ඉර පායනවාත් එක්කම පටන් ගෙන ඉර බහිනවාත් එක්කම සනීප වෙන හිසේ කැක්කුමක් ඔයාටත් තියෙනවාද? දහසක් වැඩ අස්සේ ඔබව අපහසුතාවට පත් කරවන මේ ඔඵව රදය ඉරුවාරදය වෙන්න පුළුවන්. මේ ගැන කාන්තා ඔබව දැනුවත් කරන්න අද අපි එකතු කරගන්නවා ප්‍රවීණ පාරම්පරික දේශීය ආයුර්වේද වෛද්‍ය, ජ්‍යොතිෂවේදී, වාස්තු විද්‍යා උපදේශක වෛද්‍ය ඩබ්.ඩී.ආර්.බී.ටී. බණ්ඩාර හුලංගමුව වෛද්‍යතුමාව.
‘ඉරුවාරදය’ ලොකු කුඩා කා අතරත් බහුල රෝගයකි. දේශීය ආයුර්වේද වෛද්‍ය විද්‍යාවට අනුව මොකක්ද ඉරුවාරදය කියන්නේ?
ඉරුවාරදය කියන්නේ හිසේ ඇතිවන්නා වූ තදබල වේදනාවක්. මෙම රෝගය වැලඳුණු රෝගින්ගේ හිස්කබල අභ්‍යන්තරයෙන් පිහියකින් අනින්නාක් බඳු වේදනාවක් ඇති වෙනවා. ඇතැම් රෝගින් කියනවා මේ වේදනාව වචනයෙන් විස්තර කිරීමත් අපහසු බව. අපේ දේශීය වෛද්‍ය ක්‍රමයට අනුව ‘සූර්යාවර්ත’ රෝගය ලෙස ඉරුවාරදය හඳුන්වනවා. එහි අර්ථය වෙන්නේ ‘සූර්යයාගේ භ්‍රමණයට සමාන භ්‍රමණයක් ඇති වන්නා වූ රෝගය’ කියන එකයි. එහෙම අර්ථ දක්වන්න හේතුව ‘ඉරුවාරදය නිසා ඇති වන වේදනාව උදේ වරුවේ ආරම්භ වී මධ්‍යහ්න වේලාව වන විට ක්‍රමයෙන් වැඩි වී ගොස් ඉර බස්නාතුරු ක්‍රමයෙන් අඩු වී ගොස් අතුරුදන් වීම නිසයි’.
ඉරුවාරදය ඇති රෝගියකුගෙන් නිරීක්ෂණය කළ හැකි රෝග ලක්ෂණ මොනවාද?
මෙම රෝගින්ගේ පූර්ව රූප ලක්ෂණ ලෙස අධික කලබල ගතියක් දැනීම, තෙහෙට්ටුව හා නිදිමත ගතිය, නිතර වැසිකිළි යාමට හා මූත්‍රාර පිට කිරීමට අවශ්‍ය වීම, හිසේ බර ගතියක් දැනීම, ශබ්දවලට හා අධික ආලෝකයට අකැමැති වීම, හුදකලාව ජීවත් වීමට දැඩි කැමැත්තක් දැක්වීම ආදිය පෙන්වා දෙන්න පුළුවන්. ඉරුවාරදය වැලඳුණු රෝගින්ට වමනය පිටවීම, ඔක්කාර ගතියක් දැනීම, හිසේ එක් පැත්තකින් තදබල වේදනාවක් හා නළලේ වේදනාව ඇති වීම, කරකැවිලි ගතිය, හිස ඒකාකාරී අයුරකින් තබා ගැනීමට නොහැකි වීම, මුඛයේ නීරස බවක් දැනීම, අන් අය නොරිස්සුම, තමා අවට අඳුරු සේයාවන් පෙනී නොපෙනී යාම, හිස තුළ අනින්නාක් බඳු වේදනාවක් දැනීම, මුඛයේ හණුවල තද බවක් දැනීම මෙන්ම විස්තර කළ නොහැකි තරම් මානසික ආතතියකින් පෙළීමත් ඉරුවාරදයේ රෝග ලක්ෂණයකි.
බහුලව ඉරුවාරදයට ගොදුරු වන්නන් කවුරුන්ද?
විශේෂයෙන්ම වර්තමානයේ ඉගෙන ගන්නා දුවා දරුවන්ට ඇති වන තරගකාරී පීඩනය නිසා දරුවන්ද, ගෘහණියන්ට පවුල් ජීවිතය තුළ පවතින නොයෙක් ආකාරයේ ප්‍රශ්න ගැටලු නිසා ගෘහණියන්ද, මානසික ව්‍යාකූලතා ඇති පුද්ගලයින්, වර්තමාන සමාජයේ ආර්ථික ගැටලු වැනි ප්‍රශ්නවලට සාර්ථකව මුහුණ දීමට නොහැකි පුද්ගලයින් මෙන්ම දුර්වල මනසක් ඇති පුද්ගලයිනුත් ඉතා ඉක්මනින් මෙම රෝගයට ගොදුරු වෙනවා. නිතරම සෙම වේළන ඖෂධ, වේදනා නාශක භාවිතා කරන, ශරීර උෂ්ණත්වය වැඩි පුද්ගලයන් සහ දැඩි සේ නිදි වරන්නන්ද ඉරුවාරදයට ගොදුරු වීමේ අවදානම ඉතා ඉහළයි.
ආයුර්වේද වෛද්‍ය විද්‍යාවට අනුව ඉරුවාරදය වැළඳීමට හේතු මොනවාද?
පීනස හෝ ප්‍රතිශ්‍යාවට නිසි සේ ප්‍රතිකාර නොකිරීම, ශීර්ෂයේ පවතින වායු කෝඨරවල සෙම් අවරෝධ වීම, රාත්‍රියේදී අධික ලෙස නිදිවැරීම, අනවශ්‍ය ලෙස දහවල් නිදා ගැනීම, අධික ලෙස කල්පනා කිරීම හා සිතුවිලි අධික කම, සෙම වේළන ඖෂධ වර්ග නිතර ගැනීම, අධිකව දුම් හා මද්‍යසාර පානය, ශීත කළ දෑ නිතර භාවිත කිරීම, අධික දුර්ගන්ධය සහිත විෂ වායු ආඝ්‍රාණය කිරීම මෙන්ම වර්තමානයේ අධික ලෙස ජංගම දුරකතන, පරිගණකය වැනි තාක්ෂණික උපකරණ භාවිත කිරීමත් ඉරුවාරදයට හේතුවක්. දෛනික ජීවිතයේදී අධික මෛථුන සේවනයේ යෙදීම, අවේලාවේ ජලය ස්නානය කිරීම වැනි ජීවන රටාවේ අපිළිවෙළ, සෙම් හා පිත කුපිත වන ආහාර, වැඩිපුර තෙල්, මිරිස්, ලුණු සහිත ආහාර භාවිතය, ෂෝටීස්, රටකජු ආදී ආහාර අනුභව කිරීම වැනි වැරදි ආහාර පුරුදු ද ඉරුවාරදයට අඩු වැඩි වශයෙන් බලපානවා.
ඉරුවාරදයෙන් පීඩා විඳින රෝගියකුට ක්ෂණික සහනයක් ලබාගත හැකි ආයුර්වේද ප්‍රතිකාර ක්‍රම මොනවාද?
ඉරුවාරදයට ක්ෂණික සහනයක් ලබා ගැනීමට වගේම නිෂ්ඨාවටම සුව කිරීමට ලබා ගන්න පුළුවන් ප්‍රතිකාර ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ පවතිනවා. නමුත් ඉරුවාරදය වැලඳීමට හේතුව සහ ප්‍රමාණය අනුව රෝගියාගෙන් රෝගියාට ලබා දෙන ප්‍රතිකාර ක්‍රම වෙනස් වෙනවා. නමුත් වේදනාව පාලනය කර ගැනීමට ‘අබ ඇට, අමු ඉඟුරු ඉස්මෙන් අඹරා නළලට පැලැස්තරයක් දමා මිනිත්තු පහකින් පමණ ඉවත් කිරීම’, ‘නික කොළ තම්බා වේදු (දුම/වාෂ්ප) ඇල්ලීම’ වැනි සරල ප්‍රතිකාර කළ හැකියි. එසේම රෝගියාගේ දෝෂ කෝපතාවය අනුව හිසට තෛල අභ්‍යංග කිරීමද ඉරුවාරදයට හිතකරයි. උදාහරණයක් ලෙස ‘නිර්ගුණ්ඩ්‍යාදී’ තෛලය මඳක් උණුසුම් කොට හිසේ ගෑම. මෙවැනි බොහෝ කෙම් ක්‍රම දේශීය වෙදකමේ පවතී. අපි ළඟට එන රෝගින්ගේ නාඩි පරීක්ෂා කරලා, යෙදිය යුතු බාහිර අභ්‍යන්තර ප්‍රතිකාර මෙන්ම මානසික ප්‍රතිකාර ද ලබා දීමට කටයුතු කරනවා.
ඉරුවාරදය සහිත රෝගීන් ලබා ගන්නා ආහාර රටාව සහ පවත්වා ගන්නා ජීවන රටාව ගැන සැලකිලිමත් විය යුත්තේ කෙසේද?
පෙර දී සඳහන් කළ ඉරුවාරදයට හේතු වන කරුණු වලින් වැළකෙමින් නිසි වෛද්‍ය උපදෙස් මත ක්‍රියා කිරීම වගේම යහපත් මානසික පසුබිමක් ඇතිව ජීවත් වීමෙන් ඉරුවාරදය සම්පූර්ණයෙන්ම පාලනය කරගන්න පුළුවන්. ඒ වගේම අධික ලුණු, මිරිස්, තෙල්, ශීතල, උෂ්ණ අධික ආහාර මෙන්ම ක්ෂණික ආහාර පාන ගැනීම ද පාලනය කළ යුතුයි. නිරන්තරයෙන් පහසුවෙන් දිරවන ආහාර ලබා ගැනීමට කටයුතු කිරීමත් වැදගත්.
ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේදී ඉරුවාරදයට ප්‍රතිකාර කරන විට පුද්ගලයාගේ ස්වභාවය ගැන සැලකිලිමත් වෙනවාද?
ඉරුවාරදයට ප්‍රතිකාර කරන විට පුද්ගල ස්වභාවය සලකා බැලීම ඉතාමත් වැදගත් කාරණයක්. රෝගියාගේ ශරීරය උෂ්ණ ශරීරයක් ද, සෙම් ශරීරයක්ද, වාත ප්‍රකෘති ඇති ශරීරයක් ද යන්න සහ රෝගියාගේ වයස් සීමාවන්, කරන රැකියාව ආදිය සලකා බලනවා.
ඉරුවාරදයට ප්‍රතිකාර ලබා ගන්නන්ට ලබා දෙන උපදෙස කුමක්ද?
වර්තමානයේ තරගකාරී අධ්‍යාපන රටාවක් පවතිනවා. රොබෝවරුන් වගේ මිනිස්සු වැඩ කරනවා. අවිවේකීයි. මේ මිනිස්සු කලබලයි. ඉතින් සෑම විටම රාග, ද්වේෂ, මෝහ අකුසලයන්හි වැඩි නැඹුරුතාව හා ප්‍රසන්න මනසක් නොමැතිකම හේතුවෙන් මානසික ආතතියට පත් වන පුද්ගලයා ඉරුවාරදයට ගොදුරු වෙනවා. මේ රෝගය ඇති නැති හැම දෙනාම ප්‍රසන්න නිදහස් මනසකින් කටයුතු කරනවා නම් ඉරුවාරදයෙන් පහසුවෙන්ම ගැලවෙන්න පුළුවන්.
TEXT – රසාංජලී වාසල
