Monday, February 23, 2026
Epaper
Home විශේෂාංගජාතියේ පුවත්පත් කලාවේ සන්නාමය ලේක්හවුස් ආදි කර්තෘ ඩී.ආර්. විජයවර්ධන ශ්‍රීමතාණෝ

ජාතියේ පුවත්පත් කලාවේ සන්නාමය ලේක්හවුස් ආදි කර්තෘ ඩී.ආර්. විජයවර්ධන ශ්‍රීමතාණෝ

by Shanaka Lakehouse

ශ්‍රී ලාංකේය ජනමතය හැඩගැස්වීමේ සහ නිදහස් අරගලයේ මහා ප්‍රඥා බලකණුව ලෙස සැලකෙන දොන් රිචඩ් විජයවර්ධන ශ්‍රීමතාණන්ගේ ගු ණානුස්මරණය මෙරට මාධ්‍ය ඉතිහාසයේ අතිශය වැදගත් සන්ධිස්ථානයකි. පෙබරවාරි 23 වැනිදාට යෙදෙන එතුමාගේ ජන්ම සංවත්සරය නිමිත්තෙන් මෙම සටහන තබන්නේ හුදු පුද්ගල ප්‍රසංසාවකට එහා ගිය ජාතික මෙහෙවරක අභිමානය සහ වර්තමානයේ ද නොසැලී පවතින එම සන්නාමයේ ප්‍රෞඪත්වය ඇගයීමට ය.

1886 පෙබරවාරි 23 වැනිදා සේදවත්ත ප්‍රදේශයේ ධනවත් පවුලක උපත ලැබූ විජයවර්ධන මහතා, මුහන්දිරම් තුඩුගල දොන් පිලිප් විජයවර්ධන සහ හෙලේනා වීරසිංහ යුවළගේ පුත්‍රයකු ලෙස සිය ජීවන ගමන ඇරඹීය. ශාන්ත තෝමස් විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලබා පසුව එංගලන්තයේ කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයට ඇතුළත් වූ ඔහු, බැරිස්ටර්වයකු ලෙස නීතිය හදාරන අතරතුර ඉන්දියානු නිදහස් සටනේ නායකයන් වූ ලාලා ලජ්පත් රායි සහ ජවහර්ලාල් නේරු වැනි දැවැන්තයන් ඇසුරු කරමින් දේශපාලනික දෘෂ්ටිවාදයෙන් පෝෂණය විය.

1912 දී මෙරටට පැමිණි ඔහු ප්‍රථමයෙන් සිය පියාගේ දැව ව්‍යාපාරය දියුණු කරමින් ගොඩනැඟූ ශක්තිමත් ආර්ථික පදනම, පසුව ජාතික නිදහස් සටන සඳහා පුවත්පත් ආයතනයක් මිල දී ගැනීමටත්, රටේ දේශපාලන ගමන් මඟ තීරණය කිරීමටත් ශක්තියක් කරගත්තේය. 1914 දී ‘දිනමිණ’ පුවත්පතත් පසුව 1918 දී ‘Ceylon Daily News’ සහ 1923 දී ‘Observer’ පුවත්පතත් සිය පාලනයට නතු කරගත් ඔහු, පුවත්පත් කලාව වෘත්තීය මට්ටමකට ඔසවා තබමින් ලේක්හවුස් මහා මන්දිරය ගොඩනැඟීය. විජයවර්ධන මහතාගේ දෘෂ්ටිය වූයේ හුදු පුවත්පත් මුද්‍රණය නොව, ජාතියට අවශ්‍ය දේශපාලන, සංස්කෘතික හා ආගමික නායකත්වය සැපයීමයි. විශේෂයෙන් කැලණිය රජමහා විහාරයේ දියුණුව උදෙසා එතුමා කළ කැපවීමත්, එතුමා විසින් පිහිටුවන ලද දැවැන්ත ඩී.ආර්. විජයවර්ධන පුස්තකාලයත් අදටත් මෙරට ඉතිහාසය ගවේෂණය කරන්නන්ට ඇති වටිනාම තොරතුරු නිධානයකි.

බේරේ වැව අද්දර විරාජමානව පවතින ලේක්හවුස් මන්දිරය යනු හුදු කාර්යාල ගොඩනැඟිල්ලක් නොව, එය මෙරට වාස්තු විද්‍යාත්මක උරුමයේ අග්‍රගනණ‍ය නිර්මාණයකි. 1920 දශකයේ අගභාගයේදී නිර්මාණය වූ මෙම මන්දිරය බටහිර හා පෙරදිග වාස්තු විද්‍යාත්මක ලක්ෂණවල මනරම් සංකලනයකි. එහි ඇති සුදු පැහැති බිත්ති, උස් කණු සහ පෞරාණික මෝස්තරවලින් හෙබි කැටයම් මඟින් විදහා දක්වන්නේ විජයවර්ධන මහතා සතුව තිබූ උදාර සහ අභිමානවත් කලාත්මක රුචිකත්වයයි. දශක ගණනාවක දේශපාලන කුණාටු, සමාජ පෙරළි සහ යුද්ධයන්ට සාක්ෂි දරමින් අදටත් නොවෙනස්ව පවතින මෙම ගොඩනැඟිල්ල, පුවත්පත් කලාවේ මහ ගෙදර ලෙස ජනතාවගේ ගෞරවාදරයට පාත්‍ර වේ.

මෑතකාලීනව මෙරට ජනමාධ්‍ය ක්ෂේත්‍රය තුළ විවිධ පටු අරමුණු සහ ව්‍යාපාරික අවශ්‍යතා මත මාධ්‍ය ආයතන විශාල සංඛ්‍යාවක් බිහි වී තිබේ. එවැනි පසුබිමක ලේක්හවුස් ආයතනය සිය වසර සියයකට අධික ගෞරවනීය අනන්‍යතාව රැකගනිමින් සිටීම ප්‍රශංසනීයය. දිනමිණ, සිළුමිණ, Daily News සහ තිනකරන් වැනි පුවත්පත් හරහා භාෂා ත්‍රිත්වයෙන්ම ජාතික අනන්‍යතාව තහවුරු කරන එකම ආයතනය ලෙස මෙය අදටත් විරාජමාන වන්නේ ඩී.ආර්. විජයවර්ධන ශ්‍රීමතාණන් වැනි දූරදර්ශී නායකයකු දැමූ ශක්තිමත් පදනම නිසාවෙනි.

You may also like

Leave a Comment

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?