නිෙවසක් කුලියට දීම හෝ නිෙවසක් කුලියට ගැනීම යනු එක්තරා ආකාරයක ගිවිසුමක් වන අතර ඒ සඳහා නෛතික රාමුවක් ඕනෑම රටක පවතී. මේ දිනවල ශ්‍රී ලංකාව තුළ උණුසුම් වූ පුවතක් වන්නේ මෙම නෛතික රාමුව යටතට ගැනෙන නව යෝජිත නීතියක් කරළියට පැමිණ තිබීමයි. එම පනත නිවාසලාභීන් ආරක්ෂා කිරීමේ පනත හෙවත් Protection of Occupants Bill ලෙස හඳුන්වනු ලබයි. බොහෝ සිවිල් වැසියන් තුළ මේ හා සම්බන්ධ කතිකාවන් මේ දිනවල සිදුවන අතර මෙහි පවතින සැබෑ තත්ත්වය හඳුනාගැනීම අප සියලු දෙනාටම වැදගත් වන්නේය. යම් හෙයකින් නුදුරේදීම මෙම පනත ක්‍රියාත්මක වුවහොත් ඒ පිළිබඳ කල්තියා දැන සිටීම කුලී නිෙවාසවල පදිංචි ඔබටත්, කුලී නිවසක හිමිකාරිත්වය සතු ඔබටත්, කුලී නිෙවසකට යාමට බලාපොරොත්තු වන ඔබටත් ඉතා වැදගත් වනු ඇත.
මොකක්ද මේ අලුතින් ආපු යෝජිත කුලී නීතිය?
මේ දිනවල වැඩි වශයෙන් සාකච්ඡා වන මෙම නව යෝජිත කුලී නීතිය හඳුන්වන්නේ ‘නිවාස ලාභීන් ආරක්ෂා කිරීමේ පනත’ ලෙසයි. මෙය ඉංග්‍රීසි භාෂාවෙන් Protection of Occupants Bill 2025 ලෙස හඳුන්වන අතර මෙය මේ වන විටත් සම්මත වී නොමැති, විවාදයේ පවතින පනතකි. 1972 අංක 07 දරන ගෙවල් කුලී පනත අවලංගු කර නව නීතියක් ලෙස පැමිණෙන මෙම නීතියට යටත් වන්නේ නීත්‍යනුකූල පදිංචිකරුවන් සහ මාස තුනක් නොකඩවා, නොකැළැල්ව, බාධාවකින් තොරව පදිංචි වූවන්ය. මූලික වශයෙන් මෙම පනත ගෙනඒමේ බලාපොරොත්තුව වන්නේ නිවෙස් හිමියා සහ කුලී පදනම මත රැඳී සිටින්නා අතර පවතින සම්බන්ධතාව ආරක්ෂා කිරීමයි. එනම් මෙම පාර්ශ්ව දෙක අතර නෛතික බැඳීමක් හා එකඟතාවක් ගෙන ඒමයි.
නිවාසලාභීන් ආරක්ෂා කිරීමේ පනතේ අරමුණු මොනවාද?
මෙහි ඇති ප්‍රධානම අරමුණ වන්නේ නිවෙස් හිමියාගෙන් නිවෙස් පදිංචිකරුවා ආරක්ෂා කිරීමයි. මෙම නව නීතිමය තත්ත්වය තුළ නිෙවසක, කාමරයක හෝ ගොඩනැඟිල්ලක නිරවුල්ව අඛණ්ඩව මාස තුනකට වැඩි කාලයක් පදිංචිව සිටියේ නම්, අධිකරණ ආඥාවක් මත මිස ගෙහිමියාට එම ස්ථානයෙන් කුලී පදිංචිකරුවා නෙරපිය නොහැකිය.
එමෙන්ම ඔබ බදු පදනම මත හෝ කුලී පදනම මත රැඳී සිටින පරිශ්‍රයක ගිවිසුමක් යටතේ සිටියදී, පරිශ්‍රයේ ගෙහිමියා විසින් හෝ ගෙහිමියා විසින් බලය පවරන වෙනත් තැනැත්තෙකු හරහා පදිංචි වී සිටින පුද්ගලයාට එතෙක් සපයන ලද පහසුකමක් හෝ අත්‍යවශ්‍ය සැපයුමක් හෝ උපයෝගිතා සේවාවක් නැවැත්වීමට නොහැකිය. සාමාන්‍යයෙන් නිෙවසක් තුළ කුලියට ජීවත්වීමේදී නිවෙස් හිමියා සහ කුලී පදිංචිකරුවා අතර ගිවිසුමක් ඇති කර ගනියි. මෙම ගිවිසුම තුළ සිටියදී හදිසියේ නිවෙස් හිමිකරු කුලීකරුට අඩන්තේට්ටම් කළහොත් හෝ නිෙවසේ ජලය, විදුලිය වැනි උපයෝගිතා සේවාවන් කපා දැමුවහොත්, ඒ පිළිබඳව කුලී පදිංචිකරුවා අධිකරණය වෙත පැමිණිලි කළ හොත් දින 14ක් තුළ අධිකරණයට කරුණු පැහැදිලි කළ යුතුය. මෙම හේතු සාධක මත නිවෙස් හිමිකරු වැරදිකරු වුවහොත් රුපියල් ලක්ෂ පහක මුදලක් හෝ වසරක සිරදඬුවමක්, නැත්නම් එම දඬුවම් දෙකටම යටත් විය හැකිය. මෙහි ඇති තවත් පැතිකඩක් වන්නේ මෙම නව පනත තුළ නිවෙස් හිමියා සහ කුලීකරුවන් අතර ඇතිවන සාමාන්‍ය ගිවිසුම් ආරවුල් සිවිල් වරදක් යටතට නොගෙන ‘අපරාධ වරදක්’ ලෙස පත් කිරීමයි.
නව නීතියේ ඇති සුවිශේෂී කරුණු මොනවාද?
මෙම නව පනත මඟින් 1972 අංක 07 දරන ගෙවල් කුලී පනත අහෝසි කර නව පනත ස්ථාපනය කිරීම සිදු කරයි. ඒ අනුව නව පනත තුළ සාමාන්‍ය ගෙවල් කුලී ගිවිසුමක් සම්බන්ධයෙන් ඇතිවන ආරවුල් අපරාධ වරදක් බවට පත් කර තිබේ. සාමාන්‍යයෙන් මෙවැනි ආරවුල් සිවිල් වරදක් ලෙස සැලකූ අතර, මෙම නව පනත මඟින් එය අපරාධ වරදක් බවට පත් කිරීම සුවිශේෂී වේ.
කලින් තිබූ නීතියට වඩා නව නීතිය වෙනස් වන්නේ කොහොමද?
මෙම නව නීති පනතට අනුව කුලී පදනම මත සිටින්නන් ගෙවල් කුලී, ජල බිල්පත්, බදු හෝ මහල් නිවාස (Apartments) වල නම් කළමනාකරණ ගාස්තු (Condominium Management Fees) නොගෙවූ විට පවා, නිවාස හිමිකරුට පදිංචිකරුවන් වෙත ලබා දෙන පහසුකම් කප්පාදු කළ නොහැකිය. එම පහසුකම් නොකඩවා ලබා දිය යුතුය. ඒ අනුව මෙය අයත් වන්නේ නීත්‍යනුකූල ගිවිසුමකට අනුව පදිංචි වූ කුලීකරුවන්ට සහ මාස තුනක් තුළ නොකඩවා පදිංචිව සිටින පුද්ගලයන්ටය.
නව නීතියට අනුව නිවෙස් හිමිකරුට අසාධාරණයක් වනවාද?
මෙම පනත අනුව දෙපාර්ශ්වයටම නීතිවිරෝධි ලෙස කටයුතු කළ නොහැකිය. ගිවිසුම්ගත වූ විට අයිතිකරු හට විදුලි කප්පාදුව, ජල කප්පාදුව හෝ අඩන්තේට්ටම් කිරීම කළ නොහැකිය. මෙහිදී දීර්ඝ බදු ගිවිසුම් පවතින විට පවා නිවෙස් කුලීකරුවන්ට හානි කිරීමට නිවෙස් හිමියන්ට අවස්ථාවක් නැත.
එමෙන්ම මීට පෙර නිවාස කුලී සම්බන්ධයෙන් පනවා තිබූ Recovery of Possession of Premises Given on Lease Act, No. 1 of 2023 අභියෝගයට ලක් කිරීමට මෙම නව නීතියට හැකියාවක් පවතී. 2023 පනත තුළ ඉඩම් හිමියා හා කුලී පදිංචිකරුවා අතර මානුෂීය සම්බන්ධක් ගොඩනැඟීම සිදු කරයි. එනම් දෙපාර්ශ්වය අතර මානුෂීය ඒකාග්‍රතාවක් ඇති කරයි. එය සාධනීය තත්ත්වයකි. නමුත් මෙම නව නීතිය තුළින් එම තත්ත්වයටද අභියෝග කරන අන්දමක් පෙන්නුම් කරයි.
තවදුරටත් මෙම නීතිය පනවා නැති හෙයින් ජනතාවට මේ පිළිබඳව වාද විවාද කළ හැකිය. විශේෂයෙන්ම මහල් නිවාස හිමිකරුවන්ට එම ආයතන නඩත්තු කිරීම සඳහා විශාල මුදලක් වැය වන හෙයින්, එක් අතකින් එවැනි පාර්ශ්ව වෙත යම් අගතිසහගත තත්ත්වයක් ඇති වන බවක් පෙන්නුම් කරයි. නමුත් මෙම නව පනත හඳුන්වා දී ඇත්තේ කුලී නිවාස පදිංචිකරුවන් හා හිමිකරුවන් අතර ඇතිවන ආරවුල් අවම කර ගැනීම සඳහා වන නිසා එම තත්ත්වය එක් අතකින් සාධනීය තත්ත්වයක් ලෙස හැඳින්විය හැකිය.
TEXT – ජීවන්ත ගුණවර්ධන
