ශ්‍රී ලංකාවේ විද්යුත් මාධ්‍ය ඉතිහාසය දෙස ආපසු හැරී බැලීමේදී ජාතික රූපවාහිනිය යනු හුදෙක් එක් රූපවාහිනී නාළිකාවක් පමණක් නොව, එය මෙරට ජනතාවගේ සංස්කෘතික සහ ආකල්පමය ජීවිතය හැඩගැස්වූ දැවැන්තම සන්නාමය ලෙස හඳුන්වා දිය හැකිය. වසර හතළිස් හතරක අභිමානවත් සහ අත්දැකීම් බහුල ඉතිහාසයකට උරුමකම් කියන ජාතික රූපවාහිනිය, සිය දශක හතර හමාරක කාලය තුළ ලාංකේය ප්‍රේක්ෂකයාගේ රසවින්දනය උසස් හා පුළුල් මට්ටමකට ගෙන ඒමට සමත් වූයේ ඉතා සාරවත් සහ ප්‍රමිතිගත වැඩසටහන් ව්ව්‍යූහයක් හරහාය. ජාතික රූපවාහිනිය සැමවිටම විශ්වාස කළේ රූපවාහිනිය යනු හුදෙක් විනෝදාස්වාදය සපයන මාධ්‍යයක් පමණක් නොව එය ජනතාවගේ පරිකල්පන බුද්ධිය සහ ආකල්ප සංවර්ධනය කරන ප්‍රබල මෙවලමක් විය යුතු බවයි.
ජන මනස හා ආකල්පමය රසවින්දනය උසස් කිරීමේ පුළුල් වැඩසටහන් වපසරිය
විද්යුත් මාධ්‍යයක් සතු ප්‍රධානතම වගකීම වන්නේ ජනතාවට තොරතුරු සැපයීම පමණක් නොව ඔවුන්ගේ ආකල්ප සංවර්ධනය කරමින් යහපත් සමාජයක් උදෙසා මඟ පෙන්වීමයි. ජාතික රූපවාහිනිය මෙම වගකීම අකුරටම ඉටු කළ නාළිකාවකි. ඔවුන්ගේ වැඩසටහන් වපසරිය අධ්‍යාපනික, සංස්කෘතික, සමාජීය සහ ආගමික වශයෙන් ඉතා පුළුල් පරාසයක විහිදී පවතින අතර එමඟින් ජනතාවගේ රසවින්දනය පටු සීමාවලින් ඔබ්බට ගෙන යැමට හැකි වී තිබේ. තරගකාරී වෙෙළඳපොළ තුළ ජනප්‍රියත්වය පසුපසම හඹා නොගොස් ප්‍රමිතියෙන් ඉහළ වැඩසටහන් ඉදිරිපත් කිරීම තුළින් ප්‍රේක්ෂකයන් තුළ උසස් සෞන්දර්යාත්මක දෘෂ්ටියක් ගොඩනැඟීමට ජාතික රූපවාහිනිය සමත් වී ඇත. ඔවුන්ගේ සෑම නිෂ්පාදනයක්ම පාහේ වගකීම් සහගත බවින් සහ සදාචාරාත්මක රාමුවකින් යුක්ත වීම නිසා පවුලේ සැමට බියකින් තොරව නැරඹිය හැකි එකම නාළිකාව ලෙස ජාතික රූපවාහිනිය ජන මනස තුළ තහවුරු වී පවතී.
’නුග සෙවණ’ කාන්තා පරපුරේ හදගැස්ම සහ කුසලතා වර්ධනයේ තෝතැන්න
ජාතික රූපවාහිනි ඉතිහාසයේ රන් අකුරින් ලියැවෙන වැඩසටහනක් ලෙස ‘නුගසෙවණ’ හඳුන්වා දිය හැක්කේ එය වසර විසිපහකට අධික කාලයක් මුළුල්ලේ මෙරට කාන්තා පරපුරේ සමීපතම මිතුරිය බවට පත් වූ නිසාය. ජාතික රූපවාහිනියේ වැඩසටහන් අධ්‍යක්ෂ නිලාර් එන්. කාසිම් මහතාගේ සෘජු අධීක්ෂණය යටතේ, නිෂ්පාදකවරුන් පස්්දෙනෙකුගේ මෙහෙයවීමෙන් දිනපතා විකාශය වන මෙම වැඩසටහන සමස්ත ශ්‍රී ලාංකේය කාන්තාවන්ගේ ආකල්පමය වෙනසක් ඇති කිරීමට සමත් විය.
රූපවාහිනි පරිශ්‍රයේ පිහිටි දැවැන්ත නුග වෘක්ෂය සෙවණේ සජීවීව ආරම්භ වූ මෙම වැඩසටහන ප්‍රේක්ෂකයන්ට ගෙන ආවේ හුදෙක් දැනුම පමණක් නොව ජීවන අරගලයට ශක්තියක් විය හැකි වෘත්තීය මට්ටමේ කුසලතාවන්ය.
මෙම වැඩසටහනේ සාර්ථකත්වය රඳා පැවතුණේ එහි ගුණාත්මකභාවය සහ සම්බන්ධ කරගනු ලැබූ සම්පත් දායකයන්ගේ ප්‍රවීණත්වය මතය. රූපලාවණ්‍ය, මැහුම් ගෙතුම්, අත්කම් නිර්මාණ, සූපවේදය සහ කේක් නිර්මාණ වැනි විවිධ ක්ෂේත්‍ර ඔස්සේ තොරතුරු ලබාදීමට දිවයිනේ සිටින ප්‍රවීණතම ශිල්පීන් දායක කරගැනීම මෙහි සුවිශේෂී ලක්ෂණයක් විය. විශේෂයෙන්ම ආචාර්ය පබිලිස් සිල්වා වැනි ප්‍රවීණයෝ නුගසෙවණ වැඩසටහන හරහා සිය අනන්‍යතාව තහවුරු කරගනිමින් වැඩසටහනට ඉහළ වටිනාකමක් එක් කළහ. මෙලෙසින් නුගසෙවණ හරහා සිය දක්ෂතාව ඉදිරිපත් කළ ශිල්පීන් රාශියක් අද වන විට සාර්ථක ව්‍යවසායකයෝ ලෙස දිවයිනේ ඉහළම තලයේ වැජඹෙති.
44 වැනි වසරේ රයිගම් සම්මාන අභිෂේකය සහ ලද විශිෂ්ට ජයග්‍රහණ
ජාතික රූපවාහිනිය සිය 44 වැනි සංවත්සරය සමරන මෙම වර්ෂයේදී ඔවුන් ලැබූ විශාලතම ඇගයීම වන්නේ පසුගිය වසරේ රයිගම් ටෙලීස් සම්මාන උලෙළ්දී ලැබූ අතිවිශිෂ්ට ජයග්‍රහණ මාලාවයි. පෞද්ගලික නාළිකා රාශියක් සමඟ පැවති දැඩි තරගකාරිත්වය මධ්‍යයේ සියලුම නාළිකා අතරින් වැඩිම සම්මාන සංඛ්‍යාවක් දිනා ගනිමින් ‘වසරේ විශිෂ්ටතම නාළිකාව’ ලෙස ජාතික රූපවාහිනිය අභිෂේක ලැබීය. එහිදී පසුගිය වසරේ විශිෂ්ටතම ටෙලිනාට්‍යය ලෙස සම්මානයට පාත්‍ර වූයේ ‘වියළි’ ටෙලිනාට්‍යයයි.
එමෙන්ම, මේ දිනවල ජාතික රූපවාහිනියේ විකාශනය වන ‘දොරකඩ දෙවොල’ ටෙලිනාට්‍යය වර්තමානයේ මෙරට අතිශය ජනප්‍රියතම ටෙලිනාට්‍යය බවට පත්ව තිබීම සුවිශේෂී කරුණකි. මීට අමතරව වසරේ ජනප්‍රියතම වැඩසටහන ලෙස ‘පියුම් නීල විල’ සම්මානයෙන් පිදුම් ලැබීය. මෙම ජයග්‍රහණ හේතුවෙන් පසුගිය වසරේ ජාතික රූපවාහිනියේ ආදායම ද ඉහළ මට්ටමකට පැමිණ ඇති අතර ප්‍රේක්ෂක විශ්වාසය ද උපරිම මට්ටමකට වර්ධනය වී තිබේ.
තාක්ෂණික ශක්තිය සහ අනාගත ඩිජිටල් ප්‍රවිෂ්ටය
වර්තමානයේ විවිධ නාළිකා ජාතික රූපවාහිනියේ සංකල්ප අනුකරණය කිරීමට උත්සාහ කළද ඒ කිසිවකට සාර්ථක වීමට නොහැකි වී ඇත්තේ රූපවාහිනිය සතු දැවැන්ත තාක්ෂණික මෙවලම් සහ ප්‍රවීණ නිර්මාණකරුවන් පිරිස නිසාය. ඔවුන්ගේ ප්‍රවෘත්ති විකාශනය පවා ඉතාම විශ්වසනීය සහ සමබර වීම ප්‍රේක්ෂක ආකර්ෂණයට තවත් හේතුවකි. ජාතික රූපවාහිනිය මේ වන විට යූටියුබ් සහ අනෙකුත් ඩිජිටල් මාධ්‍යයන් වෙතද සාර්ථකව අවතීර්ණ වී ඇති අතර එමඟින් නව පරපුරේ ප්‍රේක්ෂකයන් විශාල පිරිසක් දිනා ගැනීමට සමත් වී ඇත.
මෙලෙස ජාතික රූපවාහිනිය පිළිබඳ සහ එහි ඉදිරි ගමන් මඟ පිළිබඳව සිය අදහස් දැක්වූයේ ජාතික රූපවාහිනියේ වැඩසටහන් අධ්‍යක්ෂ මෙන්ම නේත්‍රා නාළිකාවේ ප්‍රධානී, විශිෂ්ට ගේය පද නිර්මාණකරු නිලාර් එන්. කාසිම් මහතා විසිනි. ඔහුගේ මඟ පෙන්වීම යටතේ ජාතික රූපවාහිනිය සිය 44 වැනි වසරේදී ද ගුණාත්මක සහ ප්‍රමිතිගත වැඩසටහන් ඉදිරිපත් කරමින් මෙරට විද්‍යුත් මාධ්‍ය කලාවේ ප්‍රමුඛයා ලෙස තවදුරටත් වැජඹෙනු ඇත.
PIX BY – ශාන් රූපස්සර
TEXT – දුමින්ද කාරියවසම්
