මේ දිනවල ෆේස්බුක් එක පුරාම හුවමාරු වන, අම්මලා තාත්තලාගේ හිත කීරි ගැහෙන සිදුවීමක් ඔබත් දකින්න ඇති.
එක් හුරතල් දියණියක් නහය ඇතුළට දඹල ඇටයක් දාගෙන රෝහල්ගත කරනවා. ගම්පහ රෝහල් කිහිපයකින්ම උත්සාහ කළත් අසාර්ථක වූ තැන, දරුවා කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලට (LRH) ගෙන එනවා. එතැනදී දරුවාගේ නහයෙන් දඹල ඇටයක් එළියට ගන්නවා.
නමුත් කතාව එතැනින් ඉවර වෙන්නේ නෑ. ENT (උගුර, කන, නාසය) විශේෂඥ වෛද්‍යවරයා කැමරාවක් දාලා පරීක්ෂා කරද්දී දකින්නේ අදහාගන්න බැරි දෙයක්. එක ඇටයක් නෙවෙයි, දරුවාගේ නාසය ඇතුළේ දඹල ඇට, මදටියා, පීනට්, සියඹලා ඇට සහ නූල්වලට එතුණු මස් ගුලි ඇතුළු දේවල් 6ක් හිරවෙලා තිබුණා. පුදුමය කියන්නේ පිටතින් කිසිම ලෙඩක් නොපෙන්වා මේ දරුවා හොඳින් සෙල්ලම් කර කර ඉඳලා තියෙන්නේ එක නාසයකින් ලේ එනකම් විතරයි.
මේ කතාවට බය වෙලා විතරක් සිදුවීම අමතක කරන්න එපා, අනිවාර්යයෙන්ම මවුපියන් ලෙස ඔබ ඇස් ඇරිය යුතු තැනක්.
මම මේ අද ඔබට කියන දේවල් හොඳින් මතක තියාගන්න. මේ වගේ සිදුවීමක් ඔබේ ගෙදරත් වෙන්න පුළුවන් කියලා හිතාගෙන මේ දේවල් කියවන්න.
බබාලා ඇයි මෙහෙම දේවල් නහයට, කනට දාගන්නේ?
බොහෝ විට කුතුහලය නිසා. ඒ වගේම සමහර දරුවන්ට නාසයේ හෝ කනේ යම් ආසාදනයක් හෝ ආසාත්මිකතාවක් (Allergy) නිසා ඇතිවන කැසීම (Itching) වගේ තත්ත්වයන් මඟහරවා ගන්නත් මෙහෙම දේවල් ඇතුළට දාගන්න පුළුවන්. වෛද්‍යවරුන් පවසන පරිදි ඉහත සිදුවීමේ දරුවාටත් කාලයක් තිස්සේ පැවති යම් අපහසුතාවයක් නිසා මෙලෙස දේවල් දාගන්න පෙලඹෙන්න ඇති.
දරුවා යමක් හිර කරගත්තාම පෙන්නුම් කරන ලක්ෂණ මොනවාද?
බොහෝ විට මුලදී කිසිම රෝග ලක්ෂණයක් පෙන්වන්නේ නැහැ. නමුත් ටික දවසක් යනකොට, නහයේ එක් නාස් විවරයකින් එක පැත්තකින් පමණක් සැරව හෝ උකු දියරයක් ගැලීම (Unilateral nasal discharge).
නාසයෙන් හෝ කටින් දුගඳක් හමනවා නම් (Foul smell) – මෙය ඉතාම වැදගත් ලක්ෂණයක්. කාබනික ද්‍රව්‍ය (ඇට වර්ග, කොළ වර්ග) කුණු වීම නිසා මේ දුගඳ එනවා.
එක නාස් විවරයකින් පමණක් ලේ ගැලීම.
නිතරම නහය අතගාමින් හෝ කන අතගාමින් දැඟලීම.
ඇට වර්ග (Seeds) වඩා භයානක ඇයි?
මදටියා, සියඹලා, දඹල වගේ ඇට වර්ග නාසය ඇතුළේ තියෙන තෙතමනය උරාගෙන ඉදිමෙනවා (Swell). දාපු වෙලාවේ පොඩියට තිබුණාට ටික වෙලාවකින් ඒක ඉදිමිලා තද වෙනවා. එතකොට ආයේ එළියට ගන්න හරිම අමාරුයි.
මේ වෙලාවට දරුවගේ ළඟ ඉන්නේ ඔබ නම්, ඔබ කළ යුතු දේ
වහාම රෝහලක් වෙත රැගෙන යන්න. හැකි නම් ENT (උගුර කන නාසය) පහසුකම් ඇති රෝහලකටම යන්න. (උදා: දිස්ත්‍රික් මහ රෝහලක් හෝ ශික්ෂණ රෝහලක්.)
දරුවාට කටින් හුස්ම ගන්න උපදෙස් දෙන්න.
නොකළ යුතු දේ
කිසිම වෙලාවක ගෙදරදී අඬු, කටු, හෙයාර් පින් දාලා ගන්න උත්සාහ කරන්න එපා. එවිට සිදුවන්නේ ඒ දේ තවත් ඇතුළට තල්ලු වීම හෝ නාසයේ සියුම් පටක තුවාල වීමයි.
නාසය ඇතුළේ හිරවුණු දෙයක් පෙණහලුවලට ගියොත් දරුවාගේ ජීවිතය පවා නැති වෙන්න පුළුවන්.
මේ වැදගත් කරුණත් එක්ක තව දෙයක් කියන්න තියෙනවා. මේ අපිත් එක්ක එකතු වෙලා ඉන්න ආදරණීය පිරිසට කෙරෙන පුංචි ඉල්ලීමක්.
මේ අම්මා සඳහන් කරලා තිබුණා සමහරු දරුවාට සාප කරලා තිබුණා කියලා. “දරුවෙක් කියන්නේ මල් කැකුළක්”. ඔවුන් කරන දේවල් තේරුම් අරන් වැරදි හදාගන්න උදව් කරනවා මිසක්, දරුවෙක්ට වෛර කරන තරම් අපේ සමාජය පිරිහෙන්න හොඳ නෑ.
ඒ අම්මා ඒ වෙලාවේ සිහිබුද්ධියෙන් ක්‍රියා කළ නිසා අද ඒ දරුවා ජීවත් වෙනවා. සමහරවිට දෙමවුපියන් එක්ක තියෙන හිත් අමනාපකමකටවත් එහෙම දරුවෙක්ට කියන්න තරම් අපේ හිත් පහත් වෙන්න හොඳ නෑ කියලයි මං හිතන්නේ.
අපි කවුරුත් සර්ව සම්පූර්ණ නෑ. පොඩි හරි හිඩැසකින් මේ වගේ අනතුරක් වෙන්න පුළුවන්. ඒ නිසා ඔබේ දරුවා ගැන නිතරම ඇස ගසාගෙන ඉන්න.
