Monday, February 16, 2026
Epaper
Home නවකතාවපොඩි එකෙක් වගේනෙ මෙයා හැසිරෙන්නෙ

පොඩි එකෙක් වගේනෙ මෙයා හැසිරෙන්නෙ

by Shanaka Lakehouse

ඕස් අවන්හලෙහි පහත මාලයේ ලිෆ්ට් එක ඇරෙන විගසින් නිගූ අඩියෙන් දෙකෙන් මැරයින් ඩ්‍රයිව් මහ මඟට පිවිසෙයි. ඔහුගේ ගමන දිවීමකි. එල්ලයකට ගමන් කිරීමට වැරෙන් වාරු ගනියි. මධු මතින් හිස බමයි. මැදියම් රැය ගෙවෙමින් තිබෙයි. පාර පාළුයි. ඔහු මුහුද පැත්තට පනියි. මුහුදු රළ ගොස ඔහුට නෑසෙයි. සුළඟ වියරුයි. ඈතින් එන ත්‍රීවීලරය දෙසට දිව එමින් අත දමයි. නවතයි. එයට වහා රිංගා ගනියි. ත්‍රිරෝදය කොල්ලුපිටිය දෙසට විදියි.

” සර්, කොහාට ද?” “අපි කහතුඩුවට යං” “අපි කහතුඩුවට යං” යි නිගූ කියන්නේ කලින් තමන් ම ගත් තීරණයකට අනුව නොවෙයි. එය දසදිනක් තිස්සේ තමා තුළ අඛණ්ඩව පවතින භාවමය ප්‍රහාරයෙන් හටගත් විදුලි කෙටීමක් බඳු සිතිවිල්ලකි. ත්‍රිරෝදය තුන්මුල්ලෙන් හයිලෙවල් පාරට වැටී ටික දුරක් යන විට තමා ත්‍රීවීල්කරුට යමු යි කීවේ කොහේටද යන්නවත් මතක නැත. ඒ තබා ත්‍රිරෝදය පදවන්නේ මිනිස් ඡායාවක් මිස ඔහු කෙබඳු වයසක පසුවන මිනිසෙකු ද යන්නවත් ඔහුට නිච්චියක් නැත. ඔහුට, තමා මෙයට නැඟුණේ කොතැනින් ද යන්නවත් මතක නැත. නිගූ මේ මොහොතේ කොහි සිට කොහි යන්නේ දැයි නොදන්නා මගියෙකි. ඔහේ පාවෙන පරඬැලකි. තමා මෙතෙක් වැරෙන් අල්ලා ගෙන සිටි ආත්මීය හුය ගිලිහී ගිය අරාජික මිනිසෙකි. ඔහු තුළ ඇත්තේ මරණයේ ආශාවයි. යළි ගර්භාෂගත වීමේ ප්‍රාර්ථනාවයි.

වත්තම් කර තබා ගැනීමට කිසිදු ආධාරකයක් හෝ නැති නිගූගේ හිස ඒ මේ අතට කඩා වැටෙයි. රථයට නැඟි තම මගියා නිහඬ මගියෙකැයි සිතන ත්‍රිරෝදකරු ඔහු ගැලී සිටින ආරම්මණයෙන් නොමුදන්නට සිතා ගෙන නුගේගොඩ හෝමාගම නගර පසුකර කහතුඩුවට විදියි.

ඕස් අවන්හලේ ආකාශාවකාශයෙන් ලිෆ්ට් එකට පැන පහළට පැමිණෙන නිමේශයේ හටගත් සිතිවිල්ලකින් නිවා දැමූ ජංගමය ගැන නිගූට මතකයක් නැත. තවමත් ඒ අවකාෂයේ සාලින්දත් විරාජුත් සිටිති. නිගූ මේ තමා වෙත එල්ලවී ඇති භාවමය ප්‍රහාරයෙන් මිදෙන්නට හොඳම මග තනි වී සිටීම යැයි සිතා ආපසු තම මාලඛේ ගුලට රිංගා ගන්නට ඇතැයි ඔවුහු කතිකා කරති. විරාජ් බිල ගෙවා දමා ඩන්හීලයක් දල්වා ගනියි. ජැටියට ළංව නැංගුරම් ලා තිබෙන නැව් කිහිපයකින් මලානික එළි කිරණ විහිදෙනු දිසෙයි. පෙණහලු පිරෙන්නට ඇද විරාජ්ගේ මුවින් පිට කෙරෙන දුමාරය ලවණ සුළඟේ වෙලී මැකී යයි.

” අනේ මං දන්නෑ සාලින්දයියා.. මේ මනුස්සයට මක් වෙලාද කියලා.. මංනං හිතුවෙ නෑ මේ තරං අවුල් වෙයි කියලා දැන් අපිව රුස්සන්නෙත් නෑනේ අපි කියන ඒවටත් මල පන්න ගන්නවා කියන්නේ වැඩේ මාර ක්‍රිටිකල් තැනක තියෙන්නෙ.”

” ක්‍රිටිකල් තැනක් ද නැත්තම් ක්ලිනිකල් තැනක් ද කියලයි හිතන්න වෙලා තියෙන්නෙ. කවුන්සලර් කෙනෙක්වත් හොයා ගන්න වෙයි ඒ පාර. මට හිතා ගන්න බෑ ඒ හැසිරුණු විදිහ. මල පන්න ගන්න දෙයක් කිව්වයැ බං කෝකටත් අපි මාලඛේ පැත්තෙ ගිහිං බැලුවොත් නරක ද විරාජයා. මූ පොඩි එකෙක් වගේනේ බං හැසිරෙන්නෙ.. ” සාලින්දගේ කතාවෙහි මුසු ව ඇත්තේ ගිල්ටිමය හැඟුම් මාත්‍රාවකි.

තමා යෝජනා කරන්නට සිතා සිටි දෙය සාලින්දගේ මුවින් පිට වීම නිසා විරාජ්ට සතුටුයි. එහෙත් සාලින්දයියාගේ කැපෙන

වචනවලින් රිදවා ගෙන නිගූ ආයිමත් වියරු වනු ඇතැයි සිතී ඔහු ගැස්සී පසු බසියි.එවිට සිදු වන්නේ වාදභරිත වදන් හී මානා ගනිමින් රැය පහන් කිරීමටය. ඉන් සිදු වන්නේ හෙට කර ගන්නට තිබෙන වැඩ කන්දරාවට ද කෙළ වී යාමකැයි ඔහුට සිතෙයි. හොඳ ම දේ වෙරි මතින් ම නිදන්නට ඉඩ දී හෙට උදේ කතා කිරීමයි. හැන්දෑවේ නිගූ හමුවන්නට මාලඛේ ගිය විට ඔහුට දවස් ගාණකින් මොහොතක්වත් නින්ද නොගිය බව කී අයුරු විරාජ්ට මතක් වෙයි. එබැවින් කවර හෙයකින්වත් ආපසු එහි යාම සුදුසු නැත. ඔහුට සුවසේ නින්ද යනු ඇතැයි විරාජ් සිතයි.

“එක්කො ඕන්නෑ සාලින්දයියා අපි විසිරෙමු. එයාට අද නින්ද යයි. පහු ගිය දවස් ටිකේ අඩියකටවත් සෙට් වුණේ නෑනෙ මෙයා. නැත්තං අපි දුකට සැපට කොච්චර අඩි ගහල ඇද්ද. කවදාවත් කොහෙදිවත් ඔහොම වෙලා නෑ. දිව්‍යමය සනීපෙක තමා ඉන්න ආස..වචනයක් එහෙ මෙහෙ වුණත් බදාගෙන තමා යන්නෙ. ඒත් හදිසියෙම අම්මා නැති වුණ එක තමා දරා ගන්ඩ බැරි වුණේ බොසාට.”

විරාජ් එසේ කියන්නේ නිගූගේ කෝපාවිෂ්ට බොළඳ හැසිරීම තමා කළ වරදක් මෙන් තමා පිට ම පටවා ගෙන සමාව ඉල්ලන්නාක් මෙනි.

” පිස්සුද විරාජයා අපි ඌව බලාගන්නෝන.. මං ඒකයි කිව්වෙ ගිහිං බලමු කියලා. මං හිතන්නෙ හරියට කෑමයි නින්දයි නැතුව වීක් වුණා..ඇනර්ජි නෑ.. ඩිප්‍රෙස් වුණා..ඒකයි.. අද නින්දක් දායි..අපි හෙට කතා කරමු.. නැගහන් විරාජයා මට අද රියැදුරෙක් ඉන්නවා.. මට උඹවත් දාන් ගිහෑකි.. ”

” නෑ නෑ, සාලින්දයියා ඔයා ඔහෙන් යන්න.. මං අද ෆිෆ්ත් ලේන් නවතිනවා.. වැඩ කන්දරාවක් තියෙනවා ප්ලෑන් කරන්න. උදෙන්ම වැඩේට බැස්සැහැකි.. මං ටැක්සියක් දාගන්නම්”

විරාජයාට සමු දී රථයට නඟින සාලින්ද පානදුර බලා පිටත් වෙයි. අතරමග දිගටම නිදි කිරයි. නි‍ෙවසට පැමිණ ඇඳට වැටී සිදු වූ දේ සිතන විට සාලින්දට කාංචනා සිහිපත් වෙයි. කාංචනා සහ නිගූ අතර ඇති වූ ප්‍රේම කලිකලහයන් සමත යකට පත් කරන්නට පේරාදෙණි ගිය අවස්ථා ඕනෑ තරම් තිබෙයි. එහෙත් කිසිදා නිගූ අද මෙන් වියරුවෙන් හැසිරී නැත. විටෙක ඔහුගේ නිශ්ශබ්දතාවම වියරුවකි. කාංචනාගේ හඬෙහි නොව වචනාර්ථවල ඇත්තේ වියරුවකි.

කාංචනා සමඟ කතා කළ යුතු යැයි සාලින්දට සිතෙයි. මේ රෑ කාංචනා ඇහැරවීම සුදුසුදැයි කිහිපවිටක්ම සිතයි. එහෙත් සැණෙකින් නිගූ කහතුඩුවට යන්නට ඇතැයි යන සිතිවිලි මාත්‍රයක් සාලින්දගේ සිතට නැගෙයි. වෙලාව ගැන නොසිතාම සාලින්ද කාංචනාට ඇමතුමක් ගනියි. තුන්වැනි වාතාවේ නාද වන විට ඈ ඇමතුමට එයි.

” කාංචනා නංගී වෙරි සොරි මේ මාහ රෑ කරදර කළාට..නිගූ ගෙදර ආවද නිගූගේ ෆෝන් ඕෆ්..”

” අහ්.. කමක් නෑ සාලින්දයියෙ ඒකටනං.. මෙහෙනම් ආවෙ නෑ.. ආවත් රෑ නවතින්නෑනෙ අයියේ. ඔය සමහර දවස්වලට මට කෝල් කරල මං අද පුතාව ගන්නම් කියලා ඉස්කෝලෙ ළඟින් සාරව අරගෙන දෙන්න කොහෙන් හරි කාලා ළමයා ගෙදරින් බස්සලා ආපහු යනවා.. මළ ගෙදරට කලින් දවසක ඇවිත් පොත් වගයක් තෝර තෝර ඉඳලා අරං ගියා. මළ ගෙදරින් පස්සෙනම් සාරව බලන්නවත් ආවෙ නෑ.. ඒ ළමයත් ඉන්නෙ ගල්බීත වෙලා වගේ..අත්තම්මාගේ කාමරේට එබෙන එකමයි වැඩේ.. මාත් එයාට කතා කරන්න හිටියේ සාරව එක්කරං කොහෙහරි රවුමක් යන්න කියන්න.”

කාංචනා එක දිගට කියවයි. සාලින්දට අවැසි තොරතුර දැන් ඇගෙන් ලැබී හමාරයි. නිගූ කහතුඩුවේ ගෙදර ඇවිත් නැත.

තවත් කොටසකින් හමුවෙමු.

You may also like

Leave a Comment

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?