Monday, February 9, 2026
Epaper
Home Bridleමංගල සාරියට අඩු වියදමකින් වැඩි පෙනුමක්

මංගල සාරියට අඩු වියදමකින් වැඩි පෙනුමක්

by Shanaka Lakehouse

ජීවිතේ එක් වරක් පමණක් අඳින මංගල සාරිය වැඩිම වටිනාකමකින් හා වඩාත් සුන්දර පෙනුමකින් හැඩගැන් වී තිබීම සෑම යුවතිකගේම සිහිනයකි. මේ සිහිනය නිසාම ඇය වෙ‍ෙළඳසැල් සිසාරා සොයන්නේ අධික මිලකින් යුත් මංගල සාරියකි. එහෙත් තම දියණියගේ විවාහ මංගල්‍යය වෙනුවෙන් වියදම් කරන මුදලේ ප්‍රමාණය අනුව බොහෝ දෙනාට මිලෙන් අධික වටිනා කමෙන් වැඩි සාරියක් කියන්නේ සැබැවින්ම සිහිනයක් පමණි. තවදුරටත් ඒ සිහිනය සිහිනයක් නොවන්නට තරුණී නුග සෙවණ සුසංයෝගයෙන් අද අපි ඔබට ඉදිරිපත් කරන්නේ මංගල සාරියට අඩු වියදමකින් වැඩි පෙනුමක් ගෙන දිය හැකි පරිදි සාරිය නිර්මාණය කරගන්නා අයුරුයි.

වැඩි දෙනෙක් උත්සාහ කරන්නේ තම මංගල සාරිය ඉතාමත් වටිනා මිාලෙන් අධික සාරියක් තෝරා ගන්නටයි. හේතුව මංගල දිනයේ ඉස්තරම් ම සාරියකින් සැරසෙන්නටත් ඉන් කැපී පෙනෙන සුන්දරත්වයක් ඉස්මතුකර ගන්නටත් ඔවුන් තුළ ඇති වැඩි කැමැත්ත සහ නැඹුරුතාවයි.

මේ නිසාම ඔවුන් සිතන්නේ තමන්ගේ මංගල දිනයට ලස්සනම සාරියක්, දැන් තියෙන අලුත්ම විලාසිතාවේ වැඩි වටිනාකමක් ඇති සාරියක් තෝරා ගතයුතු බවයි.

ඉතින් මේ වගේ සාරියක් ගන්න ඔය තරම් දහස් ගණන් මුදල් වැය කරන්නම ඕනෙද? බලන්න සමහර අය මංගල සාරිය වෙනුවෙන් මොන තරම් වියදම් කරනවද?

මංගල සාරි පිළිබඳ කතා කරන්නට අප ඉඩකඩ වෙන් කරගත්තේ තරුණී නුග සෙවණ විශේෂාංගයයි.

ඒ සඳහා අප සමඟින් එක් වූයේ මනාලියන් හැඩ ගැන්වීමේ කලාවේ නිපුණත්වයක් දරන රූපලාවණ්‍ය ශිල්පිනියක් වන කුමාරි ගුණසේකරයි.

වර්තමානය වන විට මංගල සාරි වශයෙන් අප බොහෝ විට දකින්නේ එකම ආකාරයක විලාසිතාවන්ට අයත් වන සාරියි. සමහර සාරි වර්ග මිලෙන් අධිකයි. කෙසේ හෝ වැඩි මුදලකට මංගල සාරිය ගන්නට සමහරුන් පෙලඹෙනවා. නමුත් අඩු වියදමකින් වැඩි වටිනාකමක් ගෙනෙන වෙනත් තැනක නැති අලුත්ම විලාසිතාවක සාරියක් නිර්මාණය කරගත හැකි බව වැඩි දෙනෙක් දන්නේ නැහැ. රූපලාවණ්‍ය ශිල්පියා නිර්මාණශීලී අයෙක් නම් සැබැවින් ම ඔහුට හෝ ඇයට පුළුවන් රෙදි වර්ග දෙකක් හෝ තුනක් මිශ්‍ර කරගෙන ඉතාමත් ආකර්ෂණීය පෙනුමක් ගෙන දෙන ආකාරයේ මංගල සාරියක් අඩු වියදමකින් නිර්මාණය කරන්නට.

මෙහි සිටින මනාලියගේ මංගල සාරිය නිර්මාණය කරන්න වැය වී තිබෙන්නේ අඩු වියදමක්.

නමුත් එහි වටිනා පෙනුම, ලස්සන නිමාව හරිම උසස්. මේ සඳහා රෙදි වර්ග කිහිපයක් ඔබට යොදාගත හැකියි. මා මෙහිදී යොදාගෙන තිබෙන්නේ තරමක් දිලිසෙන (ෂයින් මෙටීරියල් ) රේන්බෝ වර්ගයේ සාරියක්.

ඇත්තෙන්ම මෙවැනි සාරි ඉතාමත් අඩු මුදලකට එනම් රුපියල් 1000 -2000 වගේ මුදලකට පිටකොටුවෙන් හෝ මල්වාන ආශ්‍රිත රෙදිපිළි සඳහාම වෙන් වූ තොග කඩ්වලින් මිලදී ගත හැකියි. මෙයට ගැළපෙන පොප්ලින් කොටසක් රුපියල් 500කටත් ලයින් කොටසක් රුපියල් 800කටත් මිලදී ගත් අතර සාරිය වැඩ දැමීම සඳහා රුපියල් හත්සීයක් වගේ මිලකින් යුතු පබළු යොදා ගනු ලැබුවා.

දැන් ඔබටම හිතෙනවා නේද ලොකු වටිනාකමකින් යුත් සාරියක් වැඩ දමා ගැනීමට ඔබේ නිර්මාණශීලීත්වය ප්‍රයෝජනයට ගන්නේ නම් ඉතාමත් අඩු මුදලකින් එය සිදු කරගත හැකි බව.

ඔබ ලේස් වර්ග යොදාගන්න කැමතිනම් වෙ‍ෙළඳපොළෙන් අඩු මුදලකට ගත් වැඩි වටිනාකමක් පෙන්නුම් කරන ලේස් වුව මේ සඳහා ප්‍රයෝජනයට ගත හැකියි.

දැන් හිතෙනවා නේද සාප්පු සවාරි යද්දි ටිකක් මහන්සි වුණොත් වැඩි මිලක් නැති ලස්සන රෙදි වර්ග, ලේස් වර්ග ආදිය සොයා ගන්නට පුළුවන් කියලා. සමහරවිට පදික වේදිකාවල පවා අප නොසිතන ආකාරයේ මිලකට පෙනුමෙන් වැඩි ලස්සන වටිනාකමක් දක්වන ලේස් වැනි රෙදි වර්ග ලබා ගත හැකියි.

නිර්මාණය කරන ආකාරය අනුව මෙයට වැඩි වටිනා පෙනුමක් ගෙන දෙන්නට අපට පුළුවන්. අප මේ ආකාරයෙන් අලුත්ම විලාසිතාවකට අනුව සාරිය නිර්මාණය කර ගතහොත් අපට ඉන් අත්වන වාසි කිහිපයක් තිබෙනවා. එකක් එය අගයෙන් වැඩියි. වියදම අඩුයි. අනිත් එක එවන් විලාසිතාවක සාරියක් වෙනත් කිසිදු තැනකින් ගත නොහැකියි.

එසේ නිර්මාණය කෙරෙන මංගල සාරිය තමන්ට පමණක්ම වෙන් වූවක්. අප ඕනෑම රෙදි වර්ගයක් ගන්නත් එහි වර්ණ ගළපා ගන්නා ආකාරයත් විලාසිතා නිර්මාණය කරන ආකාරයත් වැඩි වටිනාකමක් ඉස්මතු කරගන්නට පුළුවන්.

ඒ වගේම අලුත් බවක් අලුත් නිමාවක් මෙන්ම විශේෂත්වයක් මෙහි තිබෙනවා.

ඉතින් හෙට දිනයේ යුග දිවියට යන ඔබ විවාහ මංගල සාරිය ගැන සෝ සුසුම් හෙළමින් සිටියාද?

දැන් ඔබට ඉතාමත් අඩු මුදලකින් වැඩි වටිනාකමක් ගෙන දෙන මංගල සාරියක් නිර්මාණය කර ගැනීමට අදහසක් ඇති වූ බව නම් නිසැකයි.

TEXT – අචිනි ලක්මාලි චන්ද්‍රසේකර

Pix – ශාන් රඹුක්වැල්ල ලක්මාලි

You may also like

Leave a Comment

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?