Monday, February 23, 2026
Epaper
Home විශේෂාංගපාසල් පවුරෙන් එපිටට ගිය ප්‍රේමය

පාසල් පවුරෙන් එපිටට ගිය ප්‍රේමය

by Shanaka Lakehouse

අද මේ ලිපියෙන් සාකච්ඡා කරන්නේ ලියුම්කරුට හමු වූ ගැටලුවක් පිළිබඳව නම් නොවෙයි. නමුත් කතා කළ යුතුම මාතෘකාවක්. මෑතකදී ශ්‍රී ලාං‍ෙකය සමාජය තුළ දැඩි ලෙස කතාබහට ලක්වූ සිද්ධිය තරුණී කියවන සියලුම දෙනාට මතක ඇති.

කොළඹ ජනප්‍රිය පාසලක ශිෂ්‍යයෙක් සහ ගුරුවරියන් කිහිපදෙනකු සම්බන්ධ සිදුවීම මාතෘකා කොට ගැනීම ඉතා සුදුසු යැයි හැඟිණි.

එදා මෙදාතුර ලෝක ඉතිහාසයේ ගුරුවරුන් හා සිසු සිසුවියන් අතර මෙවැනි සිදුවීමක් සිදුවූ ප්‍රථමවතාව මෙය නොවන අතර මෙවැනි සිදුවීම්වල අවසාන සිදුවීම ද මෙය නොවන බව අප සියලු දෙනාම මතක තබා ගත යුතුය.

වැඩිහිටියාගේ සිට කුඩා දරුවා දක්වා මෙම සිදුවීම තලු මරමර රහ බැලුවේ එහි ඇති කුණු රසය නිසාය. සාමාන්‍යයෙන් මිනිස් ප්‍රජාව මෙලොවට බිහිවී ඉතා විශාල කාලයක් ගෙවුණද, අප ශිෂ්ටාචාර ගතවීමට හා තාක්ෂණිකව දියුණු වීමට ගතව ඇත්තේ වසර අටසියයකටත් වඩා අඩු කාලයකි. විශේෂයෙන් කාර්මික විප්ලවය සිදුවීමත් සමඟම තාක්ෂණික වශයෙන් ක්‍රමයෙන් දියුණු වීමට පටන් ගත්තේය. නමුත් මනසේ වර්ධනය ඒ හා සමානව වේගවත්ව සිදු නොවීය. මිනිස් ප්‍රජාව විශාල කාලයක් දඩයම් යුගය ගෙවූ අතර දඩයම් යුගයේ කුණු මස් රසවිඳීමේ මානසික අවශ්‍යතාව තවමත් මැකී ගොස් නොමැත. මේ නිසාම ලිංගිකත්වය, ඝාතන, මරාගැනීම් වැනි අපුල දනවන දේ පිළිබඳව දැඩි ආශාවක් පෙන්වනු ලබයි. මේ නිසාම පසුගිය දිනවල ජනප්‍රිය පාසල හා සම්බන්ධ සිදුවීම බොහෝ දෙනා රහසිගතව හෝ කුණු රස වින්දනයක් ලබා ගැනීම සඳහ භාවිතා කළේය.

අපගේ ජීවිත කාලය තුළ පමණක් අනන්ත අප්‍රමාණ ප්‍රමාණයක් ගුරු ගෝල ආදර සබඳතා සහ ලිංගික සබඳතා අසා දැක ඇත. ශිෂ්‍යයින් විවාහ කර ගත් ගුරුවරියන් ද ශිෂ්‍යාවන් විවාහ කරගත් ගුරුවරුන් ද මේ වන විට සමස්ත සමාජය පුරා වුවමනාවටත් වඩා විසිර පැතිර සිටිති.

පාසල් පද්ධතියේ පමණක් නොව විශ්වවිද්‍යාල සහ වෙනත් උසස් අධ්‍යාපන ආයතනවල ද මෑතක සිට උපකාරක පන්තිවල ද මෙම සිදුවීම් අප්‍රමාණව සිදුවේ. කෙසේ වෙතත් මෙම සිදුවීම සජීවී වීඩියෝ සාක්ෂි සහිතව සමාජගත වීම නිසා, සමාජ මාධ්‍ය පුරා වේගයෙන් පැතිර ගියේය. තමාගෙන් ඉගෙන ගත් ශිෂ්‍යයන් සමඟ පවුල් කන ගුරුවරියන් එදා සමාජයේත් නොසිටියා නොවේ. නමුත් එදා දින කිහිපයක් කිහිප දෙනෙකු අතර කනින් කොනින් යන සාකච්ඡාවක් පමණක් විය. තාක්ෂණික දියුණුවේ අයහපත් විපාක පෙන්වමින් මෙවර මෙම සමාජ කතිකාවත නොයා යුතු කතිකාවතක් කරා හා නොයා යුතු සමාජ තල දක්වා පැතිර ගියේය.

මෙම ලිපියෙන් අප උත්සාහ දරන්නේ උක්ත සිදුවීම සාධාරණීකරණය කිරීමට නොවේ. ගුරුවරියන් කෙරෙහි අප්‍රකාශිතව ප්‍රේම කරන මනසින් ලිංගිකව හැසිරෙන පිරිමි දරුවන් බොහෝ ප්‍රමාණයක් අපගේ මනෝ උපදේශන සේවාවන් සඳහා පැමිණ තිබේ. එසේම ගුරු ගීතයේ එන අල්තීනායි මෙන් ගුරුවරුන්ට අප්‍රකාශිතව ප්‍රේම කරන හා මනසින් ලිංගික සුවය ලබාගන්නා සිසු දැරියන් නැතුවාම නොවේ. එවැනි දරුවන් ද අපගේ මනෝ උපදේශන සේවාවට පැමිණ ඇත.

මෙම ලිපිය කියවන ඔබට ද ඔබගේ පාසල් කාලය තුළ ගුරුවරුන් හා ගුරුවරියන් සමඟ අප්‍රකාශිත ප්‍රේම වෘත්තාන්ත තිබෙන්නට ඇත. ඒවා කාලයාගේ ඇවෑමෙන් නිවී ගිය ආකාරය ඔබට මතක ඇති.

නව යොවුන් විය එසේය. කොළඹ ජනප්‍රිය පාසලේ සිදුවූ සිදුවීමේ සිසුවා ද නව යොවුන් විය ඉක්මවූවෙක් නොවේ. එසේ ගුරුවරියන්ගේ භාව ලීලාවලට මානසිකව බැඳීම නිරායාසයෙන්ම සිදුවන්නකි. අතීතයේදී දරුවන් ගුරුවරියන්ගේ ශාරීරික අඟපසඟ චිත්තරූප ලෙස මැව්ව ද අද දරුවාට ඒ සඳහා තාක්ෂණික උපකරණ ලැබී ඇත.

ඔහු එය යථාර්ථයක් කර ගැනීමට උපක්‍රම භාවිත කර ඇත. එවැන්නක් යථාර්ථයක් කර ගැනීමට නොහැකි වූ සිසු සිසුවියන් අදටත් එය මනසින් රසවිඳිනවා ඇත. දරුවා මහා බරපතළ වරදක් කර නොමැත. ඒ දරුවන්ගේ මානසික තත්ත්වයයි. එයට අනුබල දීම වැඩිහිටි සමාජය විසින් නොකළ යුත්තකි. අද සමාජ මාධ්‍ය විසින් දරුවා ආනන්තරිය පාපකර්මයක් කළ අයකු මෙන් හංවඩු ගසා ඇති අතර තවත් පිරිසක් මේ දරුවා ජාතික වීරයෙක් තරමටම ඔසවා තැබීමට යත්න දරන බව පෙනේ. සැබැවින්ම විකෘති මානසික මට්ටමක පසු වන්නේ මෙම සිදුවීම සමාජ මාධ්‍ය හරහා තව තවත් තලු මරන කණ්ඩායම්ය.

ගුරුවරුන් ද මනුෂ්‍යයෝය. ලෙයින් මසින් සැදුණු අයය. ඔවුන්ගේ ද කායික මානසික අවශ්‍යතා සමාජයේ අනෙක් අය හා සමානවම ඇති අයයි. මේ කිසිවෙක් රහත්භාවය ලැබූ අය නොවේ. සමහර ගුරුවරුන් ද දරුවන් කෙරෙහි ප්‍රේමණීයව හා

ලිංගිකව අප්‍රකාශිත බැඳීම්වලින් මානසික චිත්ත රූප මවමින් සිටින අවස්ථා නැත්තේම නොවේ. ඒ නයින් බලන කල කොළඹ ජනප්‍රිය පාසලේ සිදුවූ සිදුවීම සාමාන්‍ය දෙයකි.

නමුත් ගුරුවරුන් වන වැඩිහිටියන් නව යොවුන් වියේ දරුවන්ගේ මානසික මට්ටමට වැටිය යුතු නොවේ. මෙම සිදුවීම සිදු නොවිය යුතුව තිබුණු සිද්ධියකි. මෙම සිදුවීමේ වැඩි වරදක් කර ඇත්තේ ගුරුවරියන් බව ලියුම්කරුගේ මතයයි. මන්ද බොහෝ දැන උගත් ගුරුවරුන් ඉවසීම හා හැඟීම් පාලනය මැනවින් පුහුණු කළ යුතුව ඇත.

එසේම අත්දැකීම්වලින් හා වයසින් පරිණත වෙද්දී තමන් කරන කියන දෑ සිහිබුද්ධියෙන් යුතුව කළ යුතුය. එසේම ගුරුවරුන් යනු දරුවන් හා සමාන ළාමක ගතිගුණවලින් යුතු අය නොවිය යුතුය.

ගුරුවරුන් අධිකාරී බලයකින් යුක්ත අයය. ඔවුන්ගේ බලයට තමාට වඩා වයසින් අඩු බුද්ධියෙන් අඩු දැනුමෙන් අඩු දරුවන් යටත් කර ගැනීමේ හැකියාවක් ඇති අයය. අහිංසක අංගුලිමාලයෙක් බවට පත්වූයේ ද මෙවැනි ගුරුවරුන් නිසාය.

දරුවා අනාරක්ෂිත තත්ත්වයකට ඇද දැමීම, බලපෑම් නොකිරීම, අනවශ්‍ය ලෙස වැඩිපුර වරප්‍රසාද ලබාදීම ගුරුවරුන් විසින් නොකළ යුත්තේය. මෙම සිද්ධියට හසු වූ ගුරුවරියන් එම දරුවා අනාරක්ෂිත තත්ත්වයකට ඇද දමා ඇත. එය බරපතළ වරදකි. නීතියෙන්වත් සමාජයෙන්වත් සමාව ලබාදිය නොහැකි වරදකි. වෘත්තියෙන් තමාට හිමිව ඇති අධිකාරී බලය අවභාවිත කිරීමකි. එසේම සමාජයට බරපතළ වැරදි ආදර්ශයක් සපයන කාරණයකි.

මේ සියල්ල ඉදිරියේ මෙම සිද්ධියට මුහුණ පෑ දරුවා හා ගුරුවරියන් මහා සමාජය විසින් දඬුකඳේ ගසා අවසානය. මෙවැනි සිදුවීම් යළි යළිත් මේ සමාජය තුළ අසන්නට දකින්නට ලැබෙනු ඇත. එවැනි අවස්ථාවලදී වත් බුද්ධිමත් හා පරිණත සමාජයක් ලෙස සමාජ මාධ්‍ය හසුරුවන ආකාරය බහුජනයා සිතට ගත යුතුය.

You may also like

Leave a Comment

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?