Monday, February 9, 2026
Epaper
Home පුවත්ගෙදර සෞඛ්‍යය රකින ‘ඇයට’ නිපා වෛරසය ගැන විශේෂ පණිවිඩයක්!

ගෙදර සෞඛ්‍යය රකින ‘ඇයට’ නිපා වෛරසය ගැන විශේෂ පණිවිඩයක්!

by Shanaka Lakehouse

​​අද වන විට මුළු ලෝකයම පසුවන්නේ සෞඛ්‍යමය වශයෙන් ඉතා අවදානම් සහගත කාලයකය. කොවිඩ් වසංගතයෙන් බැට කෑ ලෝකවාසී ජනතාව, අලුතින් මතුවන ඕනෑම රෝගී තත්ත්වයක් දෙස බලන්නේ ඉතාමත් බියෙනි.

මේ දිනවල දකුණු ආසියානු කලාපය පුරා, විශේෂයෙන්ම අපේ අසල්වැසි ඉන්දියාවෙන් වාර්තා වන ‘නිපා’ (Nipah) වයිරසය පිළිබඳ පුවත් ලාංකික අපේ නිවෙස් තුළද කතාබහට ලක්වන මාතෘකාවක් වී තිබේ. පවුලේ සෞඛ්‍යය පිළිබඳව නිරන්තරයෙන්ම වගකීමෙන් පසුවන කාන්තාවන් ලෙස, මේ වයිරසය පිළිබඳව නිවැරදි තොරතුරු දැනසිටීම කාලීන අවශ්‍යතාවයකි.

​මෑතකදී සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතා විසින් කළ ප්‍රකාශයත් සමඟ මෙරට ජනතාව තුළ තිබූ යම් නොසන්සුන්කාරී බවක් සමනය වුවද, සමාජ මාධ්‍ය හරහා පැතිරෙන විවිධ ප්‍රචාර නිසා තවමත් බොහෝ දෙනෙක් පසුවන්නේ අවිශ්වාසයකිනි. ඇත්ත වශයෙන්ම නිපා වයිරසය යනු කුමක්ද? එය ලංකාවට බලපාන්නේ කෙසේද? සහ අපේ දරුවන් සහ පවුලේ අය ආරක්ෂා කරගන්නේ කෙසේද යන්න පිළිබඳව අප විමසා බැලිය යුතුය.

​නීපා වයිරසය යනු වවුලන් සහ ඌරන් වැනි සතුන්ගෙන් මිනිසුන්ට බෝවන වයිරසයකි. මෙහි ඇති බරපතළම තත්ත්වය වන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙන පරිදි මෙහි මරණ අනුපාතය 40% සිට 75% දක්වා ඉහළ අගයක පැවතීමයි. මේ හේතුව නිසාම තායිලන්තය, සිංගප්පූරුව, හොංකොං සහ මැලේසියාව වැනි රටවල් සිය ගුවන් තොටුපොළවල විශේෂ පරීක්ෂණ පවා ආරම්භ කර තිබේ. කලාපීය රටවල් මෙලෙස සූදානම් වන විට, ශ්‍රී ලාංකික අපට ද ඒ පිළිබඳව අවධානයෙන් සිටීම වටී.

​කෙසේ වෙතත් සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කරන්නේ ලංකාවට මේ සම්බන්ධයෙන් අනියත බියක් ඇති කරගත යුතු නැති බවයි. ඔහු පවසන පරිදි නිපා වෛරසය යනු කොවිඩ් වසංගතය මෙන් ඉතා වේගයෙන් වාතය හරහා මුළු රටක් පුරා පැතිර යන රෝගයක් නොවේ. මෙය පුද්ගලයෙකුගෙන් තවත් අයෙකුට බෝවීමේ සම්භාවිතාව පවතින්නේ ඉතාම අවම මට්ටමකිනි. රෝගය වැළඳුණු පුද්ගලයෙකු ඉතා දරුණු ලෙස රෝගාතුර වන බැවින් එවැනි අයෙකුට ගුවන්යානයක නැඟී විදේශගත වීමට තරම් සෞඛ්‍ය ශක්තියක් නොමැත. මේ නිසා විදේශයක සිට රෝගියෙකු මෙරටට ඇතුළු වීමේ අවස්ථාව ප්‍රායෝගිකව ඉතා අඩු බව වෛද්‍ය විද්‍යාත්මකව තහවුරු වේ.

​රජය සහ සෞඛ්‍ය අංශ මේ වන විටත් අවශ්‍ය පූර්ව සූදානම ලබා ඇත. සැක සහිත පුද්ගලයින් පරීක්ෂා කිරීමට අවශ්‍ය නවීන රසායනාගාර කට්ටල මෙරට සතුව පවතින අතර, සෞඛ්‍ය අමාත්‍යාංශය නිරන්තරයෙන්ම ලෝක සෞඛ්‍ය සංවිධානය සමඟ එක්ව තොරතුරු හුවමාරු කර ගනිමින් සිටී. “අපි මේ වයිරසය ගැන ඉතා ළඟින් අධ්‍යයනය කරනවා. මේ වන තෙක් කිසිම රෝගියෙක් ලංකාවෙන් වාර්තා වී නැහැ,” යනුවෙන් නියෝජ්‍ය අමාත්‍යවරයා සහතික කරයි.

​ගෘහණියක ලෙස ඔබ සැලකිලිමත් විය යුතු වැදගත්ම කරුණ වන්නේ ඔබේ නිවසේ ආහාර සුරක්ෂිතතාවයයි. නීපා වෛරසය පැතිරෙන ප්‍රධාන මාර්ගයක් වන්නේ පලතුරු වවුලන් විසින් අඩක් කා දමන ලද හෝ උන්ගේ ශරීර ස්‍රාවයන් තැවරුණු පලතුරු ආහාරයට ගැනීමයි. එබැවින් වෙ‍ෙළඳපොළෙන් පලතුරු මිලදී ගැනීමේදී සහ ඒවා පරිභෝජනය කිරීමේදී ඉතා පරීක්ෂාකාරී වන්න. පලතුරු හොඳින් සෝදා පීලි හැර ආහාරයට ගැනීමත්, සතුන් සපා කෑ පලතුරු ඉවත් කිරීමටත් වගබලා ගන්න. මෙය නීපා වෛරසයට පමණක් නොව, තවත් බොහෝ රෝගවලින් වැළකීමට උපකාරී වන යහපත් පුරුද්දකි.

​නීපා වෛරසයේ රෝග ලක්ෂණ දෙස බලන විට, සාමාන්‍ය උණ තත්ත්වයක් මෙන් ආරම්භ වී පසුව හිසරදය, වමනය සහ ශ්වසන අපහසුතා ඇති විය හැකිය. ඇතැම් අවස්ථාවලදී මෙය මොළයේ ප්‍රදාහය දක්වා වර්ධනය විය හැකි බැවින්, ඕනෑම අසාමාන්‍ය රෝගී තත්ත්වයකදී වහාම වෛද්‍ය උපදෙස් ලබා ගැනීම වැදගත් වේ. නමුත් අමාත්‍යවරයා පවසන පරිදි, දැනට ලංකාව තුළ එවැනි වසංගත තත්ත්වයක් නැති බැවින්, ගුවන් තොටුපොළවලදී සියලු දෙනා පරීක්ෂා කිරීම වැනි අතිශය වියදම්කාරී පියවරවලට යාමට අවශ්‍ය නැත.

​අවසාන වශයෙන් කිව යුත්තේ, නීපා යනු අප අවධානයෙන් සිටිය යුතු නමුත් බියෙන් මුළුගැන්විය යුතු රෝගයක් නොවන බවයි. සමාජ මාධ්‍ය හරහා පැතිරෙන ඇතැම් ව්‍යාජ පුවත් සහ අනියත බිය ගැන්වීම්වලට හසු නොවී, වගකිවයුතු සෞඛ්‍ය අංශ ලබාදෙන උපදෙස් පමණක් පිළිපදින්න. පිරිසිදුකම, නිසි ආහාර රටාව සහ සෞඛ්‍යසම්පන්න ජීවන විලාසය පවත්වා ගන්නේ නම්, නිපා පමණක් නොව ඕනෑම වයිරසයකින් ඔබේ පවුල ආරක්ෂා කරගැනීමට ඔබට හැකියාව ලැබෙනු ඇත. රජය සහ සෞඛ්‍ය අංශ ඔබ වෙනුවෙන් උපරිම අවධානයෙන් සිටින බව සිහි තබා ගන්න.

TEXT – දුමින්ද කාරියවසම්

You may also like

Leave a Comment

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?