සිහිල් පවනක් ගත දැවටෙමින් උදාවන පෙබරවාරි මාසය ලෝකය පුරාම ප්‍රේමයේ සුවඳ පතුරුවන අපූරු කාල සමයකි. පරිසරයේ ගහකොළ පවා අලුත් වෙමින් රතු රෝස මල් පෙති විකසිත වෙද්දී ඒ සුවඳටත් වඩා තදින් අපේ හිත් ආදරණීය හැඟීමෙන් මත්වන්නට පටන් ගනී. පෙබරවාරි 14 වැනිදාට යෙදෙන ‘වැලන්ටයින් දිනය’ හෙවත් පෙම්වතුන්ගේ දිනය දින දර්ශනයේ සටහන් වූ තවත් එක් සාමාන්‍ය දිනයක් පමණක් නොවේ. එය මිනිස් ජීවිතයකට අර්ථයක් සහ ජීවයක් ගෙන දෙන “ආදරය” නම් උත්තරීතර හැඟීම උත්සවශ්‍රීයෙන් සමරන දිනයයි.
වර්තමාන කාර්යබහුල ලෝකය තුළ අපට බොහෝ විට අපේ සමීපතමයන් වෙනුවෙන් කාලය වෙන් කිරීමට අමතක වී යයි. විශේෂයෙන්ම ගෘහිණියක්, මවක් හෝ රැකියාවක නිරත වන කාන්තාවක් ලෙස ඔබ අන් අය වෙනුවෙන් කරන කැපකිරීම් මධ්‍යයේ ඔබේ හදවතේ තියෙන ආදරණීය හැඟීම් ප්‍රකාශ කිරීමට ඉඩක් නොලැබෙන්නට පුළුවන. පෙබරවාරි මාසය අපට මතක් කර දෙන්නේ ඒ නිහඬ වූ ආදරය යළිත් අවදි කරන ලෙසයි. ආදරය යනු හුදෙක් තරුණ වියට පමණක් සීමා වූවක් නොවේ. එය විවාහ වී වසර ගණනාවක් ගත වූ අඹුසැමියන් අතරත් සැමදා අලුත් වන ප්‍රබල බැඳීමක් විය යුතුය.
ප්‍රේමයේ ඉතිහාසය දෙස හැරී බලන විට අපට හමුවන ශාන්ත වැලන්ටයින් මුනිවරයාගේ කතාව අතිශය හැඟීම්බරය. එකල රෝමයේ පාලකයා වූ දෙවන ක්ලෝඩියස් අධිරාජයා යුධ භටයන්ට විවාහ වීම තහනම් කර තිබුණේ විවාහය නිසා ඔවුන්ගේ වීරත්වය අඩු වන බව සිතමිනි. එහෙත් වැලන්ටයින් මුනිවරයා රහසින් පෙම්වතුන් විවාහ කර දෙමින් ආදරයේ නාමයෙන් විශාල කැපකිරීමක් කළේය. අවසානයේ ඔහුට මරණ දණ්ඩනය හිමි වූයේ ද ආදරය වෙනුවෙන් පෙනී සිටි නිසාය. අද අප සමරන මේ දිනය පිටුපස ඇත්තේ එවන් අමිල කැපකිරීමක ඉතිහාසයකි. එදා රෝමයේ ලියැවුණු ඒ අමරණීය ප්‍රේම කතා මෙන්ම ලංකාවේ ද සාලිය-අශෝකමාලා, දස්කොන්-ප්‍රමිලා වැනි කතාන්දර තුළින් අපට කියා දෙන්නේ ප්‍රේමය යනු ජාති, ආගම් හෝ තරාතිරම් නොතකන හදවත් දෙකක ඒකාත්මික වීමක් බවයි.
මනෝවිද්‍යාත්මකව බලන විට ආදරය යනු හුදෙක් හැඟීමක් පමණක් නොව එය මිනිස් මනස නීරෝගිව තබන ඖෂධයකි. ඔබ ආදරය ලබන විට සහ ආදරය කරන විට මොළය තුළින් ශ්‍රාවය වන ‘ඔක්සිටොසින්’ (Oxytocin) වැනි හෝර්මෝන මඟින් මානසික ආතතිය අඩු කර සතුට සහ සහජීවනය වර්ධනය කරයි. ආදරණීය ස්පර්ශයක්, සෙනෙහස පිරුණු බැල්මක් හෝ එකිනෙකා අගය කරමින් පවසන වචනයක් කාන්තාවකගේ මනසට ගෙන දෙන්නේ මහා මෙරක් වැනි ශක්තියකි. නිෙවසක් ඇතුළත ආදරය රජ කරන විට එහි සිටින දරුවන් පවා වඩාත් පෞරුෂවත් සහ මානසිකව නීරෝඟි පුද්ගලයන් ලෙස සමාජයට දායාද වෙයි. එබැවින් ඔබේ ආදරය රැක ගැනීම යනු ඔබේ පවුලේ සතුට රැක ගැනීමයි.
බොහෝ දෙනෙක් වැලන්ටයින් දිනය දකින්නේ මිල අධික තෑගි භෝග, දියමන්ති මුදු හෝ සුපිරි හෝටල්වල රාත්‍රී භෝජන සංග්‍රහයන්ට සීමා වූ දිනයක් ලෙසයි. එහෙත් සැබෑ ආදරය පවතින්නේ එවැනි භෞතික දේවල් මත පමණක් නොවේ. ආදරණීය “තරුණි” පාඨක ඔබ මොහොතක් සිතන්න, දහසක් බාධක මධ්‍යයේ වුවද ඔබේ දෑතින් අල්ලාගෙන “මම ඔයා එක්ක ඉන්නවා” යැයි පවසන සහකරුගේ වචනය ඕනෑම මිල අධික තෑග්ගකට වඩා වටින්නේ නැද්ද? ආදරය යනු එකිනෙකා දෙස බලා සිටීම නොව දෙදෙනාම එකම ඉලක්කයක් වෙත එකම දෙස බලා ගමන් කිරීමයි. මේ ආදර මාසයේදී අප උත්සාහ කළ යුත්තේ ඒ බැඳීම තව තවත් ශක්තිමත් කර ගැනීමටයි. ආදරය ප්‍රකාශ කිරීමට වචනම අවශ්‍ය නොවේ. නිහඬව අසලින් හිඳීම, ඔහු වෙහෙස වී නිෙවසට පැමිණි විට සෙනෙහසින් පිළිගැනීම හෝ ඔහු ප්‍රිය කරන ආහාරයක් ආදරයෙන් සකස් කර දීම තුළ පවා තියෙන්නේ ප්‍රේමයයි. මේ පෙම්වතුන්ගේ දිනයේදී අපි අපේ සහකරුට දිය යුතු වටිනාම තෑග්ග වන්නේ අපේ කාලය සහ අවධානයයි. වර්තමාන ඩිජිටල් ලෝකයේ කෙටි පණිවුඩයකින් එවන ආදරය ප්‍රකාශ කිරීමකට වඩා ඔබේ අතින්ම ලියූ පුංචි ලිපියක් හෝ සටහනක් ඔහුගේ කොට්ටය යටින් තබා බලන්න. එහි ඇති ආකර්ෂණය සහ ආදරණීය බව කිසිදු තාක්ෂණයකට පරාජය කළ නොහකිය.
සැබෑ පෙම්වතුන් යනු සැමදා සතුටින් පමණක් සිටින අය නොවේ. ජීවිතයේ දුක, කඳුළ, වේදනාව හමුවේ නොසැලී එකිනෙකාට සෙවණැල්ලක් වන මිනිසුන් ය. රෝස මලක ඇති කටු පවා ප්‍රේමයෙන් වැලඳගත හැකි නම් එය සැබෑ ආදරයයි. තාරුණ්‍යයේදී දැනෙන ඒ ආකර්ෂණය වියපත් වෙද්දීත් ගෞරවනීය සෙනෙහසක් දක්වා පරිවර්තනය කරගැනීම තුළයි ජීවිතයේ සාර්ථකත්වය රැඳී පවතින්නේ. දශක ගණනාවක් එකට සිටි මහලු යුවළක් අත් පටලාගෙන පාරේ යන දසුනක් තරම් සුන්දර වූත් ප්‍රේමණීය වූත් තවත් දසුනක් මෙලොව තිබේද?
එබැවින් එළඹෙන පෙබරවාරි 14 වැනිදා ඔබේ හදවතේ ඇති ආදරය අවංකවම ප්‍රකාශ කරන්න. එය ඔබේ සැමියාට ඔබේ පෙම්වතාට පමණක් නොව මුළු මහත් ලෝකයටම ආදරය බෙදා දෙන දිනයක් කරගන්න. රතු රෝස මලක සුවඳ දිනෙක මැකී යනු ඇත. නමුත් ඔබ හදවතින් පිදූ සැබෑ ආදරයේ සුවඳ කිසිදා නොමැකී ඔබේ ජීවිතය සුවඳවත් කරනු නිසැක ය. මේ උදාවන්නේ ඔබේ ප්‍රේමයේ වසන්තයයි. එය සෙනෙහසින් සමරන්න.
පෙම්වතුන්ගේ දිනය තවත් එක් සාමාන්‍ය දිනයක් නොවී ඔබ දෙදෙනාගේම මතකයේ රැඳෙන සුන්දර දවසක් කරගන්න මේ පුංචි රහස් පහ අත්හදා බලන්න,
1. ඩිජිටල් විරාමයක් (Digital Detox):
මේ විශේෂ දිනයේ අවම වශයෙන් පැය දෙකක්වත් ඔබ දෙදෙනාම ජංගම දුරකතන පසෙක තබන්න. ඒ කාලය එකිනෙකාගේ දෑස් දෙස බලාගෙන අතීත සුන්දර මතකයන් අලුත් කිරීමට වෙන් කරන්න.
2. අතීතයට පියවරක්:
ඔබ දෙදෙනා මුල්ම වතාවට මුණගැසුණු ස්ථානයට යන්න. නැතිනම් මුලින්ම කතා කළ දේවල් ගැන මතක් කරන්න. ඒ පැරණි ආදරණීය හැඟීම යළිත් අලුත් කරගන්න එය කදිම අවස්ථාවක්.
3. සප්‍රයිස් එකක් දෙන්න:
මිල අධික තෑගිම අවශ්‍ය නැත. ඔහු වැඩ ඇරී එන විට ඔහු ප්‍රිය කරන ගීතයක් වාදනය කිරීම හෝ ඔහු වෙනුවෙන් ඔබම සැකසූ කුඩා කාඩ්පතක් දීම වැනි පුංචි පුදුම කිරීමක් පවා විශාල සතුටක් ගෙන දෙයි.
4. අනාගත සිහිනයක්:
ඔබ දෙදෙනා ඉදිරි වසර පහ තුළ යාමට බලාපොරොත්තු වන ගමනක් හෝ ඉටු කර ගැනීමට බලාපොරොත්තු වන පොදු අරමුණක් ගැන අලුතින් කතා කරන්න. එය ඔබ දෙදෙනා අතර බැඳීම තවත් ශක්තිමත් කරයි.
5. ප්‍රශංසාවේ බලය:
මම ඔයාට ආදරෙයි කියනවාට අමතරව ඔහු ඔබ වෙනුවෙන් කරන කැපකිරීම් ගැන අගය කරමින් වචනයක් පවසන්න. පිරිමියෙකු තමන් ආදරය කරන කාන්තාවගෙන් ලබන ලොකුම තෑග්ග වන්නේ අගය කිරීමයි.
“නන්නාඳුනන ලෙසින්
මුණගැසුණු මල් මාවතේ
පෙම් සිත්තම් ඇඳුණි
අපේ දිවි අරණේ
හදින් හදට බැඳුණු
සෙනෙහස් පවනේ ආදරයම වේවා
අද මෙන් හෙටත්
අපේ ලොවේ…”
TEXT – නයනි මධුශානි
