

නිවිති සම්බෝල
අවශ්‍ය දුව්‍ය
නිවිති කොළ 15ක් පමණ
රතුලූනු ගෙඩි 6/7
අමුමිරිස් කරල් දෙකක්
ගාගත් පොල් මේසහැදි 4
උම්බලකඩ මේසහැදි 1
දෙහි ඇඹුල් (රස අනුව)
රස අනුව ලුනු
සාදන ආකාරය
සෝදා පිරිසිදුකරගත් නිවිති තරමක ලොකු තීරූවලට කපාගන්න. ( අපි සාමන්‍යයෙන් සාදන පලා මැල්ල්ලුම් තරමට කපන්න එපා. නිවිතිවල සෙවල ගතිය තිබෙන නිසා )
රතුලූනු, අමුමිරිස් හීනියට කපාගන්න. දැන් භාජනයක් ගෙන එයට කපාගත් නිවිති, ලූනු, අමුමිරිස්, උම්බලකඩ, ගාගත්ත පොල්, දෙහි ඇඹුල් සහා රස අනුව ලුනු එකතුකර හැන්දකින් හෙමින් කලවම් කරගන්න.

නිවිති මිශ්‍ර පොල් රොටි
අවශ්‍ය දුව්‍ය
නිවිති කොළ 6
පාන් පිටි 250g
පොල් බෑවක ගාගත් පොල්
හීනියට කපාගත් රතුලූනු මේසහැඳි 2
හීනියට කපාගත්
අමුමිරිස් කරල් 2
උම්බලකඩ කුඩු තේහැඳි 1
රස අනුව ලුණු
සාදන ක්‍රමය
සෝදා පිරිසිදු කරගත් නිවිතිවලට උතුරන වතුර මේසහැඳි 2ක් එකතුකර හොඳින් බ්ලෙන්ඩර් කර. එය පෙරාගන්න.
පාන්පිටි , පොල්, ලූණු, අමුමිරිස්, උම්බලකඩ සියල්ල එකට එකතුකර අතින් හොඳින් කලවම් කරගන්න.
දැන් අපි සාදාගත් නිවිති මිශ්‍රරනය ටික ටික එකතුකරගනිමින් අතේ නොඇලෙන පදමට රොටි මිශ්‍රරනය අනාගන්න.
අපි අනාගත් නිවිත් රොටි මිශ්‍රරනයෙන් රොටි සාදා පුච්ච ගන්න(අඩු ගින්දරේ මේ රොටි පුච්ච ගන්න) නිවිති රොටි ඉතාමත් රසවත්.

නිවිති ඇඹුල
අවශ්‍ය දුව්‍ය
නිවිති කොළ 100g
රතු ලූනු 50g
අමුමිරිස් කරල් 3
සුදුලූනු බික් 5
ගොරකා කෑලි 4
අබ තේහැඳි 1/4
කහකුඩු තේහැඳි 1/4
මිරිස්කුඩු තේහැඳි 2
අමු තුනපහ තේහැඳි 1
මිටිකිරි කෝප්ප 1 1/2
පොල්තෙල් මේසහැඳි දෙකයි
රස අනුව ලුණු
සාදන ආකාරය
සෝදා පිරිසුදු කරගත් නිවිති වතුර බේරිමට පැත්තකින් තියන්න.
රතුලූනු, අමුමිරිස්, සුදුලූනු හීනියට කපාගන්න.
මැටි ඇතිළියක් ළිප තබා රත්වන විට පොල්තෙල් එකතුකරන්න. තෙල් ටික රත්වෙන විට එයට අබ එකතුකර අබ පුපුරන විට එයට කපාගත් ලූනු, සුදුලූනු, අමුමිරිස්, එකතුකර හොඳින් තෙම්පරාදු කරගන්න.
එයටම කහකුඩු, මිරිස්කුඩු, තුනපහකුඩු එකතුකර කලවම් කරගන්න. දැන් එයට නිවිති කොළ එකතුකර හොඳින් කලවම් කරගන්න. ඊළඟට ගොරකා සහ මිටිකිරි එකතුකර රස අනුව ලුනුද එකතුකර හොඳින් කලවම් කර උයාගන්න. හොදි ගතිය හිඳගෙන එනවිට ළිපෙන් ඉවත් කර උණුවෙන්ම රස බලන්න. මේ නිවිති ඇඹුල ඉතාමත් රසවත් ආහාරයක්.

නිවිති පකෝරා
අවශ්‍ය දුව්‍ය
නිවිති කොළ 10ක්
කඩල පිටි මේසහැෙඳි 4
හාල්පිටි මේසහැඳි 4
බිත්තර 1
මිරිස්කුඩු තේහැඳි 1
කහකුඩු 1/4
කෑලිමිරිස් තේහැදි 1
රස අනුව ලුණු
බැදීමට පොල්තෙල්
නිවිති කොළ සෝදා වතුර තෙත මාත්තු කර හාල්පිටි පොඩ්ඩක් උඩින් ඉහාපැත්තකින් තබන්න.
සාදන ආකාරය
භාජනයක් ගෙන එයට හාල්පිටි, කඩලපිටි, මිරිස්කුඩු, කෑලිමිරිස්, කහකුඩු, රසඅනුව ලුණු, බිත්තරය එකතුකර හොඳින් කලවම් කරගනිමින් ගනකම බැටරයක් සාදාගන්න. ( බිත්තරය පමණක් මදිනම් බැටරය සදාගන්න. වතුර මේස හැන්දක් පමණ එකතුකරගන්න)
තාච්චියක් ළිප තියා රත්වන විට එයට පොල්තෙල් එකතු කරගන්න. තෙල් රත්වන විට නිවිති කොළ සදාගත් බැටරයේ තවරා ගැඹුරු තෙලේ බදින්න. උණුවෙන්ම මේ නිවිති පකෝරාවල රස බලන්න.
TEXT – පූර්නිමා ඉන්දීවරී
