Monday, February 9, 2026
Epaper
Home Bridleසාම්ප්‍රදායික උඩරට මනාලියකගේ ආභරණ කට්ටලයේ ඓතිහාසික කතාව

සාම්ප්‍රදායික උඩරට මනාලියකගේ ආභරණ කට්ටලයේ ඓතිහාසික කතාව

by Shanaka Lakehouse

නළල් තලයේ රන්දවූ, නළල් පටියෙන් සිරස සරසා, ගෙල වටා රිද්මයානුකූල ව වැතිරුණු අභිමානවත් මාල හතක රන් කාන්තියෙන් බැබළෙන ඇය, හෙළ සංස්කෘතික අනන්‍යතාවයේ ජීවමාන සිතුවමකි.

සැබවින් ම, උඩරට මනාලියකගේ රූපශ්‍රීය පරිපූර්ණ කරන මේ සම්ප්‍රදායික ආභරණ කට්ටලය හුදෙක් සැරසිල්ලක් ම පමණක් නොවේ. ඉර හඳ දෙවියන්ගේ ආශීර්වාදයත්, පතිකුලයට පිවිසෙන මනාලියකගේ සෞභාග්‍යයත් සංකේතවත් කරන, ඒ අභරණ පෙළ පසුපස සැඟවුණු ශතවර්ෂ ගණනාවක ඓතිහාසික අභිමානය සහ ගැඹුරු සංස්කෘතික අරුත ඔබ මොහොතකට හෝ විමසා බැලුවාද?

ඔසරියේ ආරම්භය සහ විකාසනය

මෙරට කාන්තාවන් පුරාණ සමයේ දෛනික ව සැරසුණේ චීත්තය සහ හැට්ටයෙනි.මනාලියක් සේ හැඩගැන්වෙන විට ද එසමයෙහි ඔවුන් චීත්තය සහ හැට්ටයෙන් හැඩවිය. නමුත් කතාව එය නොවේ.තරුණිය අඳින චිත්ත රෙද්දෙහි නෙරිය කොටසින් තමයි මේ ඔසරිය නිර්මාණය වුණේ. අතීතයේ යහපත් තරුණියන් වැඩිහිටි පුරුෂයන් ඉදිරියේ තම ළැම පෙදෙස ආවරණය කර ගැනීම උදෙසා මෙම නෙරිය ඔසවා කරට දමා ගැනීමට පුරුදු ව සිටියා. පසුකාලීන ව එම නෙරිය ප්‍රභූ කාන්තාවන් විසින් වැඩි දිගකින් යුක්ත ව නිර්මාණය කරමින් ළැම පෙදෙස වැසෙන සේ තබා ගැනීමට පෙලඹුණා.

එයයි වර්තමානයේ අප භාවිත කරන ඔසරියේ පොට පසු ව එය ඔසරිය යනුවෙන් නව මෝස්තරයක් බවට පත් වී මෙරට ජාතික ඇඳුම බවට පත්වුණා.

මෙහිදී චීත්තයට අඳින ලද බෝරිචිචි හැට්ටය එලෙසින් ම ඔසරියේදී ද භාවිත වුණා. එලෙසින් හැටියට බෝරිච්චි අත යොදා නිර්මාණය කෙරුණේ ඔවුන්ගේ දෛනික කටයුතු පහසු කර ගැනීමට ය. පසු ව මෙය ඉතාමත් විනීත, ජාතික ඇඳුම බැවින් මනාලියක් වැනි කුල කාන්තාවකගේ වැදගත් ම දිනයේ දී භාවිත කිරීමට උත්සුක වුණා.

එමෙන්ම වර්තමානයේදී ඔසරිය වෙනුවට ඉන්දියානු ක්‍රමයේ සාරියකින් මනාලිය හැඩවෙයි.

මෙරටට ඉන්දියානු සාරිය හිමිවූයේ ඉන්දියානු ආක්‍රමණයත් සමඟ යි. පසු ව එම ආභාසයෙන් මනාලිය අද වන විට ඉන්දියානු සාරියකින් හැඩවීමට උත්සුක වී ඇත. තමාට සුදුසු මෝස්තරයකින් හැඩවීම තමාගේ නිදහස යි. නමුත් දේශීය සංස්කෘතීන්ට මුල් තැන ලබා දීම ඉතාමත් අගනා කටයුත්තක් යැයි පැවසීම යෝග්‍ය වේ.

ඉර හඳේ කතාව

මනාලියකගේ ප්‍රධානතම ආභරණයක් ලෙස “ඉර සහ හඳ “පෙන්වාදීම නිවැරදි ය. එහි අරුත වන්නේ ඉර සහ හඳ පවතිනතුරු විවාහය පවතීවා යන ප්‍රාර්ථනාව යි.

මාල හතේ කතාව

දෙවනු ව ප්‍රධානත ම ආභරණ කට්ටලය වන්නේ මාල හතයි. මෙහිදී පදක්කම් සහිත මාලයක් හතක් වේ. නමුත් එය ගණනය වන්නේ මේ අයුරිනි. නළල් තැල්ලේ හංසපූට්ටුව, කරමාලයේ හංසපූට්ටුව, මකර මාලයේ හංසපූට්ටුව, ඉතිරි මාල හතරට යෙදෙන හංසපූට්ටු හතර ලෙසට යි. මෙම මාල හතෙන් අර්ථවත් කෙරෙන්නේ පවුලේ සමගිය යි. අතීතයේ මෙම මාල හත පැවැතියේ පවුලේ විවිධ පුද්ගලයින් හත් දෙනකු භාරයේ ය. මංගල දිනයේ දී ඔවුන් හත් දෙනා මනාලියට මෙම මාල හත ලබාදෙනු ඇත. එහිදී ඔවුන්ගේ පවුලේ සමගිය වඩාත් තහවුරු වෙයි.

මීට අමතරව අගස්ති මාලය, කාබරං කැට මාලය, පෙති මාලය හා කරවිලඇට මාලය අවශේෂ මාල ලෙස භාවිත කරයි.අගස්ථි මාලය සකසුණු ලබන්නේ භූගත පාෂාණයක් වන අගස්ථි භාෂාණයෙනි. එහි පට්ටම් කපා අගස්ති මාලය නිර්මාණය කරයි. එහි අර්ථය වන්නේ මනාලියකගේ කරෙහි ඇති ආභරණ ගණනාව නිසා ඇතිවන අපහසුතාව මගහරවා ගැනීම යි. එනම් බෙල්ල චලනය වන විට බෙල්ලෙහි ස්පර්ශ වී බෙල්ල සම්භානය වී සුවයක් ලබා ගැනීමට යි.

මෙහිදී පෙතිමාලය ඉතාමත් වටිනා ආභරණයකි. පෙතිමාලය ඇත්තේ මනාලයාගේ මව සතුව යි. පසු ව මනාලියගේ මව යුග දිවියට පැමිණි දියණිය බැහැදැකීමට පැමිණෙන විට මනාලිය පිරිසුදු කාන්තාවක් බව සන්නිවේදනය කිරීමට මනාලයාගේ මව මනාලියගේ මවගේ කරෙහි පෙති මාලය පලඳවයි. පසු ව එය මනාලියගේ මව තම දියණියගේ කරේ පලඳවයි. එය පෙති මාලයෙහි අර්ථය යි. මෙම ආභරණ අතීතයේ පරම්පරාවෙන් පරම්පරාවට උරුම වූ ආභරණ බැවින් එම චාරිත්‍ර එලෙසින් ම ඉටුවිය. වර්තමානයේ මෙම ආභරණ කුලී පදනම මත ලබාගන්නා බැවින් එම චාරිත්‍ර බොහෝවිට මගහැරී ඇත. එමෙන් ම අතීතයේ පැවති බොහෝ චාරිත්‍ර වර්තමානය වන විට අතපසු කරන බැවින් මෙවැනි චාරිත්‍ර නිරායාසයෙන් ම අභාවයට ගොස් තිබේ.

වළලු ගැන කතාව

මෙරටට බංගලි දේශයෙන් ලැබුණු ආභාසයෙන් වළලු පැලඳීම ආරම්භ විය. පසු ව මානාලියක් ලෙස හැඩ ගැන්වීමේ දී ද වළලු භාවිත කිරීමට උත්සුක වී ඇත. එමෙන් ම මෙහිදී ද අගස්ථි ඇටවලින් සකසන ලද “ගෙඩි වළලු” යනුවෙන් හඳුන්වනු ලබන වළල්ල දෑතට සම්භාහනයක් සේ භාවිත කොට තිබේ.එමෙන් ම අත්මුදු වළල්ල ඉන්දියානු ආභරණයකි. එය හුදෙක් සැරසිල්ලක් ලෙස පමණක් යොදා ගනි යි.

හවඩියේ කතාව

වර්තමානයේ ඔසරිය ඇන්දවීමේ දී බඳට යම් පටියක් ගැටගසා ඒ මත ඔසරිය අන්දවනු ලබයි. නමුත් අතීතයේ මෙය සිදු කළේ හවඩියෙනි. ඉණ වටා ගැටගසා පහතට වැටෙන සේ මෙම හවඩිය අඳිනු ලැබේ. නමුත් වර්තමානයේ ඉණට පටියක් ගැටගසා කොක්කක් මෙන් දිගු ආභරණයක් ඉණෙහි රඳවයි. එය හවඩිය යනුවෙන් හඳුන්වයි.

පාද ජාලාවේ කතාව

පාද ජාලා ඉන්දියානු ආභරණයකි. එය අතීතයේ භාවිත කළ ද වර්තමානයේ කිසිසේත් ම භාවිත නො කරයි. එය මුදු සහිත යටි පතුලට පලඳින ආභරණයකි. එයින් සශ්‍රීකත්වය නිරූපණය වේ.

මල් කළඹේ කතාව

මනාලියකගේ මල් පොකුරට ඉතාමත් විශේෂ අර්ථයක් ඇත. මංගල දිනයට පෙර දින සිය මිතුරා මගින් (දෙවන මනමාලයා) මනාලයා මනාලියට මල් පොකුරක් තිළිණ කරයි. ඒ ඇයට සුබ පැතීම වෙනුවෙනි. පසු ව මනාලිය ද එම මල් පොකුරෙන් කුඩා මල් කිනිත්තක් මනාලයාට මිතුරා මාර්ගයෙන් යවයි. මනාලයා තිළිණ කළ මල් පොකුර ම මංගල දිනයේ දී මනාලිය තබා ගනියි. මනාලයා මනාලිය ලබා දුන් මල් කිනිත්ත සිය ඇඳුමෙහි පැලඳ ගනියි. මෙය මනාලියගේ මල් කළඹේ රසවත් කතාව යි.නමුත් වර්තමානය වන විට විශාල මුදලක් වැය කරමින් මල් කළඹක් මනාලිය වෙනුවෙන් නිර්මාණය කරයි.

කාලය කොතෙක් වෙනස් වුව ද, විලාසිතා ලෝකය කොතරම් නවීකරණය වුව ද, උඩරට මනාලියකගේ අබරණ කට්ටලය තුළ ගැබ්ව ඇති ඒ ‘රාජකීය ගාම්භීරත්වය’ අදටත් නො සැලී පවතින්නකි. එය හුදෙක් මනාලියක හැඩගන්වන ආභරණ පෙළක් ම නොව, පරම්පරා ගණනාවක උරුමය මතු පරපුරට දායාද කරන සංස්කෘතික පාලමකි.

එබැවින්, මේ අගනා දේශීය කලාව හඳුනාගෙන, එහි ගෞරවය රැකගනිමින් මනාලියක ලෙස හැඩගැන්වීම, අපේ මුතුන්මිත්තන් විසින් අප වෙත ඉතිරි කර ගිය ඒ මහා කලා උරුමයට කරනු ලබන ඉහළ ම උපහාරය වනු නො අනුමානය.

TEXT – ටිරුණි ඉමායා වීරසිංහ

You may also like

Leave a Comment

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?