මෙවර ‘තරුණී’ සහ ‘නුග සෙවණ’ සුසංයෝගයෙන් අප ඔබ වෙත ගෙන එන්නේ වර්තමානය වන විට ඉතාමත් ජනප්‍රි අත්කම් ද්‍රව්‍යයක් වන pipe Cleaners (පයිප් ක්ලීනර්ස්) පිළිබඳවයි. විශේෂයෙන්ම ඉතා පහසුවෙන් සහ ඉක්මනින් ඕනෑම නිර්මාණයක් කරගත හැකි වීම මෙහි ඇති සුවිශේෂීත්වයයි.
නිර්මාණයක නිමාව සහ අලංකාරය කෙරෙහි එහි හැඩතල, මෝස්තරය සහ වර්ණ සංයෝජනය බෙහෙවින් බලපායි. Pipe Cleaners භාවිත කරමින් විවිධ හැඩතල සකසා ගැනීමටත්, ඒ හරහා චමත්කාරජනක නිර්මාණ රැසක් බිහි කිරීමටත් ඔබට හැකියාව තිබේ.
මෙය හුදෙක් විනෝදාංශයක් පමණක් නොව, මානසික සහනය මෙන්ම අමතර ආදායමක් උපයා ගත හැකි මඟක් ලෙස ද යොදා ගත හැකියි.
බිත්ති කණ්ණාඩි සැරසිලිවලට අමතරව මල් කලඹ (Flower Bouquet), බිත්ති සැරසිලි, කුඩා සෙල්ලම් බඩු (Mini Toys), මල් පෝච්චි, ඡායාරූප රාමු, මල් ලාම්පු, යතුරු රඳවන (Key Tags) සහ වෝල් ආර්ට් (Wall Art) වැනි බොහෝ දෑ මෙලෙසින්ම අලංකාර කර ගත හැකියි.
අද අපි බලමු pipe Cleaners ආධාරයෙන් ඔබේ නිවෙසේ අලංකාරය වැඩි කරගන්නේ කොහොමද කියලා.
අවශ්‍ය ද්‍රව්‍ය:
Pipe clenaers (කොළ පැහැය සහ කැමැති වෙනත් වර්ණ කිහිපයකින්)
රවුම් හැඩැති කණ්ණාඩියක්
ග්ලූගන් (Glue Gun) එකක්
මල් රේණු ස්වල්පයක්
බයිංඩින් කම්බියක්
කතුරක්
සෑදීමේ පියවර:
මුලින්ම පයිප් ක්ලිනර්ස් කූරක් ගෙන එය සමාන කොටස් දෙකකට කපා ගන්න.
කපාගත් කොටස් දෙකෙන් එකක් ගෙන සෙන්ටිමීටර් 3 (cm) වන ආකාරයට නවා, එහි යට කෙළවර දෙක එකිනෙක පටලවා (ගැට ගසා) ගන්න.
ඉන්පසු එම නැවූ කොටස මැදින් ඉතිරි කොටස දමා, නැවතත් යට කොටස් දෙක පෙර පරිදිම ගැටගසා ගන්න.
දැන් ඔබට මල් පෙත්තක හැඩයක් ලැබෙනු ඇත. මෙලෙස මල් පෙති 5ක් සකසා ගන්න.
එක් මල් පෙත්තක කෙළවරකට ගම් (Glue) ස්වල්පයක් තබා දෙවැනි මල් පෙත්ත අලවන්න. පිළිවෙළින් පෙති පහම අලවා ගනිමින් රවුම් හැඩැති මලක් සකසා ගන්න.
මල් රේණු දෙකක් ගෙන එය මැදින් නවා, සකස් කරගත් මලේ මධ්‍යයට අලවා ගන්න.
මෙලෙස ඔබට අවශ්‍ය ප්‍රමාණයට මල් කිහිපයක් සකසා ගන්න.
කොළයක් සෑදීම සඳහා පයිප් ක්ලිනර්ස් කූරක් දෙකට කපා ගන්න. එය දෙකට නවා එහි කොටස් එකිනෙක පටලවා කොළයක හැඩය ගෙන අවසානයේ යට කොටස් හතරම එකට ගැට ගසන්න.
දැන් බයින්ඩින් කම්බියක් ගෙන, ඔබ සාදාගත් මල් සහ කොළ පිළිවෙළකට එයට අමුණා අලංකාර වැලක් ලෙස සකස් කරගන්න.
අවසානයේ එම මල් කිනිත්ත කණ්ණාඩියේ එක් පසෙකින් අලවා ගන්න.
සැබවින්ම දැන් ඔබේ නිවෙසට ලැබෙන්නේ අමුතුම ආලෝකයකි. මෙම උපදෙස් අනුව ඔබට අලංකාර බිත්ති ඔරලෝසුවක් වුව ද සරසා ගැනීමට හැකියි.
TEXT – අචිනි ලක්මාලි චන්ද්‍රසේකර
