ඈතින් ඇසෙන රළ බිඳෙන රාවයත්, මීදුමෙන් වැසුණු ප්‍රදීපාගාරයත්, ගල් ඇතිරූ පටු වීදි දිගේ ඇදී එන නැවුම් කෝපි සුවඳත් ඔබේ ගත සිත සනසනවා නම්, ඔබ ඉන්නේ ගාල්ලේ ය. ලෝකප්‍රකට ‘ට්‍රිප් ඇඩ්වයිසර්’ (TripAdvisor) ආයතනයේ 2026 නවතම දත්තවලට අනුව, ලෝකයේ මධුසමය ගත කිරීමට සුදුසුම ස්ථාන අතර 5 වැනි ස්ථානය දිනා ගැනීමට ගාල්ල සමත්ව ඇත්තේ මුළු රටටම අභිමානයක් ගෙන දෙමිනි. ඉතිහාසය සහ ප්‍රේමය එකට මුසු වූ අපූර්ව කවියක් බඳු ගාල්ල, අද වන විට අලුත විවාහ වූ යුවළකගේ සිහින ගමනාන්තය බවට පත්ව තිබේ.
පැරිසිය, වෙනිසිය හෝ ස්විට්සර්ලන්තය වැනි ලොව සුප්‍රසිද්ධ මධුසමය පාරාදීසයන් අබිබවා ගාල්ල මෙතරම් ඉදිරියට ආවේ කෙසේද යන්න බොහෝ දෙෙකුට කුතුහලයකි. ඒ සඳහා බලපෑ ප්‍රධානතම කරුණ වන්නේ ගාල්ල සතු “සංයුක්ත සුන්දරත්වයයි”. ලොව වෙනත් බොහෝ ස්ථානවල ඔබට දැකිය හැක්කේ එක්කෝ මුහුදයි, නැතිනම් ඓතිහාසික නගරයකි. නමුත් ගාල්ලේදී එකම බිම් කඩක් තුළ ලෝක උරුමයක් වන පෞරාණික කොටු පවුරත්, නිල්වන් සාගරයත්, සුඛෝපභෝගී ජීවන රටාවත් එකට අත්විඳීමට සංචාරකයන්ට අවස්ථාව ලැබේ. මෙම අසමසම සුන්දරත්වය සහ පෞරාණික බව නිසාම, ලොව ප්‍රබල සංචාරක රටවල් පරදා ශ්‍රී ලංකාවේ ගාල්ල අද ලෝකයේම අවධානය දිනාගෙන ඇත.
ගාල්ල ලොව මධුසමය ගමනාන්ත අතර පෙරමුණට ඒමට තවත් හේතුවක් වන්නේ එහි ඇති ආදරණීය නිහඬතාවයි. පෞරාණික මන්දිර සහ පැරණි වලව් නවීකරණය කර තැනූ සුඛෝපභෝගී නවාතැන්පොළවල්, මංගල යුවළකට තම පෞද්ගලිකත්වය උපරිමයෙන් විඳීමට අවස්ථාව සලසා දෙයි. විශාල හෝටල්වල පවතින ඝෝෂාකාරී බවින් මිදී, සියවස් කිහිපයක් පැරණි ගොඩනැහිල්ලක් තුළ රාජකීය සැප පහසුකම් විඳිමින් ගත කරන කාලය ඕනෑම යුවළකගේ සිත ප්‍රේමයෙන් පුරවාලයි. රාත්‍රියේදී කහ පැහැති වීදි ලාම්පු එළියෙන් බැබළෙන පටු වීදි දිගේ අත්වැල් බැඳගෙන ඇවිද යෑම, හුදෙක් විනෝද චාරිකාවකට වඩා මතකයන් අතර සදාකාලිකව රඳා පවතින ආත්මීය බැඳීමක් බවට පත්වේ.
නමුදු ගාල්ල යනු හුදෙක් ගල් පවුරු පමණක් නොවේ. සොබාදහමේ අසිරිමත් නිර්මාණයක් වන රූමස්සල කන්ද සහ ඒ පාමුල සැඟවී ඇති ‘ජංගල් බීච්’ වෙරළ තීරය යනු නිදහස සොයන්නන්ගේ රහස් පාරාදීසයයි. කැලෑ රොදක් මැදින් වැටී ඇති දුෂ්කර මාර්ගය අවසානයේ හමුවන මේ නිල්වන් වෙරළ, නගරයේ ඝෝෂාවෙන් මිදී මොහොතක් හුදෙකලා වන්නට කදිම තොටුපොළකි. මීට නුදුරින් පිහිටි ජපන් සාම චෛත්‍යයේ සුදු පැහැති කොත, නිල් අහස සිපගනිමින් සාමයේ පණිවුඩය ලොවටම බෙදා දෙයි. එතැන් සිට මුළු ගාල්ල නගරයම ඔබේ නෙතට හසුවන්නේ චිත්‍රයක් මෙනි.
ගාල්ලේ සංචාරය කරන්නෙකුට ඇති ලොකුම සතුට වන්නේ එහි ඇති විවිධත්වයෙන් යුත් ආහාර සංස්කෘතියයි. මෙහිදී ඔබට රුපියල් දහස් ගණන් වැයවන සුඛෝපභෝගී අත්දැකීමක සිට ඉතා අඩු මිලකට රස විඳිය හැකි වීදි ආහාර දක්වා ඕනෑම දෙයක් තෝරාගත හැකිය. ගාලු කොටුව තුළ ඇති ඇතැම් කුඩා අවන්හල්වලින් නියම දේශීය කුළුබඩු රස පිරි බත් සහ වෑංජන වේලක් ඉතා සාධාරණ මිලකට භුක්ති විඳිය හැකිය. එමෙන්ම කොටු බැම්ම අසල කරත්තවල විකුණන කරස් ගා හැපෙන ඉස්සෝ වඩේ සහ ලුණු ඇඹුල් පදමට සැකසූ අච්චාරු ඔබේ දිව පිනවන බව නොඅනුමානය. මෙසේ අඩු පිරිවැයකින් වැඩි රසයක් සහ ගුණාත්මක බවක් ලැබීමේ හැකියාව ද ලොව පුරා සංචාරකයින් ගාල්ලට ඇලුම් කිරීමට ප්‍රබල හේතුවකි.
විශේෂයෙන්ම කාන්තාවන් සඳහා ගාල්ල යනු සාප්පු සවාරි යෑමට කදිම පාරාදීසයකි. පෞරාණික මැණික් හා ස්වර්ණාභරණවල සිට දේශීය අත්කම් නිර්මාණ, බතික් ඇඳුම් සහ ස්වාභාවික ආලේපන දක්වා විශාල පරාසයක නිෂ්පාදන ගාලු කොටුවේ වීදිවලදී දැකගත හැකිය. මේ සෑම නිර්මාණයක්ම ශ්‍රී ලාංෙක්ය අනන්‍යතාවය ලොවට කියාපාන අතර, ඒවා මිලදී ගැනීමට පැමිණෙන විදේශීය කතුන්ගෙන් ගාල්ල සැමවිටම කාර්යබහුල වී පවතී.
ගාල්ලේ සුන්දරත්වය වඩාත් තීව්‍ර වන්නේ එහි ඇති මිනිසුන්ගේ ආගන්තුක සත්කාරය නිසාවෙනි. දකුණේ මිනිසුන්ගේ සුහදශීලී සිනහව සහ උණුසුම් පිළිගැනීම ඕනෑම සංචාරකයකුට තම නිෙවසේ සිටිනවා වැනි හැඟීමක් ඇති කරයි. වර්තමානය වන විට තිරසර සංචාරක කර්මාන්තය (Sustainable Tourism) දිරිගන්වමින්, පරිසර හිතකාමී ලෙස නිර්මාණය වූ හෝටල් සහ නවාතැන්පොළවල් රැසක් ගාල්ල ආශ්‍රිතව බිහිවී ඇත. මෙය සොබාදහමට ආදරය කරන සංචාරකයන්ගේ පැසසුමට ලක්ව තිබේ.
ඔබ සංචාරය කිරීමට සැලසුම් කරන්නේ නම්, උදෑසන අවදි වී කොටු බැම්ම මත සක්මන් කරන්න. එවිට පිනිබිඳු තැවරුණු තණබිම් සහ මුහුදේ සිට එන නැවුම් සිසිලස ඔබේ ගත වෙළා ගනු ඇත. සවස් යාමයේ හිරු බැස යන දසුන කොටු බැම්ම මත සිට නරඹන විට, ලෝකය කොතරම් සුන්දරදැයි ඔබට හැඟෙනු ඇත. ගාල්ල යනු බලන්නට යන තැනකට වඩා විඳින්නට යන තැනකි. එම නිසාම, දකුණු ලක මේ සිරි අසිරිය වරක් හෝ අත්විඳින්නට ඔබත් ගාල්ලට පියමං කරන්න. ඒ අසිරිය ඔබේ ජීවිතයට අලුත් බලාපොරොත්තුවක් සහ අමතක නොවන මතකයක් එක් කරනු ඇත.
TEXT – තුෂානි රාජපක්ෂ
