Monday, February 16, 2026
Epaper
Home වෛද්‍යදැනගෙන ගත යුතු සැල්බියුටමෝල්

දැනගෙන ගත යුතු සැල්බියුටමෝල්

බෙහෙත් පෙත්තේ නොදන්නා පැත්ත

by Shanaka Lakehouse

අද බොහෝ දෙනෙකු ඖෂධ සම්බන්ධයෙන් පවතින නොදැනුවත්කම හේතුවෙන් කුමන හෝ අතට අසුවන ඖෂධයක් හෝ ඔසුහලකින් ලබාගන්නා, වෛද්‍යවරයෙකු විසින් නිර්දේශ නොකළ නමුත් ඖෂධවේදියෙකුගේ සහය ලබා හෝ තම මතය පරිදි තෝරාගත් ඖෂධයක් භාවිත කර සුවයක් ලබන්නට තැත් කරයි. එය ඇතැම් විට ජීවිතයෙන් වන්දි ගෙවන්නට වන අවස්ථාවක් වන්නට පුළුවන. ඒ නිසයි ඔබ ලබා ගන්නා ඖෂධ පිළිබඳ දැනුවත්භාවය ඉතාම වටින්නේ. සැල්බියුටමෝල් (Salbutamol) කියන්නෙත් වැඩි දෙනෙක් භාවිත කරන ඖෂධයක්. අද අපි කතා කරන්නේ ඒ ගැන.

සැල්බියුටමෝල් යනු ශ්වසන මාර්ගයේ අවහිරතා (Airway Obstruction) හේතුවෙන් ඇතිවන හුස්ම ගැනීමේ අපහසුතා, ඇදුම, හුස්ම හිරවීම සහ බ්‍රොන්කොස්පෑස්ම් (Bronchospasm) වැනි තත්ත්වයන් සඳහා භාවිත කරන බ්‍රොන්කොඩයිලේටර් වර්ගයේ (Bronchodilator) ඖෂධයකි. මෙය ශ්වසන මාර්ගයේ සිනිඳු මාංස පේශි (Smooth Muscle) ලිහිල් කිරීම මඟින්, වාතය නිදහසේ ගලායාමට සහ හුස්ම ගැනීම පහසු කිරීමේ ක්‍රියාව සිදු කරයි.

සැල්බියුටමෝල්වල ප්‍රධාන කාර්යය ශ්වසන මාර්ගයේ ඇති වන සංකුචනය (Bronchoconstriction) ඉක්මනින් නිවැරදි කිරීමයි. ශරීරයට හුස්ම ලබාදීමේදී, සිරවී ඇති වාතය නිදහසේ පිටවීමට සහ ඇතුළට ගමන් කිරීමට මෙම ඖෂධය ඉතා වැදගත් වේ. මෙයින් රෝගියාට හුස්ම ගැනීමේ අපහසුතා, ඇදුම සහ හුස්ම හිරවීම වැනි ලක්ෂණ අඩුවේ.

සැල්බියුටමෝල් විවිධ ආකාරවලින් ලබාගත හැකිය. මුලින්ම, එය ඉන්හේලර් (Inhaler) මඟින් ලබා ගත හැකි අතර මෙය රෝගියාට ඖෂධය සෘජුවම ශ්වසන මාර්ගයට ලබාදීමේ වඩාත් කාර්යක්ෂම මාර්ගයකි. දෙවන වශයෙන්, ටැබ්ලට් (Tablet) ආකාරයෙන්, රුධිරය හරහා ශරීරයට ක්‍රමයෙන් ඇතුළත් කරයි. තුන්වන වශයෙන්, සැල්බියුටමෝල් සිරප් (Syrup) ආකාරයෙන් ලබා දේ. විශේෂයෙන් ළමුන් සහ ඉන්හේලර් භාවිත කළ නොහැකි පුද්ගලයන් සඳහා සිරප් සුදුසු වේ.

භාවිත කරන ආකාරය හෝ මාත්‍රාවක් තෝරාගැනීමේදී වයස, ශරීර බර, රෝගී තත්ත්වය සහ රෝගියාගේ හෘද රෝග සම්බන්ධ තත්ත්වය මත වෛද්‍ය උපදෙස් අනුව තීරණය කෙරේ. මේ නිසා සැල්බියුටමෝල් ආරක්ෂිතව හා කාර්යක්ෂමව භාවිත කළ හැකිය.

ටැබ්ලට් (Tablets) වැඩිහිටියන් සඳහා

ආරම්භක මාත්‍රාව – 2 mg, දිනකට 3–4 වතාවක්. අවශ්‍ය නම්, දිනකට 4 mg දක්වා වැඩි කළ හැකිය. උපරිම දෛනික මාත්‍රාව – 32 mg කි. මෙහිදී, ආරම්භක මාත්‍රාවෙන් ආරම්භ කිරීමේ වැදගත්කම වන්නේ, ශරීරය සහ හෘද ක්‍රියාකාරීත්වයට අනුව ඖෂධයට ඇති ප්‍රතිචාරය බලා, අතුරු ආබාධ අවම කිරීමයි. වැඩි මාත්‍රා ලබා දීමේදී, වෛද්‍ය උපදෙස් සහ රෝගියාගේ තත්ත්වය සලකා බලනු ලැබේ.

සිරප් (Syrup)

සාමාන්‍ය සාන්ද්‍රණය- 2 mg / 5 mL. වැඩිහිටියන් සඳහා – 5–10 mL දිනකට 3–4 වතාවක් ලබා ගත යුතුයි. ළමුන් සඳහා වයස සහ බර අනුව, වෛද්‍ය උපදෙස් යටතේ මාත්‍රා නියම කරයි. ළමුන් සඳහා සිරප් භාවිත කිරීමේදී, නිවැරදි මිනුම් උපකරණ භාවිත කිරීම අත්‍යවශ්‍යයි. ගෘහස්ථ හැඳි භාවිතයෙන් හඳුනාගැනීමේ දෝෂ ඇතිවීමේ අවදානමක් නිසා, මිනුම් උපකරණ භාවිත නොකිරීමෙන් අධික හෝ අඩු මාත්‍රාවක් ලබා ගැනීමේ අවදානමක් ඇත.

අතුරු ආබාධ

සැල්බියුටමෝල් භාවිතයෙන් ඇතිවන අතුරු ආබාධ බොහෝ විට මාත්‍රාව සහ රෝගියාගේ තත්ත්වය මත වෙනස් වේ. සාමාන්‍ය වශයෙන්, සැල්බියුටමෝල් භාවිත කළ විට වෙව්ලීම (Tremors / Shakiness) ඇති විය හැකිය. මෙය සාමාන්‍යයෙන් මිනිත්තු කිහිපයකින් අඩු වන අතර, අධික මාත්‍රාව ලබාදී තිබේ නම් තරමක් වැඩි විය හැකිය. එමෙන්ම අත් සෙලවීම (Hand Tremors) ඇති විය හැකිය. එය ශරීරයේ සිනිඳු මාංස පේශිවල CAMP මට්ටම වැඩි වීමෙන් මතුවන ලක්ෂණයකි. වැඩිහිටියන්ට අඩු වශයෙන් ද, ළමුන්ට සාමාන්‍යයෙන් තරමක් දැඩි ලෙස ද දැකිය හැකිය. හිසරදය මෙහි තවත් අතුරු ආබාධයකි. සැල්බියුටමෝල් ක්‍රියාකාලය තුළ හෘද හා ශරීර රුධිර ගලා යාම වෙනස් වීම නිසා එසේ සිදුවිය හැකිය. හෘද ස්පන්දන වේගය වැඩීම (Tachycardia / Palpitations) ද ඇති විය හැකිය. එයට හේතුව 2-agonist ක්‍රියාකාරීත්වයයි. එහිදී හෘද රෝග සහ අධි රුධිර පීඩනය ඇති පුද්ගලයින්ට වැඩි අවධානයක් අවශ්‍ය වේ. ඇතමෙක්ට මාංශ පේශි කැක්කුම් ද (Muscle Cramps) ඇති විය හැකිය. දුර්ලභ නමුත් බරපත අතුරු ආබාධ ලෙස දැඩි හෘද වේගය (Severe Tachycardia / Arrhythmia), පපුවේ වේදනාව (Chest Pain), පොටෑසියම් අඩු වීම (Hypokalemia), බ්‍රොන්කොස්පෑස්ම් වැඩිවීම (Paradoxical Bronchospasm) වැනි තත්ත්ව ඇති වේ.

ප්‍රවේශමෙන් භාවිත කළ යුතු අවස්ථා

සැල්බියුටමෝල් භාවිත කරන විට, රෝගියාගේ වෛද්‍ය තත්ත්වය, වයස, ශ්වසන හා හෘද සෞඛ්‍ය තත්ත්වය අනුව ප්‍රවේසමෙන් ක්‍රියා කිරීම අත්‍යවශ්‍යයි.

හෘද රෝග

සැල්බියුටමෝල් 2-agonist ලෙස ක්‍රියා කිරීම මඟින් හෘද ස්පන්දන වේගය වැඩි වී හෘද පීඩනය වැඩි විය හැකිය. එමෙන්ම කාඩියෝමයෝපති (Cardiomyopathy) සහ Arrhythmia ඇති පුද්ගලයන්ට වැඩි අවදානමක් ඇති කරයි. හෘද රෝගීන් සැල්බියුටමෝල් භාවිත කරන විට, වෛද්‍යවරයාගේ උපදෙස් අනුව, මාත්‍රාව අඩු කිරීම, හෘද තත්ත්වය නිරීක්ෂණය කිරීම සහ පරීක්ෂණ කිරීම අත්‍යවශ්‍යය.

අධි රුධිර පීඩනය

සැල්බියුටමෝල් මඟින් හෘද ක්‍රියාකාරිත්වය වැඩි වීමේදී රුධිර පීඩනයත් ඉහළ යා හැකි බැවින්, අධි රුධිර පීඩනය ඇති පුද්ගලයන්ට උපරිම මාත්‍රාවන් සහ පරීක්ෂණ සමඟ භාවිතා කිරීම අවශ්‍ය වේ.

හයිපර් තයිරොයිඩිසම්

තයිරොයිඩ් හෝමෝනය වැඩි වීම නිසා ශරීරයේ පරිවෘත්තිය ක්‍රියාවලිය සහ හෘද ස්පන්දන වේගය වැඩි වන අතර, සැල්බියුටමෝල් භාවිතයෙන් හෘද ස්පන්දනය වැඩි විය හැකිය.

දියවැඩියාව

සැල්බියුටමෝල් මඟින් රුධිරයේ ග්ලූකෝස් මට්ටම වෙනස් කළ හැකිය. ඒ නිසා දියවැඩියා රෝගීන් සඳහා, රුධිර සීනි මට්ටම නිරීක්ෂණය කිරීම සහ වෛද්‍ය උපදෙස් අනුව මාත්‍රා වෙනස් කිරීම වැදගත් වේ.

වකුගඩු ආබාධ

දරුණු වකුගඩු ආබාධ සහ ශරීරයේ electrolyte වෙනස් වීම් ඇති පුද්ගලයන් සඳහා, සැල්බියුටමෝල් මඟින් අඩු පොටෑසියම් මට්ටම ඇති විය හැකි බැවින්, වෛද්‍ය උපදෙස් අනුව පමණක් භාවිත කළ යුතුය.

දරුණු අක්මා රෝග

දරුණු අක්මා රෝගීන් සඳහා සැල්බියුටමෝල් පමණක් ප්‍රතිකාර නොවන අතර, වෛද්‍ය උපදෙස් සහ අතිරේක ප්‍රතිකාර සමඟ භාවිත කිරීම අත්‍යවශ්‍යයි.

සැල්බියුටමෝල් භාවිතා කරන විට, රෝගියාට ලබා දෙන අනෙකුත් ඖෂධ සමඟ ඇති අන්තර්ක්‍රියා සැලකිල්ලට ගත යුතුය. මෙවැනි අන්තර්ක්‍රියා සැල්බියුටමෝල්වල ක්‍රියාකාරීත්වය අඩු කිරීම, අතුරු ආබාධ වැඩි කිරීම හෝ ශරීරයේ රසායනික සමතුලිතතාව අස්ථිර කිරීම වැනි ප්‍රතිඵල ලබා දිය හැකිය.

විශේෂ භාවිතයන්

සැල්බියුටමෝල් සාපේක්ෂව ගර්භිණීභාවය තුළ ආරක්ෂිත ලෙස සැලකේ. ගර්භිණී සමයේ ඇති ඇදුම හෝ හුස්ම හිරවීම නිසා රෝගියාට සහ දරුවාට අවදානමක් ඇති විය හැකිය. සැල්බියුටමෝල් භාවිත කිරීමෙන්, ශ්වසන මාර්ග පුළුල් කිරීම, හුස්ම පහසු කිරීම සහ ඔක්සිජන් ප්‍රවාහනය වැඩි කිරීම සිදු වේ. එමඟින්, ගර්භිණී මාතාව සහ ළමයාට රෝගී තත්ත්වයන්ගෙන් ආරක්ෂාව ලබා දේ. ගර්භිණී රෝගීන්ට, වෛද්‍ය උපදෙස් අනුව ආරම්භක මාත්‍රාව, භාවිත කරන ආකාරය සහ පාලනය තීරණය කළ යුතුය.

මවුකිරි දීම

සැල්බියුටමෝල් මවුකිරි දෙන මවුවරුන්ට ආරක්ෂිත ලෙස සැලකේ. සිරප් හෝ ඉන්හේලර් මාර්ගය ඔස්සේ ලබා දෙන විට, ගර්භිණී/මවුකිරි දෙන මවුවරුන්ට හා ළමයාට අතුරු ආබාධ අවම වේ. එහෙත්, ඖෂධයේ මාත්‍රාව සහ භාවිත කරන ආකාරය වෛද්‍ය උපදෙස් මත පමණක් නියම කළ යුතුය.

අධික මාත්‍රාව

සැල්බියුටමෝල් අධික මාත්‍රාව යනු, රෝගියාට වෛද්‍ය උපදෙස් නොමැතිව සාමාන්‍යයෙන් නිර්දේශිත මාත්‍රාව ඉක්මවා ලබා ගැනීමයි. අධික මාත්‍රාවෙන් මතුවන ලක්ෂණ සහ තත්ත්ව බරපතළ ලෙස සිදු විය හැකිය. එහිදී පෙර කී අතුරු ආබාධයන්ට අමතරව දැඩි පපුවේ වේදනාව, දැඩි වෙව්ලීම, දැඩි කාංසාව සහ වමනය ඇත්නම් ඉක්මනින් වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්න. එවිට වෛද්‍යවරයාගේ නිරීක්ෂණය යටතේ, අවශ්‍ය නම් හෘද පරීක්ෂණ, electrolyte මට්ටම් පරීක්ෂණ, IV fluids සහ supportive treatment ලබා දිය හැකිය.

TEXT – විදුමිණි දිසාකරුණා

You may also like

Leave a Comment

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?