Monday, February 16, 2026
Epaper
Home විශේෂාංගවාසනාව සහ ධනය කැඳවන ලුණු කැටේ අරුමය

වාසනාව සහ ධනය කැඳවන ලුණු කැටේ අරුමය

by Shanaka Lakehouse

ශ්‍රී ලාං‍ෙක්ය ගැමි සමාජය තුළ අතීතයේ පටන් “ලුණු” සම්බන්ධයෙන් පවතින්නේ නොබිඳුණු විශ්වාසයකි. මුළුතැන්ගෙයි ලුණු මුට්ටිය හිස් වීම අසුබ ලකුණක් ලෙස සැලකූ අපේ මුතුන්මිත්තෝ, කිසි විටෙකත් ලුණු බෝතලය අවසන් වන තුරු බලා සිටියේ නැත. හිරු බැස ගිය පසු නි‍ෙවසින් පිටතට ලුණු ලබා නොදීමත්, අඟහරුවාදා සහ සිකුරාදා දිනවල ලුණු මිල දී ගැනීමත් අදටත් බොහෝ දෙනා අනුගමනය කරන සිරිත් වේ.

අතීතයේදී ලුණු පොල්කටුවට මතුරා හදි හූනියම් කළ බවට විශ්වාසයක් පැවති නිසා, හවස් යාමයේ ලුණු පිටතට දීම ගැමියෝ ප්‍රතික්ෂේප කළහ. ලංකාවේ පමණක් නොව, ඉන්දියාව සහ බටහිර ගුප්ත විද්‍යාවන් තුළ ද ලුණු යනු ඝෘණාත්මක ශක්තීන් (Negative Energy) ඉවත් කර ධනාත්මක ආකර්ෂණය ලබා දෙන ප්‍රබල ද්‍රව්‍යයක් ලෙස හඳුන්වයි.

ඔබේ නි‍ෙවසටත්, ව්‍යාපාරයටත් ධනය සහ වාසනාව ළඟා කර ගැනීමට ලුණු භාවිත කර කළ හැකි අත්දුටු කෙම් ක්‍රම කිහිපයක් මෙන්න.

ආර්ථික දියුණුව සහ ව්‍යාපාරික ජයග්‍රහණ සඳහා

ඔබේ ව්‍යාපාරික ස්ථානයේ අලෙවිය වැඩි කර ගැනීමට සහ අනවශ්‍ය වියදම් පාලනය කර ගැනීමට මෙම ක්‍රමය ඉතා සාර්ථකයි.

පියවර: කුඩා වීදුරු බඳුනකට පිරිසුදු ලුණු කැට පුරවා, එයට ලෝහමය කාසියක් දමා මුදල් තබන ලාච්චුවේ හෝ අල්මාරියේ තබන්න.

සැලකිය යුතුයි: සෑම මසකට වරක්ම මෙම ලුණු ඉවත් කර අලුත් ලුණු දැමීමට අමතක නොකරන්න.

ඇස්වහ කටවහ දෝෂ දුරලීමට

පිටතින් පැමිණෙන අයගේ අසුබ දෘෂ්ටි නි‍ෙවසට ඇතුළු වීම වැළැක්වීමට මෙය කදිම පිළියමකි.

පියවර: රතු පැහැති රෙදි කැබැල්ලකට ලුණු කැට ස්වල්පයක් දමා පොදියක් සාදා ප්‍රධාන දොරටුවට ඉහළින් හෝ දොර අසල එල්ලන්න.

වාස්තු දෝෂ ඉවත් කර සාමය උදා කිරීමට

නි‍ෙවසේ කොතරම් මුදල් ඉපයුවත් ඒවා ඉතිරි නොවන ස්වභාවයක් පවතී නම්, වාස්තු දෝෂ පවතිනවා විය හැකිය.

පිළියම: සෑම සෙනසුරාදා දිනකම නි‍ෙවස පිසදමන ජලයට මුහුදු ලුණු ස්වල්පයක් එකතු කරන්න.

සුවඳ දුම් ඇල්ලීම: සවස් කාලයේ සුවඳ දුම් අල්ලන විට එයට ලුණු කැට, අබ සහ ගම්මිරිස් ඇට කිහිපයක් එක් කරන්න. මෙය ඊර්ෂ්‍යාසහගත බැල්ම දුරු කිරීමට සමත් වේ.

පෞද්ගලික ආකර්ෂණය සහ ශාරීරික සුවය සඳහා

රෝස ලුණු (Himalayan Salt): ඔබේ ආකර්ෂණ ශක්තිය වැඩි කර ගැනීමට උදෑසන පානය කරන ජලයට රෝස ලුණු කැටයක් එක් කර පානය කරන්න.

ස්නානය: දවස අවසානයේ ස්නානය කරන විට ලුණු ස්වල්පයක් මිශ්‍ර කළ ජලයෙන් ඇඟ සෝදා ගැනීමෙන් සිරුරේ පවතින අසුබ ශක්තීන් දුරු වේ.

විෂ ඉවත් කිරීම: මඳ උණුසුම් වතුර බේසමකට ලුණු දමා විනාඩි 10ක් පමණ දෙපා ගිල්වාගෙන සිටීමෙන් සිරුරේ විෂ ඉවත් වී සැහැල්ලුවක් දැනෙනු ඇත.

විශේෂිත “ධන ලක්ෂ්මී” කෙම් ක්‍රමය

ධනය සහ වාසනාව වෙනුවෙන්ම වෙන් වූ මෙම කෙම් ක්‍රමය ඉතා ප්‍රබල ප්‍රතිඵල ලබා දෙන්නකි.

අවශ්‍ය ද්‍රව්‍ය: පිරිසුදු වීදුරු කෝප්පයක් (කලින් භාවිත නොකළ), පීරිසියක් සහ අලුත් ලුණු කැට පැකට්ටුවක්.

සිදු කරන ආකාරය:

දිනය සහ වේලාව: බ්‍රහස්පතින්දා දිනක උදෑසන 8.15 ත් 10.15 ත් අතර කාලය තුළ මෙය සිදු කරන්න.

පූර්ව සූදානම: උදෑසන ස්නානය කර පිරිසුදුව, හිස්බඩ මෙය කළ යුතුය. නි‍ෙවසේ මුදල් උපයන ප්‍රධානියා මෙය සිදු කිරීම වඩාත් සුදුසුයි.

මන්තරය: ලුණු කැට සහිත පීරිසිය අත් දෙකෙන්ම ගෙන පහත මන්තරය 7 වතාවක් භක්තියෙන් යුතුව පවසන්න.

“ඕම් ශ්‍රීම් ධන ලක්ෂ්මී නමෝ නමහා”

තැන්පත් කිරීම: මන්තරය පවසමින්ම එම ලුණු කැට ඔබේ අතින්ම වීදුරු කෝප්පයට දමන්න (හැන්දක් භාවිත නොකරන්න).

ස්ථානය: මෙම කෝප්පය ඔබේ නිදන ඇඳ යටින්, හිස තබන දෙසට වන්නට තබන්න.

වැදගත් නීති:

සෑම දින 14 කට වරක් ලුණු අලුත් කරමින් මාස 3ක් මෙය අඛණ්ඩව කරන්න.

පරණ ලුණු ඉවත් කිරීමේදී ගලා යන ජලයට හෝ පොල්/තැඹිලි ගසක් මුලට දමන්න.

කාන්තාවන් ඔසප් කාලසීමාව තුළදී මෙය කිරීමෙන් වළකින්න.

මත්පැන් හෝ දුම්වැටි භාවිත කරන අවස්ථාවලදී මෙම කෙම් ක්‍රම සිදු නොකරන්න.

මතක තබා ගන්න: ලුණු යනු විශ්ව ශක්තිය තමන් වෙත ඇද ගන්නා ද්‍රව්‍යයකි. එම නිසා ලුණු බෝතලය මුළුතැන්ගෙයි තබන විට පවා පිරිසුදු, ගෞරවනීය ස්ථානයක තැබීමට වගබලා ගන්න.

නි‍ෙවසක වාසනාව සහ ධනය රැඳී තිබෙන්නේ එතැන පවතින ශක්ති කළමනාකරණය මතයි. ඔබ ඉහත සඳහන් කළ ලුණු කෙම් ක්‍රමවලට අමතරව, ඔබේ නි‍ෙවසේ ශක්තිය (Energy) වඩාත් යහපත් කර ගැනීමට අනුගමනය කළ හැකි වාස්තු විද්‍යාත්මක සහ ප්‍රායෝගික උපදෙස් කිහිපයක් මෙන්න:

1. ප්‍රධාන දොරටුව සහ ආලෝකය

නිවසකට ධනය ඇතුළු වන ප්‍රධාන මාර්ගය දොරටුවයි.

පිරිසුදුකම: ප්‍රධාන දොරටුව දෙපස සැමවිටම පිරිසිදුව තබා ගන්න. පරණ සපත්තු, කුණු බඳුන් හෝ කැඩුණු බඩු බාහිරාදිය දොර අසල තැබීමෙන් ධන ආකර්ෂණය බාධා වේ.

ආලෝකය: සන්ධ්‍යා කාලයේදී ප්‍රධාන දොර අසල දීප්තිමත් ආලෝකයක් (පහනක් හෝ බල්බයක්) දල්වා තබන්න. එය සෞභාග්‍යයේ දෙවඟනට නි‍ෙවසට ආරාධනා කිරීමක් ලෙස සැලකේ.

2. මුළුතැන්ගෙයි පිළිවෙළ (ලුණු සහ සහල්)

මුළුතැන්ගෙය යනු නිවසක සමෘද්ධියේ සංකේතයයි.

ලුණු බෝතලය: ලුණු බෝතලය කිසිවිටෙකත් බිම තබන්න එපා. එය සැමවිටම ඇසට පෙනෙන මානයේ, උස් ස්ථානයක තබන්න.

සහල් මුට්ටිය: සහල් මුට්ටිය හෝ බඳුන කිසිවිටෙකත් සම්පූර්ණයෙන්ම හිස් වීමට ඉඩ නොහරින්න. එයින් අදහස් වන්නේ නි‍ෙවසේ සම්පත් හිඳී යන බවයි.

කැඩුණු භාණ්ඩ: කටවල් කැඩුණු කෝප්ප, පිඟන් හෝ වීදුරු බඳුන් භාවිතයෙන් ඉවත් කරන්න. ඒවා නිවස තුළ ඝෘණාත්මක ශක්තිය පතුරවයි.

ජලය ගලා යන දිශාව

වාස්තු විද්‍යාවට අනුව ජලය යනු ධනයේ සංකේතයකි.

ජල කරාම: නි‍ෙවසේ පවතින ජල කරාමවලින් ජලය අපතේ යන්නේ නම් (Leaking taps), එයින් සංකේතවත් වන්නේ ඔබේ ධනය අනවශ්‍ය ලෙස වැය වන බවයි. වහාම ඒවා පිළිසකර කරන්න.

ගලා යන ජලය: නි‍ෙවසේ උතුරු හෝ ඊසාන දිශාවේ කුඩා දිය උල්පතක් (Water fountain) හෝ මත්ස්‍ය ටැංකියක් තැබීම ධන වාසනාවට ඉතා යහපත්ය.

නි‍ෙවසේ කොන් සහ අඳුරු තැන්

නි‍ෙවසේ කොන්වල දූවිලි සහ මකුළු දැල් බැඳීමට ඉඩ නොදෙන්න.

ලුණු වතුරෙන් පිසදැමීම: සතියකට වරක් හෝ නි‍ෙවසේ අඳුරු කොන් ලුණු මිශ්‍ර කළ ජලයෙන් පිසදමන්න. එමඟින් එහි රැඳී ඇති අසුබ ශක්තීන් ඉවත් වේ.

උතුරු දිශාවේ බලය

ධනයට අධිපති “කුවේර” දිශාව ලෙස සැලකෙන්නේ උතුරු දිශාවයි.

ඔබේ මුදල් පසුම්බිය හෝ වටිනා භාණ්ඩ තබන අල්මාරිය නි‍ෙවසේ උතුරු දෙසට වන්නට තැබීමෙන් වැඩි දියුණුවක් බලාපොරොත්තු විය හැකිය.

 

උපදෙස් – චන්දි නාරායන

TEXT – කෝකිලා සමුදිනි

You may also like

Leave a Comment

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?