මාලබේ නිෙවස පාඵයි. බැල්කනියේ ටීපෝව මත අළු බඳුන පිරී ඉතිරෙයි. නිගූ ඈත අනන්තයට ඇස් යොමා සිටියි. විරාජ් සකසුරුවමට සූදානම් කර වැටියක් සාදා නිගූට දිගු කරයි. නිගූ වැටිය දල්වා දුමාරයෙන් ළය පුරවා ගනියි.
බණ්ඩාරගම අක්කලාගේ නිෙවසෙහි පැවති අම්මාගේ හත් දවසේ දානයෙන් පසු නිගූ දවස් තුනක් මාලබේ නිෙවසටම වී සිටියි. ජංගමය ක්‍රියා විරහිතව තිබෙයි. අම්මාගෙන් ඇමතුමක් නැති ජංගමයෙන් පලක් නැතැයි ඔහුට සිතෙයි. ඔහු එය පසෙකට දමා වැටියෙන් වැටිය දල්වා දුම් උරමින් අනන්තයට ඇරුණු නෙතින් කල්පනා දැහැනක වෙලී සිටියි.
මාලබේ නිෙවසෙහි නවතින්නට ආ දිනක අම්මා අඳින ලද බ්ලවුසයක් අමතක වී ගොස් තිබෙයි. අම්මා ජීවත්ව සිටිද්දීම ඒ මඟහැරුණු බ්ලවුසය නිගූ තම ඇඳුම්
අල්මාරියට දමා ගනියි. දානමාන කටයුතු අවසන්ව මිතුරු සංලාපයෙන් ද මිදී මාලබේ නිෙවසට පැමිණ තනිවන නිගූ අම්මා දමා ගිය බ්ලවුසය ඇඳට ගෙන එය සිඹිමින් කුඩා දරුවකු සේ කඳුළු වගුරමින් හඬයි. අම්මා නැති ලොව තමා කවුරුන්දැයි සිතා ගැනීමට ඔහුට නොහැකියි. මෙතෙක් තමා හැමදාමත් ක්‍රියාකර ඇත්තේ අම්මාගේ කැමැත්තට හෝ තීරණයකට අනුකූලව නොවේදැයි ඔහු සිහි කරයි. ඇතැම් දේ අම්මාට නොකියා නොදන්වා කළද අම්මා අකැමැති වන සීමාව නොපනින්නට නිගූ වග බලාගෙන තිබෙයි. දැන් නූල කැඩුණු සරුංගලයක් සේ අපාර අහසේ අරමුණක් හෝ එල්ලයක් නැතිව ඔහේ පාවෙනු විනා කළ යුත්තේ කුමක්දැයි ඔහුට නොවැටහෙයි.
විරාජ් දින තුනක් තිස්සේ බලා සිට මාලබේ නිෙවසට පැමිණෙන්නේ නිගූ ඉන්නවාද නැද්ද යන්නවත් හරියට දැනගෙන නොවෙයි. එහෙත් නිගූට තනි වන්නටත්, තනිවී විඳවන්නටත් ඕනෑවී තිබුණු බව විරාජ් ඉවකින් මෙන් දැන ගනියි. එහෙත් තවදුරටත් නිගූ මේ අයුරින් විඳවීම අසාමාන්‍ය දෙයක් යැයි විරාජ්ට සිතෙයි. එහෙත් නිගූට ඒ බවක් කියන්නට හෝ ඔහුට උපදෙසක් දෙන්නට විරාජ් ඉක්මන් නොවෙයි. නිගූ හැමදාමත් සමහර හැසිරීම්වල රතු කට්ට පනින්නට පෙර වෙනස් වූ අයුරු විරාජ් දනියි. එහෙත් මේ වතාවේ තත්ත්වය බරපතළ වී ඇතැයි ඔහුට සිතෙයි. විරාජ් මෙහි එන්නට පෙර සාලින්දට ද ඇමතුමක් ගනියි. නිගූගේ සමීපතමයන්ගෙන් වඩාත් ඔහු ගැන දන්නා පෞද්ගලිකම දේවල්වලට පවා මැදිහත් වන්නේ සාලින්ද බව විරාජ් දනියි.
“ගිහින් බලපං …ඕකා මාලබේ ඇති…මාත් ගත්තා වැඩ කළේ නෑ..” විරාජ් කතා කළ විට සාලින්ද දුන් පිළිතුරයි.
ගෙවුණු දින තුන ගෙවුණේ කෙසේද වත් නිගූට කල්පනාවක් නැත. හරිහමන් කෑමක් කෑවාද යන්නවත් මතක නැත. අම්මා පිළිබඳ සැමරුම් අතර විඳවීමෙහි නිමක් නැත. අම්මා හැරුණු විට වෙනත් කිසි දෙයක් ගැනවත්, කිසි කෙනෙක් ගැනවත් සිතට නොඑයි. අසෙනි ගැන හෝ සාරා ගැන මතුවන සිතුවිල්ලකට පවා ඔහු බියපත් වෙයි. වෙනදා කවර හෝ සිත්තැවුලක් සමනය කරගනු පිණිස ඇසුර සොයා යන මිතුරන් පවා ඔහුට අමතකව තිබෙයි.
විරාජ් කෝපි දෙකක් සාදාගෙන නිගූ වෙත එයි. බැල්කනියට පෙනෙන වෙල් යායේ ඈත ඉමෙන් ඉරේ අවසන් රත මැකී යමින් තිබෙයි. වෙල් යායට ඔබ්බෙන් පෙනෙන අඳුරු ගස් ගොම්මනට ඉහළින් මා වවුල් රෑනක් පියාඹති. කාංසියේත් ආත්මානුකම්පාවේත් පතුල පිරිමදින හැඟුමාවලියක පැටලී සිටින නිගූ ඉදිරිපිට වාඩි වන විරාජ් ඔහුගේ අවධානය වහා වෙනතක හැරවිය හැකි මාතෘකාව කුමක්දැයි සිතමින් තත්පර ව සිටියි.
“ඉක්මනින් ඉවර කරන්න තියෙන වැඩ වගයක් තියෙනෝ බොස්.. ඒවා ටික ඉවර කරන්නැතුව ඔක්කොම වැඩ ටික හිර වෙලා..ක්ලයන්ට්ලා කතා කරනවා..කලර් ග්‍රේඩින් යවලා තියෙන වැඩ ටික බලලා ප්‍රිමියර් කරන්න තියෙන්නෙ.”
විරාජ් ආයතනික වැඩ ගැන මේ අයුරින් කතා කරන්නේ කතා කළ යුතුම නිසා බව නිගූ දනියි. ඔහුට විරාජ්ගේ ළෙන්ගතුකම ගැන ආදරයක් ද ආඩම්බරයක් ද දැනෙයි.
“හරි හෙට ඉඳලා වැඩ ටික පටන් ගමු..මේ කෝඩේ අහවර වෙන්නත් එක්කලා යං මැරයින් ඩ්‍රයිව් පැත්තෙ.. පොඩි අඩියක් ගහලා කයියක් ගහලා එමු.. මොකෝ කියන්නෙ විරාජයා..”
නිගූගේ ඒ වචන විරාජ් අපේක්ෂා නොකළ තරම් සතුටුදායකයි. ඔහුට කියා ගන්නට බැරිව සිටි දෙයක් එකවරම නිගූගේ මුවින් පිට වීම අදහා ගන්නත් බැරි තරම්ය.
“විරාජයා සාලින්ද අයියටත් කතා කරපංකො. ..යන තැන කන්ෆර්ෂ් කරලා එන්ඩ කියපං..මං ටක් ගාලා වොෂ් එකක් දාන් එන්නම්.”
නිගූ තුළ එකවරම හටගත් වෙනස ගැන මවිත වන අතරම විරාෂ් සාලින්දට ඇමතුමක් ගනියි. විරාජ්ගෙන් එන ඇමතුම නිගූ ගැන එකක් බව සාලින්ද දනියි. නිගූ ඉක්මනින්ම සැහැල්ලු ඇඳුමකට මාරු වී පිටතට පැමිණ කියන වචනවලට විරාජ් ද එකඟ වෙයි.
“විරාජයා අපේ වාහන තියලා පික්මී දාගෙන යමු නේද?”
“ඔව් බොස් ඒක හොඳයි.. නැත්නම් එද්දි ප්‍රශ්නෙ..”
මැරයින් ඩ්‍රයිව්හි ඕස්z අවන්හලෙහි ආකාශ අවකාශයෙහි මුහුදට මුහුණ ලූ මේසයක් ඔවුන් සඳහා පිළියෙල වී තිබෙයි. පුරුදු බීෆීටරය ද පෙපර් පෝක් තසිම ද තව තවත් අවුලුපත් තසිම් ද ඇණවුම් කෙරෙයි. සාලින්දගේ ආදරයත්, සහෝදරත්වයත් මුසු වූ අනුශාසනාවල තානය එන්න එන්නම වැඩි වෙයි. විටෙක ළෙන්ගතුව තම අත්දැකීම් ද බෙදා ගනිමින් වැටී ඇති අගාධයෙන් ගොඩ එන්නට නිගූට අත්වාරු දෙයි. විරාජ් හූ මිටි තියයි. නිගූ සාවධාන වෙයි. එහෙත් බීෆීටරයේ ඩ්‍රයි ජින් වඩියෙන් වඩිය හිස් වන විට බමන මතින් නිගූ නන් දොඩන්නට පටන් ගනියි.
“ඔයාලා මොනා කීවත් සාලින්දයියෙ මගෙ ඔළුවෙ තියෙන්නෙ අම්මා කියපු දේවල්..මට බෑ එයාට පිටුපාන්න. එයා මං හින්දයි මෙච්චර ඉක්මනට ගියේ. මං ගැන හිතලයි එයා ලෙඩ වුණේ. අක්කා කිව්වා ඩොක්ටර්ත් ඒ ගැන කිව්ව කියලා. මං කොහොම ද අමතක කරන්නෙ එයා මං ගැන හිතලයි ලෙඩ වුණේ කියලා. බෑ මට ඒක අමතක කරන්න කවදාවත්ම.”
“නැහැ නිගුවො, අපි උඹට කියන්නෙ අම්මව අමතක කරන්නවත්, අම්මා කියපු දේ අමතක කරන්නවත් නෙවෙයි.. ඒත් දැන් අපි දේවල් ගැන හිතන්නෝන ටිකක් පරිණත විදිහට නේද? බබාලා වගේ හැසිරිලා හරියනවද? අනික උඹ වගේ එකෙක්.. අහිමි වෙන දේවල් මත්තෙ නහින්න..”
සාලින්දගේ වචනවලින් නිගූ වියරු වැටෙයි. තවත් ජින් වඩියක් හළා ගනිමින් දෑඟිලිවර අග දැවෙන ඩන්හීලයෙන් උගුරු කිහිපයක් ඇද පෙණහලු පුරවා ගනියි.
“උඹලට තේරෙන්නෑ බං.. අර කියන්නෙ ප්‍රශ්නෙ අනුන්ගෙ තාක් උත්තරේ දාර්ශනිකයි කියලා.. අනේ පලයන් සාලින්දයියෙ උඹටත් මං බබා.. උඹලෑ ටෝක් අහන් ඉන්ඩෝන්නෑ යකෝ මට.. මං යනවා..”
නිගූ වේගයෙන් නැඟිටියි. අතපය විසි වෙයි. ඉඳගෙන සිටි පුටුව පෙරළෙයි. විරාජුත්, සාලින්දත් ඔහුගේ හැසිරීමෙන් වික්ෂිප්ත වන ඇසිල්ලෙහි නිගූ ලිෆ්ට් එක වෙත දිව ගොස් හමාරයි. විරාජ් එතැනට දිව යන විට ලිෆ්ට් එක වැසී පහළට යමින් තිබෙයි. කවුන්ටරය වෙත දිව එන විරාජ් වෙනත් ලිෆ්ට් එකක් නැද්දැයි එහි සිටින යුවතියගෙන් විමසයි.
තවත් කොටසකින් හමුවෙමු.
