Monday, February 9, 2026
Epaper
Home විශේෂාංගඅම්මා සහ බිරිඳගේ ගති ගුණ වගේම මුහුණුවරත් එක වගේ

අම්මා සහ බිරිඳගේ ගති ගුණ වගේම මුහුණුවරත් එක වගේ

ප්‍රවීණ සංගීතඥ දිනේෂ් සුබසිංහ

by Shanaka Lakehouse

සංගීතය යනු විශ්ව භාෂාවකි. එවන් විශ්ව භාෂාවකින් ලෝකයක් අමතන අප කවුරුත් හඳුනන නව පරපුරේ සංගීතඥයන් අතර දිනේෂ් සුබසිංහට හිමි වන්නේ අද්විතීය ස්ථානයකි. ඔහුගේ මියුරු සංගීත සංයෝජනයෙන් හැඩ වුණු නූතන ගීත මෙන්ම පැරණි ගීත රාශියක් අප සවන් මත ආලේප කරන්නේ අමා බිඳු යැයි කීවොත් වැරදි නැත. මේ එවන් අසහාය නිර්මාණකරුවකුගේ මව ගැන තරුණී අප තබන සුවිශේෂ සටහනකි. ඇය මීට මාස තුනකට පමණ පෙරාතුව මෙලොවින් සමුගත් අතර දිනේෂ්, තරුණී අප සමඟ ඇය ගැන කතාබස් කළේ මේ ආකාරයෙනි.

මගේ අම්මාගේ නම මීරියම් ඩිරෙක්ස් සුබසිංහ. ඇත්තටම මගේ චරිතය හැදෙන්නේ අපේ තාත්තාගේ පරම්පරාවෙන් ලැබුණු නිවිච්චිකම සහ අම්මාගේ පරම්පරාවෙන් ලැබුණු අභියෝග හමුවේ නිර්භීතව නොසැලී කටයුතු කිරීමේ ගුණයෙහි එකතුවෙන් කීවොත් නිවැරදියි. ඔය දෙපක්ෂයෙන්ම ලැබුණු ගතිගුණ එක හා සමානව මුසු වී මගේ චරිතය ගොඩනැඟී තිබෙනවා. ඕනෑම පරාජයක් උපේක්ෂාවෙන් දරා ගැනීමටත් ඕනෑම අභියෝගයකට ශක්තිමත්ව නොබියව මුහුණ දීමටත් මට හැකියාව ලැබුණේ ඒ දායාදය නිසාම බව කිව යුතුයි.

ඇත්තටම අපේ අම්මා ඉතාම ධෛර්යවන්ත කාන්තාවක්. 1983 කළු ජූලිය නිසා නාවික හමුදාවේ සේවය කළ අපේ තාත්තාට විදේශගත වන්නට සිදු වුණා. ඒ වන විට මගේ වයස අවුරුදු හතරයි. එදා සිට මගේ සහ අවුරුද්දක් වියැති මගේ මල්ලිගේ වැඩ කටයුතු සමඟ අම්මා ධෛර්යවන්තව ජීවිතයට මුහුණ දුන්නා. අපේ වගේම ඇයගේ ඥාති පවුල්වල අයගේ දියුණුවටත් ඇය බොහෝ සෙයින් උපකාර කළා. එවන් පරෝපකාරී ගතිගුණ අපේ අම්මා සතුව තිබුණා.

පුතෙක් සහ මවක් අතර ඇති බැඳීම පහසුවෙන් බිඳිය හැක්කක් නොවේ. පෙකෙණියෙන් බැඳී දස මසක් කුසෙහි හොවාගෙන මෙලොවට බිහි කරන අම්මාගේ ආදරය නිසාම සිය ලෙයින් උපන් දරුවා වෙනුවෙන් ඇගේ ගත රුහිරු කිරට හැරෙන්නේ සොබාදහමේ අපූර්වත්වය අපට කියාපාමිනි. මේ එවන් ආදරයක් සතු සිය මවගේ මතකය දිනේෂ් විසින් ආවර්ජනය කළ ආකාරයයි.

ඇත්තටම මට සම්මාන පිරිනැමුණු සම්මාන උළෙල දෙකකදී අම්මා සහ මා අතර සුවිශේෂ මතක සටහන් ඉතිරි වෙලා තිබෙනවා. මට පළමු වැනි වරට සිග්නීස් සම්මානයක් හිමි වෙද්දී ඒ සම්මානය මාලනී ෆොන්සේකා මහත්මිය අතින් ගත්තේ අපේ අම්මා. එදා විදේශගතව සිටි මං ලංකාවට එන්න ප්‍රමාද වුණා. ඒ වගේම තවත් සම්මාන උළෙලකදී මට හිමි සම්මානයක් අපේ අම්මා ලබා ගත්තේ එවකට ජනාධිපති ධුරය හෙබවූ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මහත්මිය අතින්.

සිය මව යොවුන් අවධියේ අත්විඳි සොඳුරු අත්දැකීම් දිනේෂ් අප හමුවේ තැබුවේ මේ ආකාරයෙනි.

අපේ අම්මා ගොඩාක් ලස්සනයි. විජය කුමාරණතුංග මහත්මයා සිනමාවට එන්න පෙර ඔහුගේ පාසල් ප්‍රේමය වුණේ අපේ අම්මා. අපේ අම්මා කඳාන බෞද්ධ කාන්තා විද්‍යාලයේ ආදි ශිෂ්‍යාවක්. ඒ කාලේ විජය, ශාන්ත බෙනඩික්ට් විද්‍යාලයේ ඉගෙනගෙන තිබුණා. ඉතින් ඒ දවස්වල සීදුවේ ඉඳන් අපේ අම්මා පාසල් ගිහින් තියෙන්නේ කෝච්චියේ. ඉතින් එදා ඒ කෝච්චියේ විජය කුමාරණතුංගත් පාසල් ගිහින් තිබෙනවා. ඒ කාලේ විජය කුමාරණතුංග පාසල් ගිහින් තිබුණේ අපේ අම්මාව පාසලට ඇරලවුවාට පස්සේලු. කලා ක්ෂේත්‍රයේ කිහිප දෙනෙක් මේ ගැන දන්නවා.

ඒ වගේම සත්සමුදුර චිත්‍රපටයේ ප්‍රධාන නිළියට රඟපාන්න අපේ අම්මාට ඇරයුමක් ගේන්නත් විජය කුමාරණතුංග කටයුතු කර තියෙනවා. ඒත් අපේ සීයා අපේ අම්මාව සිනමාවට යැව්වේ නෑලු.

සිය මවුපියන් ගත කළ ආදර්ශවත් දිවිය තම ජීවිතයට උකහා ගත් ආකාරය දිනේෂ් අපට පසක් කළේ මේ ආකාරයෙනි.

අපේ අම්මා බොහොම එඩිතර කාන්තාවක්. අපේ අම්මා සහ තාත්තා වසර පනස් හතරක් පුරා ඉතා ගෞරවනීය පවුල් ජීවිතයක් ගත කළා.

මං වෘත්තීය සංගීත ජීවිතය අරඹන්නේ මගේ දිවියේ දෙවැනි දශකයේ. ඉතින් වෘත්තීය දිවියේ කාර්යබහුලත්වය සමඟ මං විවාහ වුණේ අවුරුදු හතලිස් දෙකෙන්. මේ රැකියාවට බද්ධ වීමට කාලය ගතවීමත් සංගීත ක්ෂේත්‍රයට එවක සමාජයේ වූ නොපිළිගැනීමත් එක්ක මගේ විවාහය ප්‍රමාද වුණා. ඒ වුණත් මං සංගීත ක්ෂේත්‍රයට පැමිණි මුල් අවධියේ මට ඇති තරම් පෙම්වතියෝ හිටියා. ඒ කිසිවෙක් මගේ හැකියාවට වශී වෙලා මට ආදරය කළේ නෑ. ඒ හැම කෙනෙක්ම මට දැනෙන ආදරය මං ප්‍රකාශ කරමින් මං සොයා ගත් අය. සංගීත විෂයයට ඇලුම් කරමින් ඒ වෙනුවෙන් උදව් ඉල්ලාගෙන පැමිණි එකදු ගෑනු ළමයෙකුට හෝ අපේ ගෙදර වහල යටදී පුරුෂාධිපත්‍යයට යටත් වන්නට සිදු වුණේ නෑ. ඒ හැම ගෑනු ළමයෙක්ම ගෙදරට පවා ගිහින් ඇරලුවේ අපේ අම්මා සහ තාත්තා විසින්. මං කවදාවත්ම ඔවුන්ට සංගීතයෙන් ඉදිරියට යන්න උදවු කරද්දී ලිංගික හෝ අනිසි බලපෑමක් කරලා නෑ. එය මං ජීවිතයේ කරගත් ලොකුම කුසලකර්මයක් ලෙස මං විශ්වාස කරනවා. එය මට ලැබුණේ මගේ අම්මාගෙන්.

මගේ විශ්වාසය අනුව කවදා හෝ මෛත්‍රී බුදුන් වහන්සේ ලොව පහළ වන සමයක මේ සසරේ මගේ අම්මා ඇතුළු මට උපකාර කළ සියල්ලෝම එක තැනක වාඩි කරවමින් නිවන් මාර්ගයට යොමු කරවන්නට මං ගොඩක් ආසයි. එය මාගේ ප්‍රාර්ථනයක්. සංගීතය හා සමානවම මං ඒ වෙනුවෙන් කැප වෙනවා.

ඒ වගේම මං පුංචි කාලයේ අම්මා බලාපොරොත්තු වුණේ මාව නීතිඥයෙක් කරන්නයි. ඒත් මට එවන් ආසාවක් තිබුණේ නෑ. බිළිඳෙක්, සිඟිත්තෙක්, නව යෞවනයෙක්, යෞවනයෙක් ලෙස මව්පියන් සෙවණේ ජීවිතයේ කඩඉම් රැසක් පසු කරන පුරුෂයෙක් සිය දෙවැනි ජීවිතය අරඹන්නේ විවාහයෙන් අනතුරුවයි. ඒ කඩඉමේදී දිනේෂ්ට සෙවණැල්ලක් වන ඔහුගේ බිරිඳ ගැන ඔහු කියන්නේ මෙවන් කතාවකි.

මගේ බිරිඳ දුලානි පෙරේරා. ඇය ගුවන් සේවිකාවක්. මගේ බිරිඳ සහ අම්මාගේ ගතිගුණ වගේම මුහුණුවර පවා එක සමානයි. ඇය මටත් වඩා හොඳින් මගේ අම්මාව සහ තාත්තාව රැක බලා ගත්තා. මං විදේශගත වෙලා සිටි සමයේදී ඇය එය හොඳින් ඉටු කළා. එය ඇය පෙර සසරින්ම ගෙන ආ දෙයක් යැයි මා විශ්වාස කරනවා. අපි කවදාවත්ම මගේ අම්මා සහ තාත්තාව තනි කළේ නෑ. අම්මා නැති වුණාට පස්සේ ඇය අදටත් අපේ තාත්තාව ආදරයෙන් රැක බලා ගන්නවා. අම්මා සහ මා අතර මතවාදී ගැටුම් ඇති වුණාම වුණත් බිරිඳ ඒ ප්‍රශ්න ඉතා සංයමයෙන් විසඳුවා. ඒ නිසා ඇය හොඳ බිරිඳක් වගේම හොඳ ලේලියක්.

ඒ වගේම අම්මා මා වෙනුවෙන් කළ කැප කිරීම් සියල්ලක්ම පාහේ අද ඇය ඉටු කරනවා. ඇඳුම් පිළියෙල කර ගැනීම්, කන බොන දේ සකසා ගැනීම් අතින් මං තරමක් අසමත්. එහිදී අම්මා එදා මට සහයක් වුණා වගේ අද ඒ කටයුතු වෙනුවෙන් මට සහාය වන්නේ මගේ බිරිඳ. ඒ වගේම දවසේ පැය විසිහතර සැලසුම් කර ගැනීමට අපහසු වීමත් මගේ ලොකු දුර්වලතාවක්. එහිදී මගේ කටයුතු ඉටු කර‌ දෙමින් ඒ දුර්වලතාව යම් තාක් දුරට හෝ මඟ හරවා ගැනීමට මගේ බිරිඳ ලොකු අත්වැලක් වෙනවා.

පුරුෂයෙකුගේ හෝ යුවතියකගේ යහපත් ගතිගුණවලට සරිලන ඊට සමාන ගතිගුණ පවතින සහකරුවෙක් සහකාරියක් හිමිවීම දිනේෂ් ලැබූ මහත් භාග්‍යයකි. ඒ භාග්‍යයේ රසය ඔහු අත්විඳින්නේ මේ අයුරිනි.

අපේ ගෙදර අපිත් එක්ක දවස ගත කරන සතුන් රාශියක් ඉන්නවා. ඒ අය අපේ වත්තට හැමදාම යන එන අය. බිරිඳ රැකියාව වෙනුවෙන් විදේශගත වෙලා හිටියත් සතුන්ට කෑම දුන්නාදැයි පවා විමසනවා. කොවුලන්, බල්ලන්, පූසන්, ඉබ්බන් වැනි සතුන් රාශියක් අපේ වත්තට නිතර යනවා එනවා. ඒ සබඳතාව අපේ ජීවිතයේ කොටසක් වෙලා. එය එක් අතකින් ස්වර්ගයක් වගේ යැයි මට හිතෙනවා.

කුමන ආකාරයේ සමානකම් තිබුණද පවුල් ජීවිතයේ අඩදබර සිදු වන අවස්ථා නැතිවා නොවේ. ඒ සියල්ල බත ඉදෙන තුරු විතරයි කියන්නාක් මෙන් මේසයට බත පිළියෙල වෙද්දි දෙන්නා දෙමහල්ලෝ ආදරයෙන් උයා ගත් බත සමගියෙන් භුක්ති විඳිති. මේ දිනේෂ් සහ දුලානි එවන් අවස්ථාවන්ට මුහුණ දෙන ආකාරයයි.

පවුල් ජීවිතයේ ප්‍රශ්නයක් ආවොත් අපි එකිනෙකාගේ පෞරුෂයන්ට හානි කරගන්නේ නෑ. අපි දෙන්නාටම තරහ යනවා. එහෙත් අපි එය වැඩිදුර ගෙන යන්නේ නෑ. අද සිදු වන ප්‍රශ්නයකදී අපි අතීතයේ වැරදි මතක් කරමින් ඒ වාදය දිගට අරගෙන නොයන බව කිව යුතුයි. ඉතින් ඒ විදිහට ප්‍රශ්න විසඳා ගෙන අපි දෙන්නා බොහොම ආදරයෙන් ජීවත් වෙනවා.

TEXT – පසිඳු මිහිරාන් රැටියල

You may also like

Leave a Comment

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?