවා ඇති විය හැකියි.
මෙවැනි රෝග ලක්ෂණ මතු වූ විට වෛද්‍ය උපදෙස්වලින් තොරව ෆාමසිවලින් ලබාගන්නා වේදනා නාශක පෙතිවලින් තාවකාලික සහනයක් සෙවීමට උත්සාහ නොකරන්න. මන්ද එමඟින් රෝගය යටපත් වනවා මිස සුව වීමක් සිදු නොවන බැවිනි. ඒ වෙනුවට වහාම රක්තවාතවේද සායනයක් කරා යොමු වී ESR,RF සහ CRP වැනි රුධිර පරීක්ෂණ මෙන්ම වෛද්‍ය නිර්දේශය මත X−ray හෝ MRI scan පරීක්ෂණ මඟින් ඔබේ තත්ත්වය ආතරයිටිස් ද යන්න විද්‍යාත්මකව සනාථ කර ගැනීම අත්‍යවශ්‍ය වේ. නිවැරදි රෝග විනිශ්චයකට එළඹීම තුළින් ඔබට ආයුර්වේද ප්‍රතිකාර හරහා රෝගය සාර්ථකව පාලනය කරගනිමින් අත් පා විකෘති වීම වැනි දරුණු සංකූලතාවලින් අනාගතයේදී බේරීමට මඟ සැලසෙනු ඇත.
ආයුර්වේද වෛද්‍ය විද්‍යාව තුළින් මෙම පීඩාකාරී රෝගය පාලනය කර සහනයක් ලබා ගැනීමට ඔබට මහඟු අවස්ථාවක් ඇත. එහිදී කාන්තාවන් අතර බහුලව දක්නට ලැබෙන ‘සන්ධි වාත’ (Osteoarthritis) මෙන්ම ‘ආම වාත’ (Rheumatoid arthritis) යන තත්ත්වයන් දෙකටම සාර්ථක ප්‍රතිකාර ක්‍රම පවතී. ආයුර්වේදයේදී පෙන්වා දෙන පරිදි බොහෝ රෝගවලට මුල වන ‘ආමය’ හෙවත් නොදිරවූ ආහාර කොටස් ශරීරයෙන් ඉවත් කර අග්නිය වැඩිකරන ‘දීපන’ සහ ‘පාචන’ ප්‍රතිකාර මෙන්ම ‘ශමන’ ප්‍රතිකාරද මෙහිදී අතිශයින්ම වැදගත් වේ. ඖෂධීය කසාය සහ ගුළි වර්ගවලට අමතරව ස්නේහ (තෙල් ආලේපය), ස්වේද (පොට්ටලි මඟින් දහඩිය ගැන්වීම) සහ වස්ති කර්ම වැනි බාහිර පංචකර්ම ප්‍රතිකාර මඟින් ඔබේ සන්ධිවල නම්‍යශීලී බව නැවත ලබා ගැනීමට හැකියාව ලැබේ.
කාන්තාවක ලෙස ඔබේ පවුලේ සැමගේ සතුට සහ වගකීම් මැනවින් ඉටු කිරීමට නම් පළමුව ඔබ නීරෝගිව සිටීම අත්‍යවශ්‍ය බව අමතක නොකරන්න. ආතරයිටිස් යනු ප්‍රතිකාර මඟහැරියහොත් සන්ධි විකෘති වීම් දක්වා උඩුදුවා යා හැකි රෝගයකි. එය ඔබේ රූපශ්‍රීයට මෙන්ම ආත්ම විශ්වාසයට ද එල්ල කරන්නේ බලවත් පහරකි. එවැනි තත්ත්වයකදී පවා වෘත්තීය චිකිත්සාව (Occupational Therapy) මඟින් යම් සහනයක් ලබාගත හැකි වුවත් රෝගය මුල් අවධියේදීම හඳුනාගෙන නිසි ප්‍රතිකාර වෙත යොමු වීම වඩාත් නුවණට හුරුය. ඔබේ ආහාර රටාව පිළිබඳව ද මෙහිදී දැඩිව සැලකිලිමත් වන්න. අධික සීතල සහ තෙල් සහිත ආහාරවලින් වැළකී, සිරුරට උණුසුම දෙන ඉඟුරු, සුදුලූනු සහ උණුසුම් කර නිවාගත් ජලය වැඩිපුර භාවිතයට ගන්න. එමෙන්ම නිවැරදි ඉරියව් පවත්වා ගැනීම සහ ශරීරයේ බර නිසි ලෙස පාලනය කර ගැනීම මඟින් ඔබේ සන්ධිවලට ඇති වන අනවශ්‍ය පීඩනය අවම කරගත හැකිය. ආතරයිටිස් යනු ඔබව හුදෙකලා කරන හෝ ජීවිතය අඳුරු කරන බියකරු රෝගයක් නොවන බවයි. රෝගය යටපත් වූ පසුව පවා වෛද්‍ය උපදෙස් නොසලකා නොහැර ඔබේ ජීවන රටාව ඒ අනුව හැඩගස්වා ගැනීමට උත්සාහ කරන්න. නිසි අවබෝධය, නිවැරදි ආයුර්වේද ප්‍රතිකාර සහ ස්වයං කැපවීම තුළින් ආතරයිටිස් පීඩාව පරාජය කර නැවතත් ප්‍රබෝධමත් සහ සක්‍රිය කාන්තාවක ලෙස ජීවිතය ජය ගැනීමට ඔබට අනිවාර්යයෙන්ම හැකියාව ඇත. ඔබේ නීරෝගි බව පවුලේ සතුටයි.
TEXT – සඳුනි මුණසිංහ
