Monday, February 9, 2026
Epaper
Home විශේෂාංගසිනහව පිටුපස සැඟවුණු කඳුළු කතාව

සිනහව පිටුපස සැඟවුණු කඳුළු කතාව

by Shanaka Lakehouse

ස්වාධීන මනුෂ්‍යයෙකු ලෙස වෙනත් කෙනෙකුගේ පහරකෑම් ලබන්න, අඩන්තේට්ටමට ලක් වෙන්න ඔබ කැමැතිද? සත්‍ය වශයෙන්ම ඔබ එයට අකමැතිය. වත්මන් සමාජ පසුබිම තුළ බොහෝ පවුල්වල පවතින ආර්ථික ප්‍රශ්න, අනියම් සබඳතා, සැමියා සහ බිරිඳ භූමිකා තුළ නොගැළපෙන අදහස් වැනි සාධකයන් නිසා ගෘහස්ථ හිංසනයට කාන්තාවන් බහුලව මුහුණපායි. දික්කසාදයන් සිදුවීමට මූලික හේතුවක් වන මෙම ගෘහස්ථ හිංසනය ඇත්තෙන්ම සමාජය තුළ තවමත් නොවිසඳුණු පිළිලයකි. ලංකාවේ කාන්තා ගහනයෙන් 20.4% ප්‍රමාණයක් තම විවාහ ජීවිතය තුළ ගෘහස්ථ හිංසනයට ලක්වන බව වාර්තා වේ. එබැවින් ගෘහස්ථ හිංසනය සම්බන්ධව සහ ඒ හා සම්බන්ධ නෛතික රාමුව පිළිබඳව අවබෝධාත්මක දැනුමක් තිබීම අප සියලු දෙනාටම ඉතා වැදගත් වේ.

ශ්‍රී ලංකාවේ පවතින නීති අනුව ගෘහස්ථ හිංසනය යනු කුමක්ද?

ශාරීරික,ලිංගික, මානසික වශයෙන් සෑම අතින්ම පවුල් සාමාජිකයෙකු විසින් තම පවුලේ වෙනත් සාමාජිකයෙකුට සිදු කරන හානියක් ගෘහස්ථ හිංසනයක් ලෙස සරල ලෙස හඳුන්වයි. විශේෂයෙන් ම ගෘහස්ථ හිංසනයේ දි සමාජයේ වැඩිපුර අසන්නට දකින්නට ලැබෙන්නේ සැමියා විසින් බිරිඳ වෙත කරන හානිය. ශ්‍රී ලංකාවේ කාන්තා ගහනයෙන් 20.4% ක ප්‍රමාණයක් තම විවාහ ජිවිතය තුළ මෙම ගෘහස්ථ හිංසනයට හසුවන අතර මෙය සමාජය තුළ කතාබහට ලක්විය යුතුම මාතෘකාවකි.

කාන්තාවන්ට විශේෂිතව ගෘහස්ථ හිංසනය පිළිබඳ නීතියක් ලංකාවේ පවතින්නේද?

ගෘහස්ථ හිංසනය සම්බන්ධයෙන් ලංකාව තුළ ක්‍රියාත්මක වන නීති කීපයක්ම පවතී. ඒ අතරින් 2022 කාන්තාවන් ගෘහස්ථ හිංසනයෙන් වැළැක්වීමේ (සංශෝධන) පනත ඉන් එකකි.(The Protection of Women from Domestic Violence ( Amendment ) Act 2022). එමෙන්ම 2005 අංක 34 දරන ගෘහස්ථ හිංසනය වැළැක්වීමේ පනත (Prevention of Domestic Violence Act No. 34 of 2005) සහ 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ අංක 11 වගන්තිය තුළද ගෘහස්ථ හිංසනය සම්බන්ධයෙන් සාකච්ඡා කෙරේ. එපමණක් නොව 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ අංක 27 වගන්තිය තුළද රාජ්‍ය ප්‍රතිපත්ති බිහිවීමේ මූලධර්ම සම්බන්ධයෙන් කාන්තාව හා දරුවන්ට ඒ අයගේ අභිවෘද්ධිය, සුභ සිද්ධිය තකා රජය බැඳී සිටින බව දක්වා තිබේ. දණ්ඩ නීති සංග්‍රහය තුළද 14 වන පරිච්ඡේදය තුළ මිනීමැරීම, අඩන්තේට්ටම් කිරීම, දරුණු වධ හිංසා පැමිණවීම සම්බන්ධයෙන් නීති අර්ථ දක්වා ඇත.

ගෘහස්ථ හිංසනය යටතට අයත් වන හිංසන වර්ග මොනවාද ?

ශාරීරික, මානසික, ලිංගික හිංසනයන්, හැඟීම්වලට බලපෑම් කිරීම, නිදහස නැති කිරීම, අඩන්තේට්ටම් කිරීම, නින්දා කිරීම, අපහාස කිරීම වෙනත් අය ඉදිරියේ අපහසුතාවට පත්වන ලෙස කටයුතු කිරීම, පහරදීම, තුවාල කිරීම ආදි ක්‍රියාවන් ගෘහස් හිංසනයට අයත් වේ. සෑම විටම ගෘහස්ථ හිංසනයේදී පුරුෂාධිපත්‍යය බලපාන බැවින් විවාහ වූ දා පටන් තම බිරිඳව රැකබලා ගැනීම, සත්කාර කිරීම සැමියා සතු වගකීම වේ.

ගෘහස්ථ හිංසනයක් ඇති වුවහොත් ගත යුතු ක්‍රියාමාර්ග මොනවාද?

පළමුව තමාට සිදුවූ හිංසනය පිළිබඳව පොලීසිය දැනුවත් කළ යුතුය. සෑම පොලීසියකම ළමා හා කාන්තාවන්ට සිදුවන අකටයුතුකම් පිළිබඳ සැලකිරීමට වෙනම ඒකකයක් පවතී. ඉන් පසු සිදුවන හිංසනය සම්බන්ධයෙන් විරුද්ධව කටයුතු කිරීම සඳහා මහේස්ත්‍රාත් අධිකරණය වෙත යොමු කරන අතර එහිදී මේ හා සම්බන්ධ ආරක්ෂණ නියෝගයක් (protective order) පනවනු ලබයි. ආරක්ෂණ නියෝගය යටතේ දින 14ක් වනතුරු අගතියට පත් පාර්ශ්වය වෙත ආරක්‍ෂණයක් ලැබෙන අතර මෙම ආරක්ෂණ නියෝගය අවුරුද්දක් දක්වා දීර්ඝ වේ. ආරක්ෂණ නියෝගය වලංගු වන කාලය තුළ බිරිඳ වෙත අඩන්තේට්ටම් කිරීම, වෙනත් හිංසා පැමිණවීම කිසිසේත් සිදු නොවිය යුතුය. එය උල්ලංඝනය කළහොත් මාස 12ක සිරදඩුවමක් හෝ රුපියල් 10,000ක දඩ මුදලක් එසේ නැත්නම් එම දඬුවම් දෙකම ලබා දිය හැකිය. මේ සඳහා මහේස්ත්‍රාත්තුමාට අධිකරණය බලය පවතී.

පොලීසියට පැමිණිලි කිරීම අනිවාර්යද? නැත්නම් වෙනත් නීතිමය මාර්ග තිබේද?

කාන්තාවක් සඳහා හිංසනයක් සිදු වුවහොත් පළමුවෙන්ම ලබා ගත හැකි පිළිසරණ වන්නේ ළඟම ඇති පොලිස් ස්ථානය වෙත පැමිණිලි කිරීමයි. සෑම පොලිස් ස්ථානයකම කාන්තාවන් හා ළමයින් වෙනුවෙන් ඔවුන්ගේ ආරක්ෂාව සඳහා වෙන් වූ වෙනම ඒකකයක් පවතින අතර ඔබට යම් ගෘහස්ථ හිංසන තත්ත්වයකට මුහුණ දීමට සිදුවුවහොත් මතු දැක්වෙන පියවර අනුගමනය කරමින් තමන්ගේ ආරක්ෂාව තහවුරු කරගත හැකිය. පොලීසියට අමතරව ඇතැම් අවස්ථාවලදී නීතිය හා සාමය ආරක්ෂා කරන නිලධාරියකු ලෙස ග්‍රාම නිලධාරීතුමාට ද කටයුතු කළ හැකි නමුත් ළඟම ඇති පොලිස් ස්ථානයකින් සහාය පැතීම වඩාත් යෝග්‍ය වේ.

ගෘහස්ථ හිංසනය සිදු සිදුකරන්නෙකුට ලැබෙන නීතිමය දඬුවම් මොනවාද?

ගෘහස්ථ හිංසනය සම්බන්ධව පැමිණිල්ලක් විභාග කරන විට මහේස්ත්‍රාත් අධිකරණය විසින් අගතියට පත් පාර්ශ්වය වෙත දින 14 (අවුරුද්දක් දක්වා ක්‍රියාත්මක වන) ආරක්ෂණ නියෝගයක් ලැබෙන අතර එම දින 14 ඇතුළු අවුරුද්දක් දක්වා කාලය තුළ නැවත බිරිඳට අඩන්තේට්ටම් කිරීම, පහර දීම වැනි ගෘහස්ථ හිංසනය යටතට ගැනෙන හිංසා පැමිණවීම නොකළ යුතු බවට උපදෙස් ලබාදෙයි. එම ආරක්ෂණ නියෝග කාලසීමාව තුළ නැවත අගතියට පත් පාර්ශ්වය වෙත (බිරිඳ) හිංසනයක් සිදු කළහොත් මාස 12ක සිරදඬුවමක් හෝ රුපියල් 10,000 ක දඩ මුදලක් ගෙවීමට සිදුවන අතර ඇතැම් අවස්ථාවල මෙම දඩුවම් දෙකම පැනවිය හැකිය.

ගෘහස්ථ හිංසනයකදී අගතියට පත් පාර්ශ්වයන් සමථයකට පත්කිරීමට පොලීසියට හැකියාවක් පවතිද?

ගෘහස්ථ හිංසනයක් ඇති වූ විට ඒ හා සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගත හැකි පළමු ආයතනය වන්නේ පොලීසියයි. එහිදී හිංසනය සම්බන්ධව විමර්ශන පවත්වන අතර පසුව අදාළ පාර්ශ්වයන් වෙත දැඩිව අවවාද කරනු ලබයි. එම අවවාද නොතකන දෙපාර්ශ්වයට දික්කසාද පිළියම වෙත යා හැකිය.

ගෘහස්ථ හිංසනයකදි අගතියට පත් පාර්ශ්වය මිය ගියහොත් ඒ සඳහා පවුලේ සෙසු සාමාජිකයන්ට වරදකරු සම්බන්ධයෙන් ගත හැකි ක්‍රියාමාර්ග මොනවාද?

මිනීමැරුම සම්බන්ධව පොලීසිය දැනුවත් කළ පසු පොලීසිය විසින් අදාළ පර්යේෂණ පවත්වා මරණය සම්බන්ධ B වාර්තාවක් සකසා ගනී. මහේස්ත්‍රාත් අධිකරණය තුළින් මෙය මිනීමැරුමක් බවට ඔප්පු වූ පසු වරදකරුට දඬුවම් ලබාදෙයි.

ගෘහස්ථ හිංසනයකින් පසු යම් අයෙකු මිය ගියහොත් එය අපරාධ නීතිය යටතේ දණ්ඩ නීති සංග්‍රහය මඟින් පනවා ඇති මිනීමැරුම් සම්බන්ධ නීති යටතේ වැරදිකරුට දඬුවම් ලබාදීම සිදුකරයි.

TEXT – ජීවන්ත ගුණවර්ධන

You may also like

Leave a Comment

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?