වර්තමාන ශ්‍රී ලාංකේය සමාජය තුළ පෙබරවාරි 14 වැනිදා යනු හුදෙක් ආදරවන්තයන්ගේ දිනයක් නොව මහා පරිමාණ වෙෙළඳ මෙහෙයුමක් බවට පත්ව ඇත. මෙහි සැබෑ ඉතිහාසය විමසා බලන විට අපට හමුවන්නේ ක්‍රිස්තු වර්ෂ තුන්වන සියවසේ රෝමයේ විසූ සාන්ත වැලන්ටයින් පූජකවරයායි.
එකල දෙවන ක්ලෝඩියස් අධිරාජ්‍යයා තරුණයන්ට විවාහ වීම තහනම් කර තිබුණේ විවාහය නිසා ඔවුන්ගේ යුද ශක්තිය පිරිහෙන බව පවසමිනි. මෙයට එරෙහිව රහසිගතව තරුණ ජෝඩු විවාහ කර දීම නිසා වැලන්ටයින් පූජකවරයාට මරණ දණ්ඩනය හිමි විය. එදා ඔහු පෙනී සිටියේ සැබෑ මානුෂීය බැඳීම් සහ වගකීම් සහගත ප්‍රේමය වෙනුවෙනි. එහෙත් අද වන විට බහුජාතික සමාගම් සහ ව්‍යාපාර විසින් එම පරිත්‍යාගශීලී ඉතිහාසය මුළුමනින්ම යටපත් කර ආදරය යනු “මිලදී ගත හැකි” භාණ්ඩයක් බවට පත් කර තිබේ.
විශේෂයෙන්ම වර්තමාන තරුණ කාන්තාවන් වටහා ගත යුතු වැදගත්ම කරුණ වන්නේ ආදරය යනු මිල අධික තෑගි බෝග, රතු රෝස මල් හෝ සමාජ මාධ්‍ය තුළ පෙන්වන මවාපෑම් නොවන බවයි. වෙෙළඳපොළ විසින් ආදරය “ඔළුවෙන් සිටුවා” ඇති අතර ඒ හරහා සබඳතාවල පවතින විශ්වාසනීයත්වය පිරිහී ගොස් ඇත. මල් කලඹක මිල හෝ හෝටල් බිල්පත මත ඔබේ සහකරුගේ ආදරයේ ගැඹුර මැනීමට යාම ඔබේ සැබෑ සතුට අහිමි වීමට මූලික හේතුවක් විය හැකිය. තාක්ෂණික දියුණුව සමඟ ආදරය කෙටි පණිවිඩයකට හෝ ඡායාරූපයකට සීමා වී ඇති යුගයක ඔබ සොයා යා යුත්තේ තාවකාලික බොළඳ ප්ලාස්ටික් සබඳතා නොව එකිනෙකාට ගරු කරන අවංක බැඳීමකි.
තාරුණ්‍යයේදී ඔබ හඹා යා යුත්තේ එක් දිනක සැණකෙළියකට නොව ජීවිත කාලය පුරා පවතින ගෞරවය සහ කැපවීම සහිත සබඳතාවකටයි. බටහිරින් ආනයනය කරන ලද පාරිභෝගිකවාදී රැල්ලට හසු වී ඔබේ ආර්ථිකයට ඔරොත්තු නොදෙන වෙෙළඳ ප්‍රවණතා අන්ධ ලෙස අනුකරණය කිරීමෙන් වළකින්න. ආදරය යනු හුදෙක් හැඟීමක් නොව ජීවන දර්ශනයකි. සාන්ත වැලන්ටයින් පූජකවරයා එදා දිවි පිදූ ඒ උතුම් අරමුණ ගරු කරමින් ව්‍යාපාරිකයන්ගේ ලාභය වෙනුවෙන් ඔබේ ආදරය පාවා නොදීමට වර්තමාන තරුණියන් වගබලා ගත යුතුය. අව්‍යාජ ප්‍රේමය යනු දිනකට සීමා වූ තෑග්ගක් නොව ජීවිත කාලය පුරා ගොඩනඟන විශ්වසනීය පදනමකි.
