ඔහු ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ හිටපු වැඩසටහන් අධ්‍යක්ෂවරයෙකි. 1974 වසරේ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ මඩොල් දූව චිත්‍රපටයේ ළමා නළුවෙක් ලෙස කලා ලොවට පිවිසෙන ඔහු චිත්‍රපට, වේදිකා නාට්‍ය රැසක වේශ නිරූපණ ශිල්පියෙක්, ටෙලිනාට්‍ය, වේදිකා නාට්‍ය සහ චිත්‍රපට අධ්‍යක්ෂවරයෙක්, රූපවාහිනී වැඩසටහන් අධ්‍යක්ෂවරයෙක්, නාට්‍ය සංගීත අධ්‍යක්ෂවරයෙක්, පුවත්පත් කලාවේදියෙක් ලෙස සිය වෘත්තිය භූමිකාවට අංශ රැසක් ඔස්සේ පණ පෙව්වේය. ඔහු ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්, ආචාර්ය තිස්ස අබේසේකර, ආචාර්ය සුමිත්‍රා පීරිස්, මහාචාර්ය සුනිල් ආරියරත්න, ධම්ම ජාගොඩ, ටයිටස් තොටවත්ත, බන්දුල විතානගේ වැනි ප්‍රවීණයන් අධ්‍යක්ෂණය කළ චිත්‍රපට සහ ටෙලි නාට්‍ය ගණනාවක සහාය අධ්‍යක්ෂ ලෙස ද කටයුතු කර ඇත.
ඔහුව අපට අමතක නොවන්නේ මහමෙර පාමුල, එහා ඉවුර, දොළොස් මහේ අපි, දෑකැති මුවහත, බෝගල සවුන්දිරිස් වැනි ටෙලි නාට්‍ය රැසක් ද අධ්‍යක්ෂණය කළ විශිෂ්ටයකු වූ නිසාවෙනි. එමෙන්ම දහහත් වසරක් පුරා ඔහු ‘සිත නිවන කතා’ ඒකාංගික පෝය ටෙලි නාට්‍යයෙහි ද අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළේය. අනතුරුව 2004 වසරේදී ඔහු ‘නිල් දිය යහන’ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරමින් සිනමා අධ්‍යක්ෂණයට ද අත්පොත් තැබුවේය. එයින් ද නොනැවතුණු හෙතෙම අතිශය ජනාදරයට පත් වූ වෙළෙඳ දැන්වීම් රැසක් නිර්මාණයට දායක වීම විශේෂත්වයකි. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවට අනුබද්ධ රජයේ චිත්‍රපට අංශයේ ප්‍රධාන අධ්‍යක්ෂ ධුරය හෙබවූ ඔහු වසර 35ක සේවයෙන් පසුව ජාතික රූපවාහිනී සංස්ථාවෙන් සමුගන්නා විට එහි අධ්‍යක්ෂ (විවිධ වැඩසටහන්) ධූරය දරමින් සිටියේය.
ඒ අනුව කලා ලොව අංශ රැසකින් රටේ නමක් දිනා ගත් අප කවුරුත් හඳුනන දයාරත්න රටගෙදර නම් ඔහු සෙනෙහබර කුළුණු ගුණැති ආදරණීය මවකගේ දයාබර පුතෙක් බවද කිව මනාය. මේ ඔහු සිය මව ගැන ‘තරුණී’ අම්මාවරුනේ විශේෂාංගයට දැක්වූ අදහස්ය.
“මගේ අම්මාගේ නම කේ.ඒ.ඩී. නන්දා සෝමලතා. ඇයට දැන් වයස අවුරුදු 93ක්. මගේ අම්මා උපන්නේ ඇල්පිටියේ අවිත්තාවේ. මගේ තාත්තා නුවර හඟුරන්කෙත ඉපදිලා රාජකාරි කළේ ග්‍රෑන්ඩ්පාස්වල. අපේ අම්මාට තාත්තාව මුණගැහෙන්නේ කොළඹදීයි. එහිදී ඇති වූ ප්‍රේම සබඳතාවකින් පස්සේ ඒ දෙන්නා කසාද බඳිනවා. මට නංගිලා දෙදෙනෙක් සහ මල්ලිලා තිදෙනෙක් ඉන්නවා. අපි මැද පන්තියේ මිනිස්සු. ඒත් පුංචි කාලේ අපි කවදාවත්ම ලොකු දුකක් කරදරයක් වින්දේ නෑ. මගේ මවුපියන් ඒ තරමටම අපේ උවමනා එපාකම් ගැන සොයා බැලුවා. ඒ වගේම එදා ඉඳන්ම මගේ මවුපියන් කෙරෙහි මට තිබුණේ ලොකු ලැදියාවක්. ඉතින් එදා පටන් මගේ ළඟින්ම උන්නු නිසාමදෝ ඒ අතරින් මට වැඩි ළැදියාවක් තිබුණේ මගේ අම්මාටයි.
අපේ අම්මා ගොඩාක් සැර පරුෂ ගැහැනියක් නෙවෙයි. ඇය බොහොම අහිංසකයි. ඇය අනෙක් සහෝදර සහෝදරියන්ට වඩා මට විශේෂ ළෙන්ගතුකමක් තිබුණා යැයි මා විශ්වාස කරනවා. මගේ විවාහ ජීවිතය කඩාකප්පල් වෙද්දී පවා ඇය මා එක්ක මට හයියක් වෙමින් ජීවත් වුණු බව කිව යුතුයි. ඉතින් මගේ අම්මා බොහොම සුන්දර අදහස් තිබුණු කෙනෙක්. ඒ ගැන මට එදාටත් වඩා වැටහෙන්නේ අදයි. ඇත්තටම මාව කලාවට සම්බන්ධ කරන්නට ඇයට උවමනාවක් හෝ ශක්තියක් තිබුණේ නෑ. අපේ පවුලේ කලාවට සම්බන්ධ වූවන් කිසිවෙක් සිටියෙත් නෑ. එහෙත් මං කලාවට සම්බන්ධ වෙද්දී අම්මාගෙන් කිසිදු විරෝධයක් එල්ල වුණෙත් නෑ. ඇයට ඒ ගැන හැමතිස්සේම තිබුණේ ධනාත්මක ප්‍රතිචාරයක්.”
දයාරත්න රටගෙදරයන්ගේ සාර්ථකත්වය පිටුපස නිබඳවම සෙවණැල්ලක් ලෙස සිටියේ සිය මව බව ඔහු පවසා සිටියේ මේ ආකාරයෙනි.
“මගේ සාර්ථකත්වය පිටුපස නිබඳවම සිටියේ මගේ අම්මා. අම්මා බොහොම නිහතමානී චරිතයක්. ඒ වගේම අප්පච්චි මෙලොවින් සමුගන්නේ එක්දහස් නවසිය අසූව වසරේදී. අපේ අප්පච්චියි අම්මයි බොහෝම ආදරයෙන් සිටි යුවළක්. අප්පච්චි නැති වෙන්නේ හදිසි අනතුරකින්. අම්මා වඩාත් දුක් වුණු දවස වුණේ එදා. ඉතින් එදා පටන් අද දක්වාම මගේ මව අපි සියලු දෙනාව ආදරයෙන් රැකබලාගෙන අප සමඟ සිටියා. අප්පච්චි නැති වුණාට පස්සේ වුණත් ඇය අපට අගෞරවයක් වන දෙයක් කළේ නෑ. ඇත්තටම මගේ අම්මා ගොඩක් ලස්සන පින්වන්ත ගැහැනියක්.”
ඔහුගේ මව සිය කලා ජීවිතය ගොඩනඟා ගැනීමට ශක්තියක් වූ ආකාරය ගැන රටගෙදරයන් මෙසේ පැහැදිලි කළේය.
“මට කලාවට එන්න ආසාවක් තිබුණාට ඒ සඳහා මාර්ගයක් තිබුණේ නෑ. දැන් කාලේ වගේ ඉස්සර, කලාවට පිවිසෙන්නට පහසු මාර්ග තිබුණෙත් නෑ. මට ඒ සඳහා මාර්ගය විවර කළේ උපාලි පෙරේරා මහතායි. ඔහු ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් අධ්‍යක්ෂණය කළ මඩොල් දූව චිත්‍රපටයේ සහාය අධ්‍යක්ෂ ලෙස කටයුතු කළා. මට මඩොල් දූවේ ළමා චරිතයක් ලැබුණේ ඒ මුණගැසීම නිසායි. ඉතින් එය සැල වූ විගස මං උපාලි මහත්තයාව හමුවන්නට කිහිප වතාවක්ම ගියා. ඒ ගමනට මා සමඟ බොහෝ විට එක් වුණේ මගේ ආච්චි අම්මා හෝ අම්මායි. ඉතින් මගේ අම්මා වගේම මගේ ආච්චි අම්මා වන ඩී.එස්. මැගී නෝනාත් මගේ කලා ජීවිතය සාර්ථක කරගන්නට වඩාත් ඉවහල් වුණා. ඒ නිසා මගේ කලා දිවියේ ජයග්‍රහණ ගැන කතා කරද්දී ඇයවත් මතක් නොකර බෑ.”
ටෙලි නාට්‍ය අධ්‍යක්ෂවරයෙක් ලෙස ස්වකීය නිර්මාණවලට සිය මවගේ චරිතය ආභාසය වූ ආකාරය ගැන රටගෙදර පැහැදිලි කළේ මේ ආකාරයෙනි.
“ඇත්තටම වසර දහහතකට අධික කාලයක් මං සිත නිවන කතා ඒකාංගික ටෙලි නාට්‍ය මාලාව කරද්දී අම්මාගේ චරිත රැසක් මා විසින් නිර්මාණය කළා. ඇත්තටම ඒ චරිත නිර්මාණයේදී මගේ අම්මා වගේම මගේ නැන්දම්මාගේ මව් ගුණාංග ඒවාට බොහෝ සේ ඉවහල් වුණා. මගේ බිරිඳ මා අත්හැර ගියාට පස්සේ මගේ දරුවන් රැකබලා ගත්තේ මගේ නැන්දම්මා විසින්. ඉතින් ඇය කොතරම් ශ්‍රේෂ්ඨ මවක්ද? ඇයගේ නම රංජනී ඇල්පිටිය. ඉතින් මගේ අම්මාගේ වගේම නැන්දම්මාගේ ගුණාංග ඒ කතාවල අම්මාගේ චරිතවලට මං උකහා ගත්තා. හොඳ අම්මා කෙනෙක්ගේ චරිත නිර්මාණය කරද්දී ඒ චරිත දෙකේ ආභාසය නිසැකවම ඊට දායක වුණා කිව්වොත් සියයට සියයක්ම නිවැරදියි.”
ජීවිතයේ අභියෝග රැසකට මුහුණ දුන් රටගෙදරට ඒවාට මුහුණ දීමට සිය මවගෙන් හිමි වූ ශක්තිය අපමණෙකි. මේ ඒ ගැන ඔහුගේ අදහසයි.
“මං ජීවිතයේ ප්‍රශ්න රැසකට මුහුණ දුන් අයෙක්. ඒ හැම ප්‍රශ්නයකදීම අම්මා මගේ ළඟින්ම හිටියා. ඒ ප්‍රශ්නවලට සාමකාමීව මුහුණ දෙන්නට ඇය නිබඳවම ශක්තියක් වුණා. ඉතින් අද අම්මාව නාවන්නේ කවන්නේ පොවන්නේ ඇගේ කටයුතු පුද්ගලිකවම සොයා බලන්නේ මං. ඉතින් ඊයේ පෙරේදා දවසක අම්මාව නාවන කොට ‘පුතාට තමයි මං ඉස්සෙල්ලාම කිරි දුන්නේ’ යනුවෙන් අම්මා පැවසුවා. ඉතින් ඒ වදන් හරිම ආදරණීයයි. ඇය දැනුත් සිංදු කියනවා. හරිම විනෝදයෙන් කාලය ගත කරනවා. මගේ නංගිලාත් අම්මාට ගොඩාක් ආදරෙයි. ඒත් අම්මා වඩාත්ම කැමැති මා එක්ක ජීවත් වෙන්නයි. ඉතින් අම්මාගේ හැම යුතුකමක්ම මං නොපිරිහෙලා ඉටු කරනවා. මං නිදා ගනිද්දිත් අම්මාව බදාගෙන නිදා ගන්නේ. එසේ නොවුණොත් අම්මාට නින්ද යන්නේ නෑ. ඇත්තටම එහිදී අම්මාගෙන් ලබන උණුහුම මං කාගෙන්වත් ලබලා නෑ. එහි තිබෙන්නේ වෙනස්ම උණුහුමක්. එය බොහෝම ආදරණීය සහ ආරක්ෂිත බවක් තිබෙනවා යැයි මා විශ්වාස කරනවා. රෑට නින්දේදී අම්මා ඇහැරෙන වාර ගණන අනන්තයි. ඉතින් ඒ හැම වෙලාවකම මාත් අවදි වෙනවා. ඒ හැම දෙයක්ම මගේ ජීවිතයට දැන් පුරුදු වෙලා. ඒවා කරදර විදිහට මං දකින්නේ නෑ.
මට ළං වුණු බොහෝ කෙනෙක් මොනයම් හෝ හේතුවක් නිසා හෝ අහිමි වුණා. ඉතින් අවසානයේ හැම විටම මගේ තනියට මං ළඟ ඉතුරු වුණේ මගේ අම්මා පමණයි. මගේ දියණිවරුන් තිදෙනාත් මා ගැන නිතරම සොයා බලන බව කිව යුතුයි. ඇත්තටම අම්මාව බලා ගැනීමට මට මගේ සහෝදර සහෝදරියන් ද ලබා දෙන්නේ විශාල සහයෝගයක්. ඒ වගේම අම්මාව බලා ගැනීමට මට සහාය වන ටී.එච්. ප්‍රේමකුමාර් මා ආදරයෙන් සිහිපත් කරනවා. ඉතින් අදටත් මං ඇයව රැකබලාගන්නේ පුංචි බබෙක් බලා ගන්නවා වගේ. මං කවදාවත්ම දැනුවත්ව අම්මාට දුකක් දීලා නෑ. ඒ ගැන මං ගොඩාක් සතුටු වෙනවා. ඇත්තටම මගේ ජීවිතයේ අම්මා වෙනුවෙන් කරන ඉහළම ප්‍රාර්ථනාව මේ භවයෙන් පස්සේ ඊළඟ ආත්මෙත් මගේ අම්මා මගේම අම්මා වෙලා ඉපදේවා කියන එකයි.”
TEXT – පසිඳු මිහිරාන් රැටියල
PIX BY – ලින්කන් නිරාත් ප්‍රනාන්දු
