අතීතයේ සිටම ලොව පුරා නාවිකයන් සහ වෙළෙන්දන් මුහුදු හතක් තරණය කරමින් අපේ මේ කුඩා දිවයින සොයා ආවේ එකම එක වටිනා වස්තුවක් සොයාගැනීමටයි. ඒ “කුරුඳු” ය. එදා ලෝකය පාලනය කළ රෝම අධිරාජ්‍යයේ සිට අරාබි වෙළෙන්දන් දක්වාත්, පසුව පෘතුගීසි, ලන්දේසි සහ ඉංග්‍රීසි ජාතිකයන් දක්වාත් සියල්ලන්ගේම අවධානය දිනාගත් ශ්‍රී ලංකාවේ සැබෑ කුරුඳු, අදටත් ලොව හොඳම සහ ගු ණාත්මකභාවයෙන් ඉහළම කුළුබඩුවර්ගය ලෙස අවිවාදයෙන් පිළිගැනේ. ඔබේ මුළුතැන්ගෙයි කුළුබඩු බඳුනේ ඇති කුරුඳු කැබැල්ල තුළ සැඟවී ඇත්තේ නවීන විද්‍යාව පවා මවිත කරවන මහා බලගතු ඖෂධීය රහස් සමුදායකි.
ලෝක වෙළෙඳපොළේ කුරුඳු වර්ග දෙකක් ප්‍රධාන වශයෙන් දකින්නට ලැබේ. නමුත් ඒ දෙකම එක හා සමාන නොවන බව අප බොහෝ දෙනෙක් දන්නේ නැත. සැබෑ කුරුඳු ලෝකයටම අපනයනය කරන්නේ ශ්‍රී ලංකාව විසිනි. එම නිසාම මෙයට “සිලෝන් සිනමන්” (Ceylon Cinnamon) යන ගෞරවනීය නාමය හිමිව තිබේ. මෙහි පොත්ත ඉතා සිහින්ය, ලා දුඹුරු පැහැතිය, රසය ඉතා සියුම් සහ මිහිරි එකකි. චීනය, වියට්නාමය සහ ඉන්දුනීසියාව වැනි රටවල වැවෙන “කැසියා” (Cassia) කුරුඳු, සැබෑ කුරුඳුවලට සමාන පෙනුමක් තිබුණද ගුණයෙන් ඉතා පහළය. මෙහි පවතින “කූමරින්” (Coumarin) නම් රසායනිකය අධික මාත්‍රාවෙන් ශරීරගත වීම අක්මාවට අහිතකරය. අපේ රටේ කුරුඳු ලොව ජනප්‍රිය වී ඇත්තේ එහි අඩංගු සුවිශේෂී රසායනික සංයුතිය සහ අල්ප කූමරින් ප්‍රමාණය නිසාය.
දියවැඩියාවට එරෙහි “සුපිරි බෙහෙත”
වර්තමාන ශ්‍රී ලාංකික සමාජය මුහුණ දෙන දරුණුතම සෞඛ්‍ය ගැටලුව වන්නේ දියවැඩියාවයි. බොහෝ දෙනෙක් දියවැඩියාව පාලනය කරගැනීමට පෙති සහ ඉන්සියුලින් එන්නත් පසුපස හඹා යද්දී, කුරුඳු මඟින් ලැබෙන ස්වාභාවික සහාය අපේක්ෂා කළ නොහැකි තරම් ප්‍රබලය.
ඉන්සියුලින් හාස්කම
රුධිරයේ සීනි මට්ටම පාලනය කරන්නේ ඉන්සියුලින් හෝමෝනයයි. දියවැඩියාවේදී සිදු වන්නේ ඉන්සියුලින් නිපදවීම අඩු වීම හෝ නිපදවන ඉන්සියුලින්වලට සෛල ප්‍රතිචාර නොදැක්වීමයි. කුරුඳුවල ඇති Polyphenol සංයෝගවලට ඉන්සියුලින් හෝමෝනය අනුකරණය කරමින් ක්‍රියා කිරීමේ හැකියාව පවතී. එමඟින් සෛලවලට ග්ලූකෝස් උරා ගැනීමට මඟ පාදා දෙන අතර, දියවැඩියා රෝගීන්ගේ සිරුරේ අකර්මන්‍ය වී ඇති සෛල දොරටු විවෘත කිරීමට කුරුඳු “යතුරක්” ලෙස ක්‍රියා කරයි.
ආහාර වේලකින් පසු සීනි පාලනය
අපි ආහාරයක් ගත් සැණින් ශරීරයේ සීනි මට්ටම එක්වර ඉහළ යයි. මෙය හඳුන්වන්නේ Postprandial Glucose Spike යනුවෙනි. කුරුඳු මඟින් ආමාශයේ ඇති ආහාර දිරවීමේ එන්සයිම පාලනය කරමින්, කාබෝහයිඩ්‍රේට් සීනි බවට පත්වීමේ වේගය අඩු කරයි. ඔබ ප්ලේන්ටියට කුරුඳු කැබැල්ලක් එක් කළ යුත්තේ මේ නිසාය.
අනෙකුත් සෞඛ්‍ය ප්‍රතිලාභ
හදවත සහ ලේ ගමනාගමනය සුරැකීම: නූතන පර්යේෂණ පෙන්වා දෙන්නේ දිනකට කුරුඳු ග්‍රෑම් 1ක් පමණ ආහාරයට එක් කර ගැනීමෙන් සිරුරේ අහිතකර කොලෙස්ටරෝල් මට්ටම සැලකිය යුතු ලෙස පහත හෙළිය හැකි බවයි. එමෙන්ම රුධිර වාහිනී ලිහිල් කරමින් රුධිර පීඩනය සමතුලිත කිරීමටත් කුරුඳු උදවු වේ.
මොළයේ සෞඛ්‍යය සහ මතක ශක්තිය
වයසට යන විට මතකය අඩුවීම සහ අමතක වීමේ රෝග වැළැක්වීමට මෙය ඉතා වැදගත්ය. කුරුඳුවල අඩංගු Cinnamaldehyde සහ Epicatechin යන සංයෝග මොළයේ සෛලවල අහිතකර ප්‍රෝටීන තැන්පත් වීම වළක්වයි.
බර අඩු කරගැනීමට රහසක්
තරබාරුකම නිසා පීඩා විඳින අයට කුරුඳු සැබෑ ආශීර්වාදයකි. එය සිරුරේ පරිවෘත්තීය වේගය වැඩි කරන අතර සිරුරේ තැන්පත් වී ඇති අනවශ්‍ය මේදය දහනය කිරීමට උදවු වේ.
ආසාදන සහ බැක්ටීරියාවලට එරෙහි සටන
කුරුඳුවල ඇති ප්‍රති-ක්ෂුද්‍රජීවී ගුණය නිසා එය ස්වාභාවික කල්තබා ගන්නා ද්‍රව්‍යයක් ලෙස ද භාවිත වේ. මුඛ දුර්ගන්ධය නැති කිරීමටත්, ශ්වසන පද්ධතියේ ආසාදන පාලනයටත් මෙය මනා ඔසුවකි.
දිදුලන සමක් සහ තරුණ පෙනුම
කුරුඳුවල ඇති ප්‍රති-බැක්ටීරියා ගුණාංග සමේ කුරුලෑ පාලනය කරන අතර, එහි අඩංගු ප්‍රතිඔක්සිකාරක මඟින් සමේ රැලි වැටීම් ප්‍රමාද කරයි.
PCOS සහ හෝමෝන සමබරතාවය:
වර්තමාන තරුණියන් අතර බහුල PCOS තත්ත්වයේදී ඇතිවන “ඉන්සියුලින් ප්‍රතිරෝධය” පාලනය කිරීමට කුරුඳු සමත්ය. එය ඔසප් චක්‍රය ක්‍රමවත් කිරීමටත් මහඟු පිටිටුවහලක් වේ.
කුරුඳු නිවැරදිව භාවිත කරන්නේ කෙසේද?
කුරුඳු තේ:
වතුර උතුරන විට කුරුඳු පොතු කැබැල්ලක් දමා විනාඩි 10ක් වසා තබන්න. පසුව තේ කොළ සහ වතුර එක්කර සීනි රහිතව පානය කරන්න.
ස්වාභාවික පැණි රසකාරකයක් ලෙස
ඕට්ස්, යෝගට් හෝ කැඳ වර්ග වලට සීනි වෙනුවට කුරුඳු කුඩු ස්වල්පයක් එක් කරන්න.
කුරුඳු ජලය
රාත්‍රියේදී වතුර වීදුරුවකට කුරුඳු පොතු කැබැල්ලක් දමා තබා පසුදින හිස්බඩ පානය කරන්න. මෙය ශරීරය විෂහරණය කිරීමට කදිම ක්‍රමයකි.
ඔබ දැනටමත් දියවැඩියාව සඳහා ඖෂධ ලබා ගන්නා අයෙක් නම්, කුරුඳු අතිරේකයක් ලෙස භාවිත කිරීමට පෙර ඔබේ වෛද්‍යවරයාගෙන් උපදෙස් ලබා ගන්න. කුරුඳු මඟින් සීනි මට්ටම බෙහෙවින් අඩු කළ හැකි බැවින් ඖෂධ මාත්‍රාව වෙනස් කිරීමට අවශ්‍ය විය හැකිය.
අදම ඔබේ ප්ලේන්ටියට කුරුඳු කැබැල්ලක් එක් කර බලන්න. එය ඔබේ රසය පමණක් නොව, ඔබේ ආයුෂය ද වැඩි කරනු ඇත.
TEXT – පවනි උමේෂා
