Monday, February 23, 2026
Epaper
Home විශේෂාංගඒක නිකන් හිසරදයක් නෙවෙයි, හෙණයක් පිපිරුවා වගේ වේදනාවක්

ඒක නිකන් හිසරදයක් නෙවෙයි, හෙණයක් පිපිරුවා වගේ වේදනාවක්

by Shanaka Lakehouse

රත්නපාල මහත්මයා හැට හැවිරිදි වියේ පසුවූවෙක්. එදින සවස් කාලයේත් ඔහු සාමාන්‍ය පරිදි රාජකාරි නිමවා නි‍ෙවසට පැමිණියා. ඔහු වසර ගණනාවක සිට අධි රුධිර පීඩනයෙන් (High Blood Pressure) පීඩා විඳි අයෙක්. එහෙත් ඔහු නිතරම පැවසුවේ, “මට දැන් බෙහෙත් බොන්න තරම් ලොකු අමාරුවක් නැහැ” කියායි. මේ නිසාම පසුගිය මාස දෙකේදීම ඔහු ඖෂධ ලබා ගැනීම මඟහැරියා. සිය ජීවන රටාවේ යහපත් වෙනසක් කිරීමට හෝ දුම්පානය නතර කිරීමට ඔහුට කිසිදු උනන්දුවක් තිබුණේ නැහැ.

වැඩ ඇරිලා නි‍ෙවසට පැමිණ පුටුවේ වාඩි වූවා පමණි; රත්නපාල මහත්මයා දැඩි වේදනාවෙන් හිස බදාගත්තා.

“අනේ.. මගේ ඔළුව පැළන්න වගේ රිදෙනවා!” ඔහු මොරගෑවා. එය සාමාන්‍ය හිසරදයක් නොව, අකුණක් පිපිරුවාක් වැනි දරාගත නොහැකි වේදනාවක්. ඔහු වතුර වීදුරුවක් ගැනීමට උත්සාහ කරන විටම දකුණු අත පණ නැති වී වීදුරුව බිම වැටුණා. බිරිය දිව එන විට රත්නපාල මහත්මයාගේ මුහුණේ පැත්තක් ඇද වී තිබුණා. යමක් පැවසීමට උත්සාහ කළත් වචන පිටවුණේ නැහැ. විනාඩි පහක් ගතවීමටත් පෙර ඔහු වමනය කර සිහිමුර්ජා වුණා.

වාසනාවකට බිරිය වහාම ඔහුව රෝහලට රැගෙන ගියා. සී.ටී. ස්කෑන් (CT Scan) පරීක්ෂණයකින් වෛද්‍යවරුන් තහවුරු කළේ රත්නපාලගේ මොළයේ රුධිර නාලයක් පිපිරී රුධිරය වහනය වී ඇති බවයි.

මොකක්ද මේ Spontaneous ICH කියන්නේ?

සරලවම කිවහොත්, මෙය බාහිරින් හිසට පහරක් වැදීමකින් තොරව (හිසට සිදුවන අනතුරක් නොමැතිව), මොළය තුළ රුධිර නාලයක් ස්වයංසිද්ධව පිපිරී යාමයි. සාමාන්‍යයෙන් අංශඛාගය (Stroke) ඇතිවන්නේ රුධිර කැටියක් හිරවීමෙන් වුවත්, මෙහිදී සිදු වන්නේ ඊට වඩා බරපතළ තත්ත්වයකි. එනම් රුධිර නාලයක් පිපිරී මොළයේ පටක අතරට රුධිරය කාන්දු වීමයි.

මෙය ඇතිවන්නේ ඇයි?

මෙයට ප්‍රධානම සතුරා වන්නේ පාලනය නොකළ අධි රුධිර පීඩනයයි (Uncontrolled Hypertension). ජල බටයක පීඩනය අධික වූ විට එය දුර්වල තැන්වලින් පුපුරා යන්නාක් මෙන්, රත්නපාල ඖෂධ ලබා නොගැනීම නිසා මොළයේ සියුම් නහරවල පීඩනය වැඩි වී අවසානයේදී ඒවා පිපිරී ගියා.

වෙනත් හේතු

වයසට යාමත් සමඟ රුධිර නාල දුර්වල වීම.

රුධිරය තුනී වීමට ගන්නා ඖෂධ (Blood thinners) වෛද්‍ය උපදෙස් රහිතව හෝ පමණ ඉක්මවා භාවිතය

දුම්පානය සහ අධික ලෙස මත්පැන් පානය

රෝග ලක්ෂණ හඳුනා ගමු

මෙය ඉතා හදිසියේ සිදුවන්නක් බැවින් පහත ලක්ෂණ ගැන අවධානයෙන් සිටින්න

දරුණු හිසරදය

ජීවිතයේ කිසිදා අත්නොවිඳි ආකාරයේ තද හිසරදයක්.

ශරීරයේ එක පැත්තක් පණ නැති වීම:

අතක් හෝ කකුලක් එසවීමට නොහැකි වීම.

මුහුණ ඇද වීම

කතා කරන විට හෝ සිනාසෙන විට කට පැත්තකට ඇදී යෑම.

කතා කිරීමේ අපහසුව

වචන පැටලීම හෝ කතා කිරීමට නොහැකි වීම.

වමනය සහ සිහි මඳ ගතිය

කළ යුතු ප්‍රථමාධාර සහ ප්‍රතිකාර

ඔබ අවට සිටින කෙනෙකුට මෙවැනි තත්ත්වයක් ඇති වුවහොත්

වහාම රෝහලක් වෙත රැගෙන යන්න මෙහිදී සෑම තත්පරයක්ම වටිනවා (Time is Brain).

සන්සුන්ව තබන්න රෝගියා කලබල වීමට ඉඩ නොදෙන්න.

කෑම බීම දෙන්න එපා. සිහිය මඳ නම් ඒවා පෙණහලු වෙත යා හැක. විශේෂයෙන්ම ඩිස්ප්‍රින් (Disprin) වැනි පෙති ලබා නොදෙන්න. (එයින් ලේ ගැලීම වැඩි විය හැකිය).

හිස මඳක් ඔසවා තබන්න.

රෝහලේදී සිදු කරන ප්‍රතිකාර

සී.ටී. ස්කෑන් පරීක්ෂණයක් මඟින් ලේ ගැලීම තහවුරු කරගනී.

අධි රුධිර පීඩනය පාලනය කිරීමට දැඩි සත්කාර ඒකකයේ (ICU) ප්‍රතිකාර ලබා දෙයි.

ලේ  කැටිය විශාල නම් හෝ ජීවිත අවදානමක් ඇත්නම් පමණක් ස්නායු ශල්‍ය වෛද්‍යවරුන් (Neurosurgeons) ශල්‍යකර්මයක් සිදු කරයි.

 

පුනරුත්ථාපනය (Rehabilitation)

රෝගියා රෝහලෙන් නි‍ෙවසට පැමිණි පසු මොළයට වූ හානිය යථා තත්ත්වයට පත් කරගැනීමට කාලයක් ගතවේ. ඒ සඳහා:

භෞත චිකිත්සාව (Physiotherapy)

පණ නැති වූ අවයව ක්‍රියා කරවීමට

වාග් චිකිත්සාව (Speech Therapy)

කතා කිරීමේ සහ ගිලීමේ අපහසුතා මඟහරවා ගැනීමට.

මානසික සහාය

පවුලේ අයගේ ආදරය සහ රැකවරණය මෙහිදී ඉතා වැදගත් වේ.

ඔබ මතක තබා ගත යුතුම කරුණු

රත්නපාලට වූ දේ ඔබට නොවීමට නම්:

අධි රුධිර පීඩනය ඇත්නම්, “මට දැන් අමාරුවක් නැහැ” කියා කිසිවිටෙකත් වෛද්‍ය උපදෙස් රහිතව ඖෂධ නතර නොකරන්න.

කෑමට ගන්නා ලුණු ප්‍රමාණය අවම කරන්න.

දුම්පානයෙන් සහ මත්පැන් පානයෙන් සහමුලින්ම වැළකෙන්න.

දිනකට විනාඩි 30ක්වත් ශාරීරික ව්‍යායාමවල නිරත වන්න.

You may also like

Leave a Comment

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?