Monday, February 16, 2026
Epaper
Home වෛද්‍යඔබේ දණහිසත් කටස් කටස් ගානවද?

ඔබේ දණහිසත් කටස් කටස් ගානවද?

by Shanaka Lakehouse

කාර්යබහුල දිවියක් ගත කරන කාන්තාවන් වන අපට, දණහිස් වේදනාව කියන්නේ අපේ ගමන අඩාල කරන ප්‍රධාන බාධාවක්. ගෙදර දොරේ වැඩ කටයුතු කරද්දී, පඩිපෙළක් නඟිද්දී හෝ බිම වාඩි වී නැඟිටිද්දී දණහිසෙන් එන තියුණු වේදනාව බොහෝ දෙනෙක් අත්විඳින පොදු ගැටලුවක්. අද අපේ රටේ බොහෝ දෙනෙක්, විශේෂයෙන්ම කාන්තාවන් පීඩා විඳින ප්‍රධානතම සෞඛ්‍ය ගැටලුවක් වන දණහිස් ගෙවීම හෙවත් ඔස්ටියෝ ආතරයිටිස් (Osteoarthritis) පිළිබඳව අප මෙවර සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙනවා. මේ සම්බන්ධයෙන් අපව දැනුවත් කරන්නේ රිජ්වේ ආර්යා ළමා රෝහලේ භෞත චිකිත්සක අධිකාරී, ආචාර්ය ජාලිය උඩුවැල්ල මහතායි.

දණහිස් සන්ධිය ගෙවීම කියලා හඳුන්වන්නේ මොන වගේ තත්ත්වයක්ද?

අපි සන්ධියක ව්‍යුහය දෙස බැලුවොත්, අස්ථි කෙළවරවල් ආවරණය කරමින් “කාටිලේජ” නමැති මෘදු පටකයක් පිහිටා තිබෙනවා. මෙය සන්ධියක ආරක්ෂිත ආවරණයක් ලෙස ක්‍රියා කරනවා. දණහිස් ගෙවීම කියලා කියන්නේ මෙම කාටිලේජය ගෙවීමට ලක්වෙලා අස්ථියේ කෙළවරවල් (ගැටිති) මතු වීමයි. එම මෘදු පටකය ගෙවුණු පසුව, සන්ධියේ ඉහළ සහ පහළ අස්ථි අතර තිබිය යුතු නිසි පරතරය අඩු වෙනවා. ඒ මෘදු පටකය ගෙවීමට ලක්වුණාම මේ අස්ථියේ ගැටිති කඩතොලු වෙනවා. එම කඩතොලු වීමෙන් පසුව සන්ධිය තුළ තරලයක් නිර්මාණය වෙනවා. මෙය වෛද්‍ය විද්‍යාවේදී ඔස්ටියෝ ආතරයිටිස් ලෙස හඳුන්වනවා.

ඇයි මෙහෙම වෙන්නේ? ඊට බලපාන හේතු මොනවාද?

මීට ප්‍රධානතම හේතුව තමයි අධික ශරීර බර. අපි ජීවත් වෙන්නේ ගුරුත්වාකර්ෂණය පවතින පරිසරයක නිසා, අපේ ඉහළ සිරුරේ බර නිරන්තරයෙන් පොළොව දෙසට ඇදෙනවා. බර වැඩි වෙනකොට දණහිසේ පේශිවලට (Quadriceps) එය උහුලන්න බැරි වෙනවා. එවිට සිරුර පහළට ඇදෙන අතර සන්ධිය මත දැඩි පීඩනයක් වැටෙනවා. මීට අමතරව කාන්තාවන්ගේ ආර්තවහරණයෙන් පසු සිදුවන හෝමෝන ක්‍රියාවලිය, අනතුරු, දෙපාවල දිගෙහි වෙනසක් පැවතීම සහ දීර්ඝ කාලීනව හිටගෙන සිටින රැකියාවල නිරත වීමත් මෙයට හේතු වෙනවා. ඒ වගේම සන්ධිවල ඇති ස්නායු ග්‍රාහක දුර්වල වීම නිසා සන්ධියේ ඉරියව් හඳුනා ගැනීමට මොළයට නොහැකි වීමත් මෙයට තවත් බලපෑමක්.

දණහිස් සන්ධි වේදනාව ඇතිවුණාම සිරුරේ වෙන්නේ මොකක්ද?

කාටිලේජය ගෙවී අස්ථි මතු වූ පසුව, එම අස්ථි එකිනෙක ගැටී ඒවායේ කෙළවරවල් රළු වීම හෝ කඩතොලු වීම සිදු වෙනවා. මෙහි ප්‍රතිඵලයක් ලෙස සන්ධිය තුළ අසාමාන්‍ය ලෙස තරලයක් නිර්මාණය වෙනවා. එවිට සන්ධියේ ඉදිමීම, අධික වේදනාව සහ සන්ධිය චලනය කිරීමට ඇති අපහසුව ඇති වෙනවා. බිම ඉඳගෙන නැඟිටීමට අපහසු වීම, සන්ධියේ තද ගතිය සහ ඇවිදින විට “කටස් කටස්” වැනි ශබ්දයක් ඇති වීම මෙහිදී දැකිය හැකි ප්‍රධාන රෝග ලක්ෂණයි.

ඇයි වැඩිහිටියන් අතර මේ දණහිස් වේදනාව වැඩියෙන් දකින්න ලැබෙන්නේ?

වයසට යාමත් සමඟ අපේ මාංශ පේශි දිනෙන් දින දුර්වල වීම සිදු වෙනවා. තරුණ අයට මෙය සිදුවන්නේ ඉතා කලාතුරකින්, ඒ කියන්නේ අනතුරක් හෝ අධික බරක් තිබුණොත් පමණයි. නමුත් වැඩිහිටියන්ගේ පේශි දුර්වලතාව නිසාත්, වසර ගණනාවක් තිස්සේ සන්ධි භාවිතා කිරීමෙන් සිදුවන ක්ෂය වීම් නිසාත් මෙය ඔවුන් අතර බහුලව දකින්න ලැබෙනවා.

දණහිස් වේදනාවට අමතරව තවත් ඇතිවෙන්න පුළුවන් ආබාධ මොනවාද?

දණහිස වගේම ශරීරයේ බර දරන අනෙකුත් සන්ධි වන උකුල් ඇට සන්ධිය (Hip Joint) සහ වළලුකර (Ankle) සන්ධිවලත් මේ ආකාරයටම ගෙවී යාම් හෝ ආතරයිටිස් තත්ත්වයන් ඇති වෙන්න පුළුවන්.

මේ තත්ත්වය වළක්වා ගන්නේ සහ පාලනය කරන්නේ කොහොමද? මූලිකම දේ තමයි උසට සරිලන බරක් පවත්වා ගැනීම. ඉරියව් පාලනය කිරීමත් ඉතා වැදගත්. හැකිතාක් බිම නොඉඳ පුටුවක් භාවිතා කරන්න, වැසිකිළිය සඳහා කොමඩ් එකක් භාවිත කරන්න. දැනටමත් රෝගය තිබේ නම් වැඩිපුර ඇවිදීම සහ හිටගෙන සිටීම සීමා කරන්න. (සම්පූර්ණයෙන් නැවැත්විය යුතු නැත). දණහිස අවට පේශි ශක්තිමත් කිරීමට සරල ව්‍යායාම දෙකක් කළ හැකියි. එකක් තමයි ඇඳ මත දිගා වී දණහිස යටින් තුවායක් තබා එය පහළට තෙරපීම. අනෙක දණහිස නමන්නේ නැතිව කකුල අංශක 45ක් උස්සාගෙන සිටීමයි.

මෙයට භෞත චිකිත්සාවෙන් කරන්න පුළුවන් ප්‍රතිකාර මොනවාද?

භෞත චිකිත්සක නිලධාරියෙක් මගින් සන්ධිය ඇගයීමට ලක් කිරීමෙන් පසු ප්‍රතිකාර තීරණය කරනවා. සන්ධියේ තරලය හැදුණොත් තාප ප්‍රතිකාර සහ විද්යුත් ප්‍රතිකාර (Short Wave Diathermy) මගින් රුධිර වාහිනී විස්තාරණය කර එම තරලය රුධිරයට අවශෝෂණය කර ඉවත් කරනවා. TENS ප්‍රතිකාරය මගින් වේදනාව අඩු කරන අතර අධෝරක්ත කිරණ මගින් පේශිවල තද ගතිය නැති කරනවා. මාංශ පේශි ආරක්ෂා කිරීමට Knee Guard එකක් පළඳින ලෙසත් අපි උපදෙස් දෙනවා.

You may also like

Leave a Comment

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?