වර්තමාන සමාජය මුහුණ දෙන ප්‍රබලතම සෞඛ්‍ය අභියෝගය වන්නේ දියවැඩියාව සහ අධික රුධිර පීඩනය වැනි බෝ නොවන රෝග ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වීමයි. පවුලක සෞඛ්‍ය සුරක්ෂිතතාව උදෙසා ගහිණියකගේ සක්‍රිය දායකත්වය සහ දැනුවත්භාවය මෙහිදී තීරණාත්මක සාධකයක් බව නොරහසකි. ආහාර රටාව, මානසික සුවය සහ දෛනික චර්යාවන් නිසි පරිදි කළමනාකරණය කිරීම තුළින් තම පවුලේ සාමාජිකයන් මෙම රෝගී තත්ත්වයන්ගෙන් මුදා ගැනීමට ඇයට මහඟු අවස්ථාවක් පවතී.
නීරෝගි පරපුරක් උදෙසා ගෘහිණියක සතු එම වගකීම හා ඒ සම්බන්ධයෙන් අනුගමනය කළ යුතු ප්‍රායෝගික සෞඛ්‍ය පුරුදු පිළිබඳව කුරුණෑගල ශික්ෂණ රෝහලේ හෙද නිලධාරිනි එස්. නිමේෂා සෙව්වන්දි මහත්මිය ගෙන එන ඉතා වැදගත් කරුණු කිහිපයක් මෙසේ ඉදිරිපත් කරමු.
අපේ දෛනික ආහාර වේල සකස් කරන ගෘහිණියක් විදිහට රසට වගේම සෞඛ්‍යයටත් හිතකර ලෙස ලුණු සහ සීනි භාවිතය අඩු කරන්නේ කොහොමද?
විශේෂයෙන්ම කෘත්‍රිම රසකාරක සහ සෝස් වර්ග වෙනුවට භාවිත කළ හැකි දේශීය ස්වාභාවික විකල්ප මොනවාද?
රුධිරයේ සීනි මට්ටම පාලනය කරන එක ප්‍රධාන කොටස් දෙකකට බෙදන්න පුළුවන්. එකක් තමයි රුධිරයට සීනි එකතු වන එක පාලනය කරන එක. අනිත් පැත්තෙන් ඒ එකතු වන සීනි දහනය කරලා වැය කරන එක. ගෘහිණියක් විදිහට ආහාර පිළියෙල කරද්දී ලුණු භාවිතය සීමා කරන එකත් තෙල් කෑම වෙනුවට තැම්බූ කෑමවලට වැඩි තැනක් දෙන එකත් හරිම වැදගත්. කෘත්‍රිම රසකාරක සහ සෝස් වර්ග වෙනුවට ස්වාභාවික දේවල් පාවිච්චි කරන්න පුළුවන්. උදාහරණයක් විදිහට සීනි වෙනුවට කිතුල් පැණි හෝ මී පැණිත් කෘත්‍රිම වර්ණක වෙනුවට කහ, නිවිති යුෂ හෝ රතු අල යුෂත් ගන්න පුළුවන්. ඒ වගේම කෘත්‍රිම බීම වෙනුවට බෙලිමල්, රණවරා වගේ දේශීය පාන වර්ගත් පිරිසුදු ජලයත් පාවිච්චි කිරීම ගොඩක් ගුණදායකයි.
දියවැඩියාව සහ අධික රුධිර පීඩනය ඇති බව බොහෝ දෙනෙක් දැනගන්නේ රෝගය උත්සන්න වුණාට පස්සෙයි. කාන්තාවන් නිතරම නොසලකා හරින නමුත් මෙම රෝගවල මූලික ලක්ෂණ විය හැකි තත්ත්වයන් මොනවාද?
දියවැඩියාවේ රෝග ලක්ෂණ විදිහට අධික පිපාසය, නිතර නිතර මූත්‍රා පිටවීම, අධික බඩගින්න වගේම ඉක්මනින් මහන්සි ගතියක් දැනීම පෙන්වලා දෙන්න පුළුවන්. ශරීරයේ බර අඩු වීම, තුවාල සුව වෙන්න කල් ගත වීම, පෙනීම බොඳ වීම සහ අත් පා හිරිවැටීමත් වෙන්න පුළුවන්. ඒ වගේම රුධිර පීඩනය වැඩි වුණාම ක්ලාන්තය, කරකැවිල්ල, හුස්ම ගැනීමේ අපහසුව, වමනය, පපුවේ වේදනාව සහ තදබල හිසරදය වගේ රෝග ලක්ෂණ මතු වෙනවා.
නිවසේදීම දියවැඩියාව සහ අධික රුධිර පීඩනය පරීක්ෂා කරද්දී ගොඩක් අය දත්ත සටහන් කරගන්නේ වැරදි විදිහටයි. උදාහරණයක් ලෙස රුධිර පීඩනය මැනීමට පෙර විනාඩි කීයක් විවේක ගත යුතුද? සීනි මනින්න වඩාත් සුදුසු වෙලාවන් මොනවාද? මේ දත්ත වෛද්‍යවරයාට පෙන්වීම වැදගත් වන්නේ ඇයි?
නිවැරදි දත්ත ලබා ගන්න එක වෛද්‍යවරයාට රෝගය ගැන තීරණ ගන්න ගොඩක් වැදගත්. රුධිර පීඩනය මනින කොට රෝගියා හරිම විවේකීව ඉන්න වෙලාවක ඒක කරන එක තමයි වඩාත් සුදුසු. කලබල වෙලා ඉන්න වෙලාවක හෝ ඇවිදලා ආපු ගමන් මැනීමෙන් නිවැරදි අගයක් ලැබෙන්නේ නැහැ. ඒ වගේම සීනි මට්ටම පරීක්ෂා කරද්දී ප්‍රධාන ආහාර වේලකට කලින් ඒක කරන එක වඩාත් ප්‍රායෝගිකයි. හැමදාම එකම වෙලාවක මේවා මැනලා ඒ වාර්තා සටහන් කරලා තබා ගැනීම රෝග පාලනයට ලොකු උදව්වක් වෙනවා.
ගෘහිණියක් පවුලේ හැමෝම ගැන සොයා බලද්දී ඇයට තමන් ගැන බලන්න වෙලාවක් නැති වෙනවා. මානසික ආතතිය සහ නින්ද නොයාම නිසා දියවැඩියාව සහ අධික රුධිර පීඩනය පාලනය කිරීම අසීරු වන්නේ කොහොමද? එය පාලනය කරගන්න සරල ක්‍රම තිබෙනවාද?
නිසි නින්දක් ලබා ගන්න එකයි මානසික ආතතිය පාලනය කරගන්න එකයි සීනි පාලනයට ගොඩක් වැදගත්. එතකොට ශරීරයේ හෝර්මෝන ක්‍රියාකාරිත්වය හරියට සිද්ධ වෙලා සීනි මට්ටම පාලනය වෙන්න ලොකු උදව්වක් ලැබෙනවා. මේකට තියෙන සරලම ක්‍රමය තමයි ක්‍රියාශීලි ජීවන රටාවක් පවත්වා ගන්න එක. ඇවිදීම, දිවීම, පිහිනීම සහ බයිසිකල් පැදීම වගේ ව්‍යායාමවල නිරත වීමෙන් රුධිරයේ සීනි මට්ටම වගේම ශරීරයේ බරත් පාලනය කරගන්න පුළුවන්. ගෘහිණියක් විදිහට දිනකට විනාඩි 30ක් වගේ කාලයක් මේ වෙනුවෙන් වෙන් කිරීම ගොඩක් වටිනවා.
මේ රෝගී තත්ත්වයන් තියෙන පවුලේ සාමාජිකයෙකුට බඩගින්නේ ඉන්නේ නැතිව අනුභව කළ හැකි පෝෂ්‍යදායී එමෙන්ම ලේසියෙන් හදාගන්න පුළුවන් දේශීය ආහාර වර්ග මොනවාද?
බඩගින්නේ ඉන්නේ නැතිව සීනි මට්ටම පාලනය කරගන්න නම් කාබෝහයිඩ්‍රේට් සීමා කරලා ස්වාභාවික ආහාරවලට හුරු වෙන්න ඕනේ. බත් සහ පාන් වෙනුවට පෝෂ්‍යදායී දේශීය ධාන්‍ය වර්ග, එළවළු සහ පලතුරු ආහාරයට එක් කරගන්න පුළුවන්. කෘත්‍රිම රසකාරක සහ සෝස් වර්ග වෙනුවට ස්වාභාවික කුළුබඩු පාවිච්චි කරලා ගුණදායක විදිහට කෑම හදාගන්න පුළුවන්. කෘත්‍රිම පාන වර්ග වෙනුවට බෙලිමල්, රණවරා වගේ දේශීය පාන වර්ග සහ එළවළු යුෂ පාවිච්චි කිරීම පෝෂණය වගේම තෘප්තියත් ලබා දෙනවා.
මවට හෝ පියාට දියවැඩියාව සහ ප්‍රෙෂර් තිබේ නම් එය දරුවන්ට වැලඳීමේ අවදානමක් තිබෙනවාද? දරුවන් මේ රෝගවලින් ආරක්ෂා කරගැනීමට ගෘහිණියක් කුඩා කාලයේ සිටම ඔවුන්ගේ ආහාර රටාවට සහ ක්‍රියාශීලිත්වයට බලපෑම් කළ යුත්තේ කොහොමද?
දරුවන්ව ආරක්ෂා කරගන්න කුඩා කාලයේ ඉඳලම සමබල ආහාර වේලකට හුරු කරන එක ගොඩක් වැදගත්. ඒක දරුවාගේ පෝෂණයට වගේම ප්‍රතිශක්තිකරණයටත් බලපානවා. පවුල ඇතුළේ හොඳ මානසික පරිසරයක් තියෙන්න ඕනේ. මානසික ආතතිය සහ අනාරක්ෂිත බව දරුවාගේ වර්ධනයට අහිතකරයි. ඒ නිසා කුඩා කාලයේ ඉඳලම ක්‍රීඩා සහ පාරිසරික ක්‍රියාකාරකම්වලට දරුවාව යොමු කරලා ක්‍රියාශීලි දරුවෙක් විදිහට හදාගන්න ගෘහිණියකට ලොකු වගකීමක් තියෙනවා. මවට හෝ පියාට මේ රෝග තිබෙනවා නම් දරුවන්ට වැලඳීමේ ප්‍රවණතාවක් නෑ කියන්න බෑ. ඒ නිසා ගෘහිණියක් විදිහට දරුවා කුඩා කාලයේ ඉඳලම පැණි රස කෑම සහ පැණි බීමවලට හුරු නොකර ඉන්න වගබලා ගන්න ඕනේ. කෘත්‍රිම බීම වෙනුවට දේශීය පලතුරු යුෂවලට දරුවාව හුරු කරන්න පුළුවන්. ඒ වගේම දරුවාගේ ශරීරයේ බර උසට ගැළපෙන විදිහට තියෙනවාද කියලා නිතරම විමසිලිමත් වෙන්න ඕනේ. පරිගණක ක්‍රීඩා හෝ ජංගම දුරකතනවලට ඇබ්බැහි කරන්නේ නැතුව එළිමහන් ක්‍රීඩාවලට යොමු කිරීමෙන් දියවැඩියාව වගේ රෝගවලින් දරුවාව ඈත් කරලා තියන්න පුළුවන්. දරුවාට ආදරය සහ රැකවරණය දෙන ගමන්ම නීරෝගි ආහාර රටාවකට හුරු කිරීමෙන් පවුලේ පරම්පරාගත රෝග අවදානම අඩු කරන්න පුළුවන්.
TEXT – තුෂාණි රාජපක්ෂ
