Monday, February 9, 2026
Epaper
Home විශේෂාංගඉහළ ඉල්ලුමක් ඇති සුන්දර මල ජර්බෙරා

ඉහළ ඉල්ලුමක් ඇති සුන්දර මල ජර්බෙරා

by Shanaka Lakehouse

දකින සෑම මොහොතකම නෙත් සිත් වශී කරන මල් වචනයෙන් ප්‍රකාශ කළ නොහැකි දහසක් දෑ පවසයි. එබැවින් සැපතේදී මෙන්ම විපතේදී ද මල් භාවිතයට ගැනේ. විශේෂයෙන්ම ආදරය සංකේතවත් කරන්න ලොව බොහෝ රටවල් මල් උපයෝගි කරගන්නේ ද වචනයෙන් කියාගත නොහැකි හැඟීම් රැසක් හදවතට ඒත්තු ගැන්වීමට එය හොඳම තිළිණයක් වූ බැවිනි.

අද ඔබට හඳුන්වා දෙන්නේ ඉතාමත්ම පියකරු දුටුවන්ගේ සිත් අමන්දානන්දයට පත් කරන ජර්බෙරා ශාකය පිළිබඳවයි. සුන්දර මනාලියන්ගේ මල් කළඹටත්, හිස් පලඳනාවටත් බෙහෙවින්ම භාවිත කරන ජර්බෙරා මල් වැඩි දෙනකු හඳුන්වනුයේ ජබ්රාස් යන නමිනි. නමුත් එහි විද්‍යාත්මක නාමය වන්නේ ජර්බෙරා , ජැමසෝනි යන්නයි. නොයෙකුත් උත්සව සඳහා මේ මල් උපයෝගෙි කරගන්නා නිසාදෝ අද ජර්බෙරා මලට වෙළෙඳපොළේ ඉහළ ඉල්ලුමක් පවතින අතර හොඳින් වැඩුණු මලක් රුපියල් 20 ත් 30 ත් අතර මිලකට අලෙවි වේ.

ශ්‍රී ලංකාවේ ඕනෑම දේශගුණික තත්ත්වයක් යටතේ වගා කළ හැකි ජර්බෙරා පැළ වශයෙන්ද අලෙවි කරන අතර වැඩිම ඉල්ලුමක් ඇත්තේ කැපූ මල් සඳහාය. ලොව පුරා වාණිජ ලෝකයේද හොඳ ඉල්ලුමක් පවතිනුයේ මෙම මලෙහි වූ දිගුකාලීන පැවැත්ම නිසාමය. ජර්බෙරා ශාකයේ මල් නටුව කෙටි ප්‍රභේදයත්,නටුව දිග ප්‍රභේදයත් වශයෙන් ප්‍රභේද දෙකක් ඇති නමුදු වැඩි ඉල්ලුමක් ඇත්තේ නටුව දිග මල් වර්ගය සඳහාය.මෙම ශාකය සාර්ථකව වගා කිරීම සඳහා මනා සූර්යාලෝකයත්, වැඩි ආලෝකයත් අත්‍යවශ්‍යය. විශේෂයෙන්ම පෙරවරුවේ ලැබෙන හිරු එළිය දීප්තිමත් වර්ණ ලබා ගැනීමට මනා රුකුලක් වන අතර ජර්බෙරා ශාකය මනා ජල සැපයුමත්, ආර්ද්‍රතාවත් බෙහෙවින් ප්‍රිය කරයි.

මෙය වගා කිරීමේදී හොඳින් ජලය බැසයන ලෙසින් වගා මාධ්‍යය සකස් කරගතයුතු අතර බඳුන්ගත වගාවකදී ජලය බැස යාමට හැකිවන පරිද්දෙන් බඳුන පතුල සැකසිය යුතුය. ඒ සඳහා කැබැලි කරගත් උළුකැට යොදා ගන්න. වගා මාධ්‍යය සැකසීමේදී වැලි කොටස් එකකට කොම්පෝස්ට් කොටස් 1/2 ක් යෙදීම සුදුසු වන අතර තවත් සමහරකු මේ සඳහා කොහුබත් සහ පිලිස්සූ දහයියා ද එක්කර ගනියි. කෙසේ වෙතත් තමන්ට හැකි ආකාරයටත්, ප්‍රදේශයට ගැළපෙන පරිද්දෙනුත් වගා මාධ්‍යය සකස්කර ගැනීම වඩාත් හිතකර වේවි.ජර්බෙරා ශාකය පාත්ති වශයෙන් සකස් කළ වගා බිමක සිටුවන්නේ නම් එය මඳක් උස් පාත්ති වශයෙන් සකස් කරගත යුතුය.

එමෙන්ම ජලය හොඳින් බැස යන පරිඳදෙන්ද එය සකසා ගැනීම වැදගත්. මේ සඳහා පාත්තියේ මතුපිට පස අඟල් 8 ක් පමණ ඉවත් කර අඩියට උළුකැට කැබැලි තට්ටුවක් අතුරාගන්න. ඒ මත බොරළු තට්ටුවක් සහ වැලි යෙදීමෙන් අනතුරුවයි වගා මාධ්‍යය යෙදිය යුත්තේ.එය පොළව මතුපිට සිට ඉහළට සිටින සේ සකසා ගන්න. (සෙ. මී. 10 ක් පමණ) පාත්ති සැකසීමේදී දෙපස සිමෙන්ති බැමි දෙකක් දැමීමට හැකියාව ඇති නම් එමඟින් පස සේදීයාම වැළකේවි. ශාක සිටුවීමේදී පත්‍ර හටගන්නා මධ්‍යස්ථය පසට යට නොවන සේ සිටුවීම ඉතාම වැදගත්ය.ශාකය වර්ධනය වීම සඳහා මුල් අවස්ථාවේදීම නයිට්‍රජන් වැඩි පොහොරක් යෙදිය යුතු අතර පසුව 20 : 20 : 20 අනුපාතයේ සමතුලිත පොහොරක් යොදන්න. අනතුරුව මල් හටගන්නා අවධියේදී පොටෑසියම් වැඩි පොහොරක් සැපයීමෙන් වඩාත් අලංකාර ජර්බෙරා මල් රැසක් ඔබට ලබා ගත හැකි වේවි. මෙම ශාකය ඉක්තනින්ම පඳුරු වශයෙන් වැඩෙන අතර ඉන් පැළ ඉවත් කොට සිටුවා ගැනීමෙන් බෝ කිරීම පහසු වේ. එපමණක් නොව ජර්බෙරා බීජ මඟින්ද, පටක රෝපණයෙන්ද ව්‍යාප්ත කර ගත හැකිය.හොඳ ජලවහනයක් නොවූ කල මෙම ශාකය දිලීර රෝගවලට භාජනය වේ. එවිට පස නැවත වෙනස් කර දිලීර නාශක යෙදීම අවශ්‍යය. ඊට අමතරව පිටිපුස් රෝගය, මල් මත පුස් හට ගැනීම, ශාක කඳ කුණුවීම, පත්‍ර‍ කහපැහැ ගැනීම වැනි රෝග ජර්බෙරා ශාකයට වින කරයි. වහා ක්‍රියාත්මක වී දිලීර නාශක යෙදීම තුළින් මෙම රෝග පාලනය කළ හැකිය.කෙසේ වුවද වගාව පුරා රෝගය පැතිරී නැත්නම් දිලීර නාශක නොයොදා රෝග වැලඳුණ ශාක පමණක් වගාවෙන් ඉවත් කිරීම සුදුසුය. වර්ෂාව අධික කාලවලදී දිලීර රෝග වැලඳීම නිරන්තරයෙන්ම සිදුවන බැවින් එය වැළැක්වීමට දිලීර නාශකයක් භාවිත කරන්න. එමෙන්ම කෘමි හානි ඇති විටෙක කෘමි නාශක භාවිත කිරීමෙන් රෝගවලින් තොර අලංකාර ජර්බෙරා වගාවකට උරුමකම් ඔබටත් කිව හැකි වේවි.

TEXT – චම්පා වරුසප්පෙරුම

You may also like

Leave a Comment

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?