Monday, February 16, 2026
Epaper
Home ගෘහ අලංකරණයවර්ණ ලොවෙන් නිවෙසට සතුට

වර්ණ ලොවෙන් නිවෙසට සතුට

by Shanaka Lakehouse

අප ජීවත් වන පරිසරය අපගේ මානසික සුවතාවට ඝෘජුවම බලපාන බව ඔබ දන්නවාද? නි‍ෙවසක් යනු හුදෙක් බිත්ති හතරක් සහ වහලක් පමණක් නොවේ. එය අපගේ ආත්මයට සැනසීම දෙන පියසයි. වර්ණ මනෝවිද්‍යාව සහ වාස්තු විද්‍යාව නිවැරදිව මුසු කිරීමෙන් ඔබේ නි‍ෙවස ධනාත්මක ශක්තියෙන් පිරුණු පාරාදීසයක් බවට පත් කරගත හැකියි. නි‍ෙවසේ එක් එක් කාමරයට ගැළපෙන වර්ණ තෝරාගැනීමේදී අප සැලකිලිමත් විය යුතු කරුණු විමසා බලමු.

සාලය (Living Room)

සාලය යනු පවුලේ සාමාජිකයන් එකට එකතු වන, අමුත්තන් පිළිගන්නා ප්‍රධාන ස්ථානයයි. මෙහි තිබිය යුත්තේ සැහැල්ලු සහ මිත්‍රශීලි වර්ණයි.

සුදු හෝ ක්‍රීම් වර්ණය

පිරිසුදු බව සහ විවෘතභාවය නිරූපණය කරන අතර සිතට සන්සුන් බවක් ලබා දෙයි. මෙම වර්ණ වාස්තු විද්‍යාවට අනුව සාලයට ඉතාම සුදුසුයි. එය නි‍ෙවසට එන ඕනෑම අයකුගේ සිත නිසල කරයි. එසේම සුදු පැහැය මඟින් ස්වාභාවික ආලෝකය පරාවර්තනය කරන බැවින් කුඩා සාලයක් වුවද විශාලව පෙනීමට උදවු වේ. විශේෂයෙන්ම බටහිර දිශාවට මුහුණ ලා ඇති සාලයකට මෙය කදිමයි.

ළා නිල්

මිත්‍රත්වය වර්ධනයට ඉතා සුදුසු වර්ණයකි. දවස පුරා වෙහෙස වී නි‍ෙවසට එන අයට මානසික සහනයක් ගෙන එයි. ඔබේ නි‍ෙවසට නිතර අමුත්තන් පැමිණේ නම්, ළා නිල් පැහැය මඟින් සන්නිවේදනය පහසු කරන අතර මතභේද අවම කරයි.

ළා කොළ

මෙම වර්ණය මඟින් සොබාදහම නි‍ෙවස තුළට ගෙන එයි. මෙය වර්ධනය සහ සමගිය සංකේතවත් කරයි.

පස් වර්ණ: ළා දුඹුරු හෝ මඩ වර්ණය මඟින් පවුලේ සාමාජිකයන් අතර ස්ථාවරත්වය සහ ආරක්ෂාව පිළිබඳ හැඟීමක් ඇති කරයි.

ළමුන්ගේ කාමරය

දරුවන්ගේ කාමරය වර්ණ ගැන්වීමේදී ඔවුන්ගේ බුද්ධි වර්ධනය සහ ඒකාග්‍රතාව ගැන විශේෂයෙන් සැලකිලිමත් විය යුතුයි. දරුවන් වර්ණවලට ඉතා සංවේදී බැවින් තද වර්ණ (උදා: තද රතු) භාවිත කිරීමෙන් ඔවුන් තුළ නොසන්සුන් බවක් ඇති විය හැකියි.

කහ වර්ණය

බුද්ධි වර්ධනයට සහ මතක ශක්තියට ඉතාමත් හිතකරය. මනෝවිද්‍යාත්මකව තහවුරු වී ඇත්තේ කහ වර්ණය මඟින් මොළයේ “සෙරටොනින්” හෝමෝනය උත්තේජනය කරන බවයි. පාඩම් කරන මේසය අසල බිත්තිය කහ පැහැයෙන් හැඩගැන්වීම ප්‍රතිඵලදායකයි.

ළා තැඹිලි

දරුවන්ගේ සන්නිවේදන හැකියාව සහ නිර්මාණශීලිත්වය වර්ධනය කිරීමට උපකාරි වේ.

කොළ

කොළ පැහැය දරුවාගේ ඇස්වලට විවේකයක් ලබා දෙන අතර අලුත් දේ සිතීමට පෙලඹවීමක් ඇති කරයි. වාස්තු විද්‍යාවට අනුව උතුරු දිශාවේ පිහිටි කාමරවලට කොළ පැහැය ඉතා ගැළපේ.

ළා දම් (ලැවෙන්ඩර්)

දරුවා අධික ලෙස දඟකාර හෝ නොසන්සුන් නම්, මෙම පැහැය මඟින් ස්නායු පද්ධතිය සන්සුන් කර සුව නින්දක් ලබා දෙයි.

නිදන කාමරය

නිදන කාමරය යනු වෙහෙස වූ මනසට සහ ශරීරයට විවේකය දෙන ස්ථානයයි. අඹුසැමියන්ගේ නිදන කාමරයට ගැළපෙන්නේ ආදරය සහ විවේකය දනවන වර්ණයි.

රෝස වර්ණය

ප්‍රේමය සහ සෙනෙහස සංකේතවත් කරයි. වාස්තු විද්‍යාවට අනුව අඹුසැමි සබඳතා ශක්තිමත් කිරීමටත්, විශ්වාසය තහවුරු කිරීමටත් රෝස පැහැය ආශීර්වාදයකි.

ළා නිල් හා කොළ

ඔබ නින්ද නොයාමේ රෝගයෙන් (නිදි නොලැබීම) පෙළෙන්නේ නම්, මෙම වර්ණ තෝරාගන්න. එමඟින් හෘද ස්පන්දනය පාලනය කර සුවදායී නින්දකට මඟ පාදයි.

මුළුතැන්ගෙය සහ කෑම කාමරය

මුළුතැන්ගෙය යනු ‘ගින්දර’ නියෝජනය කරන ස්ථානයයි. එය නි‍ෙවසේ ගිනිකොන දිශාවේ පිහිටීම වඩාත් සුදුසුය.

තැඹිලි හෝ රතු

කුසගින්න උත්තේජනය කිරීමට සහ ජීව ගුණය වැඩිකිරීමට මෙම වර්ණ සුදුසුයි. නමුත් සම්පූර්ණ බිත්ති රතු නොකර, කැබිනට් හෝ කුඩා බිත්ති කොටස් සඳහා පමණක් මෙය භාවිතා කරන්න.

සුදු

ආහාර පිළියෙල කරන ස්ථානය පිරිසුදුව තබා ගැනීමට සුදු වර්ණය උදවු වේ.

කෑම කාමරයට තැඹිලි

තැඹිලි යනු සාමාජීය වර්ණයකි. එය ආහාර ජීර්ණය පහසු කරන අතර පවුලේ සාමාජිකයන් අතර සුහද කතාබහ වර්ධනය කරයි.

වාස්තු විද්‍යාවට අනුව දිශානුගත වර්ණ

නැ‍ෙඟනහිර: සුදු හෝ ළා නිල්.

උතුර: කොළ පැහැය.

දකුණ: රෝස හෝ රතු පැහැය.

බටහිර: සුදු හෝ අළු පැහැය.

වර්ණ තේරීමේදී ඔබ නොකළ යුතු දෑ

අඳුරු සිවිලිම්: සිවිලිම සඳහා සැමවිටම සුදු වර්ණය තෝරාගන්න. අඳුරු සිවිලිමකින් නි‍ෙවස තුළට බරක් සහ මානසික පීඩනයක් දැනේ.

ප්‍රතිවිරුද්ධ වර්ණ ගැටුම:

එක් කාමරයක අධික ලෙස වෙනස් වර්ණ භාවිත කිරීමෙන් සිතේ නොසන්සුන් බවක් ඇති වේ.

ස්වාභාවික ආලෝකය නොසලකා හැරීම:

ආලෝකය අඩු කාමරයකට තද වර්ණ ආලේප කිරීමෙන් එම කාමරය තවත් පටු බවක් පෙන්වයි.

ඔබේ නි‍ෙවස යනු ඔබව “ප්‍රතිසංස්කරණය” කරන ස්ථානයයි. වර්ණ මනෝවිද්‍යාව සහ වාස්තු විද්‍යාව යනු මිථ්‍යාවක් නොව, සොබාදහම සමඟ එකඟව ජීවත් වීමේ කලාවයි. නිවැරදි වර්ණ තෝරාගැනීමෙන් ඔබට නීරෝගි, වාසනාවන්ත සහ සතුට පිරුණු පවුල් ජීවිතයක් ගත කළ හැකියි

TEXT – පවනි උමේෂා

You may also like

Leave a Comment

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?