Monday, February 9, 2026
Epaper
Home Fashionසමේ පැහැයට විලාසිතා

සමේ පැහැයට විලාසිතා

by Shanaka Lakehouse

විලාසිතාවක් යනු හුදෙක් ශරීරය වැසීමට අඳින රෙදි කැබැල්ලක් පමණක් නොවේ. එය ඔබ කවුදැයි ලෝකයාට පවසන නිහඬ භාෂාවකි. කාන්තාවකගේ පෞරුෂය, ඇයගේ ආත්ම විශ්වාසය සහ ඇය තමා ගැන දක්වන සැලකිල්ල ඇය තෝරාගන්නා විලාසිතාවන් තුළින් මැනවින් පිළිබිඹු වේ.

බොහෝ දෙනෙක් නවීන විලාසිතා අනුකරණය කිරීමට ගොස් තමාට නොගැළපෙන වර්ණ සහ ඇඳුම් තෝරාගැනීම නිසා ඔවුන්ගේ ස්වභාවික සුන්දරත්වය යටපත් කරගනිති. එබැවින් තමාගේ සමේ පැහැයට ගැළපෙන වර්ණ හඳුනා ගැනීමත්, යන එන ස්ථානයට සහ අවස්ථාවට උචිත ලෙස හැඩගැසීමත් පිළිබඳව මනා අවබෝධයක් තිබීම ඕනෑම යුවතියකට අත්‍යවශ්‍ය වේ.

සමකයට ආසන්න රටක ජීවත් වන අපට විවිධ වූ සමේ වර්ණ උරුම වී ඇත. රූපලාවණ්‍ය විද්‍යාවට අනුව මුලින්ම ඔබට හිමි සමේ ස්වභාවය හඳුනාගත යුතුය. ඔබ ඉතා පැහැපත් සමක් හිමි අයෙක් නම්, තද වර්ණ භාවිතයෙන් ඔබේ පෙනුමට දීප්තියක් එක් කරගත හැකිය. විශේෂයෙන්ම තද නිල්, රතු, දම් සහ තද කොළ පැහැති ඇඳුම් පැළඳුම් මගින් පැහැපත් සමක් තවදුරටත් ඉස්මතු කර පෙන්වයි.

එහෙත් පැහැපත් සමක් ඇති අය ඉතා ලා වර්ණ, එනම් ළා කහ හෝ ලා රෝස වැනි වර්ණ තෝරාගැනීමේදී ප්‍රවේශම් විය යුතුය. මන්ද එමඟින් සමේ ඇති සජීවී පෙනුම මැකී ගොස් අඳුරු ස්වභාවයක් පෙන්විය හැකි බැවිනි.

ශ්‍රී ලාංකේය කාන්තාවන් අතර බහුලව දක්නට ලැබෙන තලෙළු හෝ තිරිඟු වර්ණැති සමක් හිමි යුවතියන් හට පෘථිවි වර්ණ (Earth colors) ඉතාමත් අලංකාර ලෙස ගැළපේ. රන්වන් පැහැය, තැඹිලි, අබ පාට සහ උණුසුම් දුඹුරු පැහැය මෙවැනි සමක් හිමි අයට රාජකීය පෙනුමක් ලබා දෙයි. මීට අමතරව තලෙළු සමක් ඇති අය සුදු පැහැති ඇඳුම් තේරීමේදී සම්පූර්ණ සුදු පැහැය වෙනුවට කිරි සුදු හෝ මුතු පැහැය (Off-white/Cream) තෝරාගැනීමෙන් වඩාත් ආකර්ෂණීය පෙනුමක් ලබාගත හැකිය. වර්ණ තේරීමේදී ඔබේ සමේ පැහැය සමඟ එම වර්ණය එකිනෙකට ගැටෙන්නේ නැතිව, එකිනෙක මුසු වී පෙනෙන අයුරින් තෝරාගැනීමට වගබලා ගත යුතුය.

විලාසිතාවක සාර්ථකත්වය රඳා පවතින අනෙක් වැදගත්ම සාධකය වන්නේ අවස්ථාවට ගැළපෙන අයුරින් සැරසීමයි. ඔබ රැකියාවක නියුතු කාන්තාවක නම්, ඔබේ ඇඳුම ඔබේ වෘත්තීය නිපුණතාවය පිළිබිඹු කරන කැඩපතක් විය යුතුය. කාර්යාලයට ඇඳිය යුත්තේ සරල, එහෙත් ගාම්භීර පෙනුමක් ලබා දෙන ඇඳුම් ය. අධික ලෙස විවිධ වර්ණ රටා සහිත ඇඳුම් වෙනුවට තනි වර්ණයක ඇඳුම් හෝ සරල මෝස්තර සහිත ඇඳුම් තෝරාගැනීම උචිතය. විශේෂයෙන්ම සේවා ස්ථානයට සාරියක් අඳින්නේ නම්, කපු හෝ සේද වැනි රෙදි වර්ගයකින් නිම වූ සාරියක් තෝරාගැනීමෙන් ඔබ වටා සිටින අයට ප්‍රියමනාප මෙන්ම ගෞරවාන්විත පෙනුමක් ලබා දෙයි. සේවා ස්ථානයේදී සැහැල්ලු වර්ණ භාවිත කිරීමෙන් ඔබේ මනසට මෙන්ම වටපිටාවට ද සන්සුන් බවක් එක් වේ.

උත්සව අවස්ථාවන් සඳහා සැරසීමේදී මීට වඩා වෙනස් මාවතක් ගත හැකිය. මංගල උත්සවයක් හෝ රාත්‍රී සාදයක් සඳහා සැරසෙන විට තමාට වඩාත් ගැළපෙන, මඳක් දීප්තිමත් ඇඳුම් තෝරාගත හැකිය. මෙහිදී ඇඳුමේ නිමාව මෙන්ම එහි ඇති අලංකාර වැඩ දැමීම් කෙරෙහි අවධානය යොමු කළ හැකිය. රාත්‍රී කාලයේ පැවැත්වෙන උත්සව සඳහා රන්වන් හෝ රිදී පැහැති නූලෙන් වැඩ දැමූ ඇඳුම් මඟින් විශේෂ ආලෝකයක් ලබා දෙයි. නමුත් මතක තබා ගත යුතු කරුණ නම්, ඇඳුම කොතරම් වටිනා වුවත් එය ඔබේ ශරීරයේ හැඩයට ගැළපෙන (Fitting) එකක් විය යුතු බවයි. පමණට වඩා තද වූ හෝ පමණට වඩා ලිහිල් වූ ඇඳුම් ඔබේ පෞරුෂයට හානි පමුණුවයි.

පෙනුම සම්පූර්ණ කිරීමේදී පාවහන් වලට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයකි. බොහෝ දෙනෙක් ඇඳුම ගැන සිතුවද පාවහන් ගැන දක්වන්නේ අඩු සැලකිල්ලකි. කාර්යාලීය ඇඳුම් සඳහා ඉදිරිපස වැසුණු මධ්‍යම ප්‍රමාණයේ විළුඹක් සහිත පාවහන් වඩාත් සුදුසුය. සාරියක් අඳින විට ඔබේ උසට සහ පහසුවට ගැළපෙන පරිදි උස් පාවහන් තෝරාගැනීමෙන් සිරුරේ හැඩය මැනවින් පෙන්විය හැකිය. මිතුරන් සමඟ යන ගමනකදී හෝ සාප්පු සවාරියකදී තට්ටු පාවහන් (Flats) පැලඳීමෙන් කකුල්වලට දැනෙන වෙහෙස අවම කරගත හැකිය. ඔබ කුමන පාවහන් යුවළක් තේරුව ද, එය පැළඳ ඇවිදීමේදී ඔබට අපහසුවක් නොදැනිය යුතුය. මන්ද ඔබ අපහසුවෙන් ඇවිදින විට එය ඔබේ මුහුණේ ඉරියව්වලින් පවා පෙන්නුම් කරන බැවිනි.

තවත් වැදගත් අංගයක් වන්නේ ආභරණ සහ අත්බෑගයයි. “අඩු වන තරමට ලස්සනයි” (Less is more) යන රීතිය මෙහිදී ඉතා වැදගත් වේ. ඔබ අඳින ඇඳුම අධික ලෙස මෝස්තර සහිත එකක් නම්, ආභරණ අවම කළ යුතුය. ඇඳුම සරල නම්, තරමක් විශාල හෝ කැපී පෙනෙන ආභරණ කට්ටලයක් පැලඳීමෙන් පෙනුමට අමුතුම පණක් ලබාගත හැකිය. අත්බෑගය තේරීමේදී ඔබ යන ස්ථානයට අනුව එය වෙනස් විය යුතුය. කාර්යාලයට හෝ නිල ගමන් සඳහා තරමක් විශාල බෑගයක් (Handbag) ගැළපෙන අතර, උත්සව අවස්ථාවන් සඳහා කුඩා අතේ රැගෙන යා හැකි බෑගයක් (Clutch) වඩාත් උචිතය.

අවසාන වශයෙන් කිව යුත්තේ, ඔබ කුමන විලාසිතාවක් කළද එහි වටිනාකම තීරණය වන්නේ ඔබේ සිනහව සහ ආත්ම විශ්වාසය මත බවයි. ලෝකයේ පවතින අති නවීන විලාසිතා අන්ධ ලෙස අනුකරණය කරනවාට වඩා, තමාගේ සිරුරේ හැඩය, සමේ පැහැය සහ තම පෞරුෂයට ගැලපෙන දේ තෝරාගන්නා යුවතිය සැමවිටම කැපී පෙනේ. විලාසිතා යනු ඔබව සිරකර තබන රීති මාලාවක් නොව, ඔබේ නිදහස සහ නිර්මාණශීලීත්වය විදහා පෑමට ඇති අවස්ථාවකි. එබැවින් හෙට දිනයේ ඔබ ඇඳුම් ආයිත්තම් කට්ටලය ඉදිරිපිට සිටගෙන ඇඳුමක් තෝරන විට, මෙම කරුණු පිළිබඳව සිතා බලා වඩාත් සුන්දර යුවතියක ලෙස සමාජයට පියනඟන්න.

TEXT – තුෂානි රාජපක්ෂ

You may also like

Leave a Comment

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?