Monday, February 16, 2026
Epaper
Home විශේෂාංගමම හදපු ලස්සනම රෝස මල මගේ දුවයි

මම හදපු ලස්සනම රෝස මල මගේ දුවයි

උදාරි වර්ණකුලසූරිය

by Shanaka Lakehouse

වර්තමාන රංගන ක්ෂේත්‍රය තුළ ඉහළින්ම වැජඹෙන, විශේෂයෙන්ම රිදී තිරය තුළත් ඒ වගේම පුංචි තිරය තුළත් තම ආධිපත්‍යය පතුරුවාගෙන සිටින වර්තමාන පරපුරේ දක්ෂ මෙන්ම ජනප්‍රිය රංගන ශිල්පිනියක ලෙස උදාරි වර්ණකුලසූරිය හඳුන්වා දිය හැකිය. මෑතකාලීනව විවිධ නිර්මාණවලට තම රංගන දායකත්වය ලබා දෙමින් ප්‍රේක්ෂකයාට මතකහිටින නිර්මාණ රැසක් දායාද කළ ඇය සමඟ කළ කතාබහයි මේ.

කොහොමද මේ දිනවල ඔබේ ජීවිතය ගතවෙන්නේ?

පසුගිය දෙසැම්බර් නිවාඩුවට දුවත් එක්ක සිංගප්පූරුවේ හිටියේ. ඇයටත් පාසල් නිවාඩු නිසා අපි විදේශගත වුණා. දැන් ආපහු ලංකාවට ඇවිත් මගේ වෘත්තීය වැඩකටයුතු කිහිපයක් සමඟ නිවාඩු පාඩුවේ කාලය ගත කරනවා.

ඔබ රංගනයෙන් දායක වන අලුත්ම චිත්‍රපටය ‘The Wife’ තිරගත වීම ආරම්භ කළා නේද?

ඔව්, පෙබරවාරි 13 වැනිදා, ඒ කියන්නේ ආදරවන්තයන්ගේ දිනයට කලින් දවසේ තමයි තිරගත වීම ආරම්භ කළේ. ශමීර නාඔටුන්න මහත්මයා තමයි මෙහි අධ්‍යක්ෂවරයා. එහි ‘වයිෆ්’ගේ චරිතයෙන් තමයි මම ප්‍රේක්ෂකයන් හමුවට එන්නේ. ස්වාමියාගේ චරිතය කරන්නේ හේමාල් රණසිංහ. මේක ෆැන්ටසි චිත්‍රපටයක් නෙවෙයි. කෙටියෙන් කියනවා නම් අප හැමෝගෙම ජීවිතවල තියෙන යම් යම් සැබෑ සිදුවීම් මේ චිත්‍රපටය තුළ අන්තර්ගතයි.

‘The Wife’ චිත්‍රපටයට සම්බන්ධ වීමට ඔබට අවස්ථාව ලැබුණේ කොහොමද?

ශමීර නාඔටුන්න මහත්මයා මට මේ සඳහා ආරාධනා කළා. මම මීට පෙර ඔහුගේ ‘සිහින නෙළුම් මල්’ වගේම ‘මෝටර් බයිසිකල්’ චිත්‍රපට නරඹලා තිබුණා. ඉතින් ඔහු නවක අධ්‍යක්ෂවරුන්ට වගේම පරිණත අධ්‍යක්ෂවරුන්ටත් ලොකු අභියෝගයක් වෙයි කියලා මම විශ්වාස කරනවා. ඔහු ‘The Wife’ හරහා මගේ රංගන පරාසයේ උපරිමය ලබා ගත්තා. ඒ වගේම නිෂ්පාදක වරුණ අරඹගේ මහත්මයා අපට මේ නිර්මාණය වෙනුවෙන් අවශ්‍ය සියලුම පහසුකම් උපරිමයෙන් ලබා දුන්නා.

ඔබ හේමාල් රණසිංහ සමඟ චිත්‍රපට කිහිපයකම රංගනයේ යෙදී තිබෙනවා නේද?

ඔව්, ‘ආදරණීය කතාවක්’, ‘ක්ෂීර සාගරය කැලඹිණ’, ‘දේවි කුසුමාසන’ වගේම ‘The Wife’ කියන චිත්‍රපට හතරේම මම රඟපෑවේ හේමාල් එක්කයි.

‘The Wife’ චිත්‍රපටයේදී හේමාල්ගෙන් ලැබුණු සහයෝගය කොහොමද?

ඇත්තටම සිනමා ක්ෂේත්‍රයේ මම වැඩිපුරම රඟපාලා තියෙන්නේ හේමාල් එක්ක. රඟපෑමේදී මට ඔහුව අමුතුවෙන් භඳුනාගන්න අවශ්‍ය නැහැ. ඔහුගේ රංගන විලාසය සහ ඔහු බලාපොරොත්තු වන දේ මම වෘත්තීය මට්ටමින් හොඳින් දන්නවා. ඔහු ඉතා සහයෝගී රංගන ශිල්පියෙක්. අපේ ඒ අන්‍යෝන්‍ය අවබෝධය නිසා මේ නිර්මාණයත් සාර්ථක වුණා කියලා මම හිතනවා.

‘The Wife’ චිත්‍රපටයත් ප්‍රේක්ෂකයන් ආදරයෙන් වැලඳ ගනීවිද?

අනිවාර්යයෙන්ම. මෙය මතකයේ රැඳෙන චිත්‍රපටයක් වේවි. ආදරය, විරහව, කේන්තිය වගේ පවුල් ජීවිතයක තිබිය හැකි සෑම හැඟීමකම සංකලනයක් මෙහි තියෙනවා. හැමෝගෙම ජීවිතවලට එබිකම් කරන චිත්‍රපටයක් නිසා ප්‍රේක්ෂකයන් මෙය වැලඳ ගනීවි.

මෙහි රූගත කිරීම් අතරතුර වුණු අමතක නොවන සිදුවීම් මොනවාද?

එක දර්ශනයකදී ත්‍රීවීල් එකක් ඇතුළේ හේමාල් සහ මම දුරකනනයක මුරපදයක් (Password) සොයන්න රණ්ඩු කරන දර්ශනයක් තිබුණා. ඒ වෙලාවේ ඇත්තටම මගේ නියපොත්තක් ගැලවිලා පොඩි තුවාලයක් වුණා. ඒක අමතක වෙන්නේ නැහැ.

ළඟදීම ටෙලිනාට්‍යයකින් ඔබව දැකගන්න ලැබෙයිද?

ඔව්, ධනංජය සිරිවර්ධනගේ ‘නම්බර් නයින්’ වැනි ඔහුගේම ටෙලිනාට්‍යයකින් මම පුංචි තිරයට එනවා. ධනංජය අයියා ලියන පිටපත් ඉතා ප්‍රබලයි. ඒ නිසා එයත් ප්‍රේක්ෂකයන් අතර කතාබහට ලක්වන නිර්මාණයක් වේවි.

ඔබේ රංගන කටයුතුවලට පවුලෙන් ලැබෙන සහයෝගය මොන වගේද?

මම වයස අවුරුදු 19 සිට මේ ක්ෂේත්‍රයේ ඉන්නේ ඔවුන්ගේ ආශීර්වාදය නිසයි. බිරියක්, මවක් සහ දියණියක් ලෙස මට ඔවුන්ගෙන් කිසිම බලපෑමක් නැහැ. මම තනි තීරණ ගන්න කෙනෙක් නෙවෙයි; පවුලේ හැමෝගෙම අදහස්වලට ගරු කරනවා. ඔවුන්ගේ සහයෝගය නැත්නම් අද උදාරි වර්ණකුලසූරිය කියලා කෙනෙක් නැහැ.

ඔබ දැන් ලොකු දියණියකගේ මවක්. ඇය ගැන මොකද හිතෙන්නේ?

මට ඇය ගැන ලොකු ආඩම්බරයක් තියෙනවා. ඇය අධ්‍යාපනයට වගේම මානසිකව සහ ශාරීරිකවත් ඉතා නීරෝගි දරුවෙක්. කෙටියෙන් කිව්වොත් මම හරිම ලස්සන රෝස මලක් හදලා තියෙනවා කියලා මට දැනෙනවා.

මේ 2026 වසරේදී ඔබව දැකගත හැකි අනෙකුත් නිර්මාණ මොනවාද?

‘The Wife’ චිත්‍රපටයට අමතරව තවත් චිත්‍රපට තුනක් මේ වසරේ එන්න නියමිතයි. දිවංගත ජැක්සන් ඇන්තනි මහත්මයාගේ ‘එකගෙයි සොකරි’ වගේම, ඔහුගේ අවසාන අධ්‍යක්ෂණය වුණු ‘සම්බුලා’ (ඉංග්‍රීසි) සහ ‘දේවි සම්බුලා’ (සිංහල) චිත්‍රපට මේ වසරේ තිරගත වේවි. ඒ වගේම ඉදිරියේදී රූගත කිරීමට නියමිත තවත් චිත්‍රපට කිහිපයක් තියෙනවා.

 

TEXT – ඉමේෂි මන්දිරා ජයරත්න

You may also like

Leave a Comment

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?