Wednesday, March 4, 2026
Epaper
Home විශේෂාංගඅම්මා අපව හුරු කළේ බොරු ආටෝප නැති සැබෑ ලෝකයටයි

අම්මා අපව හුරු කළේ බොරු ආටෝප නැති සැබෑ ලෝකයටයි

විශාරද නන්දා මාලනියන්ගේ දියණිය අමා ගෝකුල

by Shanaka Lakehouse

“කලා වැවෙන් ගත් දිය දෝතක් සේ වටී වටී ඔබ මටම වටී

බෝධියකින් වට බෝ කොළයක් සේ අගී අගී ඔබ මටමැ අගී”

මේ ගීතය සවන වැකෙත්ම අප කාගෙත් සිහියට නැගෙඟනේ ජාතියේ පිනට පහළ වූ හෙළ සංගීතයේ අම්මා යැයි කිව හැකි තරමටම ජාති, ආගම්, වයස් ආදි කිසිදු භේදයකින් තොරව අප හදවත් නැළවූ විශාරද නන්දා මාලනියයි. ඉඳින් ශ්‍රී ලාංකේය සංගීතයේ මවක බඳු ඇය පිළිබඳ ඇගේ දියණිය අමා ගෝකුල දැක්වූ අදහස්වලින් මෙවර ‘තරුණී’ අම්මාවරුනේ විශේෂාංගය හැඩ වෙයි. ඒ අනුව ඇය ළමා අවදියේ පටන් සිය මෑණියන් හා ගෙවූ ජීවිතයේ මතක අප සමඟ බෙදා ගත්තේ මේ ආකාරයෙනි.

ඇත්තටම අපේ ළමා කාලය එතරම් සුවපහසුව සුන්දරව ගෙවී ගිය එකක් නොවේ. මම සහ අක්කා අවුරුදු හතරක පහක පමණ කාලයක් ජීවිතයට මුහුණ දුන්නේ විවිධ හැලහැප්පීම් මැදයි. ඇත්තටම අපේ අම්මා ඒ දවස්වල සිය ජීවිතයේ ගත් සුවිශේෂී තීරණ ඇගේ ජීවිතයේ මෙන්ම අපේ ජීවිත යහපත් වීම වෙනුවෙනුත් ගත් හොඳම තීරණ යැයි මා විශ්වාස කරනවා. අද අපි මෙවන් යහපත් ජීවිතයක් ගත කරන්නේ එදා අපේ අම්මා ගත් ඒ තීරණ නිසා බව ඉඳුරාම කිව යුතුයි.

ඉතින් අප පුංචි කාලයේ පටන් අප වෙනුවෙන් මවකගේ වගකීම් මෙන්ම පියාගේ වගකීම් ද ඉටු කරන්නට සිදු වුණේ අපේ අම්මාටයි. ගෙදර සියලු වගකීම් සමඟ ගැහැනු ළමයි දෙදෙනකුගේ වගකීම්ද ඉටු කරමින් ඉතා සංකීර්ණ ජීවිතයක් ගත කරන්නට ඒ අනුව අපේ අම්මාට සිදු වුණා. මීට වසර පනස් පහකට පමණ පෙරාතුව එවන් වගකීමක් දැරීම අදට සාපේක්ෂව පහසු කාර්යයක් නොවේ. ඉතින් ඇත්තටම අපව ළඟ තබාගෙන සුරතල් කරමින් අප පසුපස හිඳ අපව රැක බලා ගැනීමට තරම් විවේකයක් අම්මාට තිබුණේ නැහැ. ඇත්තටම අම්මා එදා පවුලේ ආර්ථිකය තනිව කර මත තබා ගනිමින් අප වෙනුවෙන් කළ කැපකිරීම ගැන දියණියක ලෙස මට තියෙන්නේ විශාල ආඩම්බරයක්.

“දරුවන්ගේ දුක් කඳුළු දකින දා

සුර ලොව සිට අත පා ඒ කඳුළැලි පිසිනා”

මෙම ගී පද ලියැවෙන්නේ ධර්මසිරි ගමගේ සූරින් අතින් වුවත් ඒ පද රසවත්ව අප සවන් වැකෙන්නේ නන්දා මාලනියගේ අමා ස්වරයෙනි. ඉඳින් මේ පදවැල් හා සමානවම නන්දා මාලනිය සැබෑ මවක ලෙස සිය දියණිවරුන්ට සමාජයේ ජීවත් වන්නට කියා දුන් ආකාරය ඉතා අගනේය. මේ ඒ ගැන අමාගේ අදහසයි.

අම්මා නිතරම අප පසුපසින් නොසිටියත් මේ සමාජයේ ජීවත් විය යුතු ආකාරය අපට කියා දුන්නා. “මේ වැඩේ මෙහෙම කළොත් ලැබෙන්නේ මේ වගේ ප්‍රතිඵලයක්” යනුවෙන් අම්මා අපට නිතරම උපදෙස් දුන්නා. ඉතින් ඒ අනුව වගකීම් දැරීම, තමන්ගේ දේවල් තමා විසින්ම ඉටු කර ගැනීම ආදියට අප පුංචි කාලයේ ඉඳන්ම හුරු වුණා. ඒ වුණත් අම්මා ඒ හැම කටයුත්තකදීම නිතර අප කෙරෙහි අවධානයෙන් සිටි බව කිව යුතුයි.

මමයි අක්කයි පාසල් ගියේ නුගේගොඩ අනුලා විද්‍යාලයට. අප හැමදාම පාසල වෙත ගමන් කළේ පා ගමනින්. අප ජීවත් වුණු ප්‍රදේශයේ බොහෝ දැරියන් ගියෙත් අනුලා විද්‍යාලයට. ඒ නිසා අපි පාසල් ගියේ අවට මිතුරියන් සමඟ. ඒ හින්දා අපට ආරක්ෂාව ගැන ප්‍රශ්නයක් මතු වුණේ නැහැ. ඒ වුණත් පාසල් යන අතරමඟ පරිස්සමින් යන්නේ කොහොමද, කරදරවලින් මිදෙන්නේ කොහොමද යනාදිය ගැන අම්මා අපට කියා දීලා තිබුණා. ඒ වගේම ඕනෑම දෙයක් අම්මාට පැවසීමේ නිදහසත් අම්මා විසින්ම අපට ලබා දුන්නා. ඒත් කවදාවත්ම පාසලේදී ඇති වන ප්‍රශ්නවලට අම්මාගේ ප්‍රසිද්ධිය භාවිත කරමින් මැදිහත් වුණේ නැහැ. ඒ වගේම අප කවදාවත්ම විසඳා ගන්නට බැරි තරමේ ප්‍රශ්න හදා නොගත් බවත් කිව යුතුයි.

විභාග සමත් වීම ගැන අම්මා දවසක් මෙහෙම කතාවක් අපට කීවා. “මට ඔයාලා වෙනුවෙන් සාමාන්‍ය පෙළ කරන්න බැහැ. පාසල් යවන්නට අවශ්‍ය දෑවලට වියදම් කිරීම, අමතර පන්තියක් පැවැත්වීම ආදිය මට කළ හැකියි. හැබැයි විභාගය වෙනුවෙන් වගකීම් පැවරෙන්නේ ඕගොල්ලන්ට. විභාගය අසමත් වුණොත් ඊට සරිලන දෙයක් ඔබ කළ යුතුයි. ඊට පස්සේ මගේ දුවට මෙය කර දෙන්න හැකිද යනුවෙන් මට කාගෙන්වත් අහන්නට බැහැ” යනුවෙන් ඇය මට පැවසුවා.

ඒ අනුව අම්මා කියන්නේ ඍජුවම ඇත්ත කතා කළ චරිතයක්. බොරු ආටෝප ලෝකයට ඇය අපව හුරු කළේ නැහැ. ඒ නිසා නිතරම ජීවිතයේ වගකීම් දැරීම, යම් කාර්යයක් හොඳින් ඉටු කිරීම, තනිව යමක් සිදු කිරීම ආදියට අපි හුරු වුණා. ඒ වගේම කවදාවත් අපේ අම්මා අපේ කිසිදු දෙයකට ඇඟිලි ගැහුවේ නැහැ. පාසලේ විෂයයන් තෝරා ගැනීමේදී පවා ඇය කිසිදු දිනක බලපෑමක් නොකළ බව කිව යුතුයි. ඇත්තටම ළඟ තියාගෙන සුරතල් කරමින් රැක බලා ගන්නවාට වඩා තනිව තීරණ ගැනීමට අපව හුරු කිරීම අපට ලොකු ශක්තියක් වුණා. අද මම මැදිවියේ පසුවන දරුවෙක් ඉන්න මවක් විදිහට එදා අම්මා ක්‍රියා කළ විදිහ නිවැරදි යැයි තරයේ විශ්වාස කරනවා.

සිය ආදරණීය මවගේ ජීවනාදර්ශ සිය ජීවිතවලට ආභාසය වූ සැටි අමා අප හමුවේ ගෙනහැර පෑවේ මේ ආකාරයෙනි.

අපේ අම්මා හරි පිළිවෙළට වැඩ කරන කෙනෙක්. අදටත් අපේ අම්මා කාගෙන්වත් යැපෙන්නේ නැහැ. ආණ්ඩුවකින් හෝ කිසිදු සංවිධානයකින් හෝ කිසිවක් අම්මා අරගෙන නැහැ. කාටවත් ණයක් නොවී සිය වෘත්තියෙන් ගොඩනඟා ගත් දෙයින් ඇය අපවද උස් මහත් කරමින් හැම දෙයක්ම ගොඩනැඟුවා. ඇත්තටම ඒ ගුණාංගය මටත් ලැබී තිබෙනවා. ලැබෙන දෙයින් සකසුරුවම්ව පිළිවෙළට වැඩක් කරන්නට මට හුරුව ලැබුණේ අම්මා නිසා බව කිව යුතුයි.

කලට වේලාවට වැඩ කිරීම, දුන් පොරොන්දු නිසැකවම ඉටු කිරීම හෝ කළ නොහැකි යමක් කළ නොහැකි බව ප්‍රකාශ කිරීම වැනි ගුණාංග අම්මා සතු වුණා. ඒ සියලු ගුණාංග අපේ ජීවිතවලටත් ලැබී තිබෙනවා. ඒ වගේම ජීවිතයේ ප්‍රශ්න දෙස උපේක්ෂාවෙන් බලමින් කලබලකාරීව පිළිතුරු නොසොයා තමන්ට ගැළපෙන ආකාරයෙන් එය විසඳා ගැනීමට අම්මා පුරුදුව සිටියා.

නිතර සිනාමුසු මුහුණින් ප්‍රියංකර වූ මියුරු ස්වරයෙන් අප සවන් පිනවූ නන්දා මාලනිය අද තරමක අසනීප තත්ත්වයෙන් පසුවුවද ඈ ගෙවන අභිමානවත් දිවිපෙවෙත ගැන දියණිය අමා අප හමුවේ මෙසේ අදහස් පළ කළාය.

ඇත්තටම අපේ අම්මා බොහොම වාසනාවන්තයි. අම්මාගේ ජීවිතයට ප්‍රශ්න අසීමිතව පැමිණියා. ඒත් අදටත් ඇය ස්වාධීන චරිතයක්. අදටත් ඇය ජීවත් වන්නේ අපෙන් හෝ එකදු රුපියලක්වත් අරගෙන නොවේ. එදා සිට ගොඩනඟාගත් ජීවන රටාව තුළ අම්මා අදටත් ජීවත් වෙනවා. දරුවන් වෙනුවෙන් අදටත් අපේ අම්මා ‘සිය සංගීත ආශ්‍රමය’ පවත්වාගෙන යමින් ඇය සිය ජීවිතය ස්වාධීනව ගත කරනවා.

ඉතින් අවුරුදු අසූ දෙකක කාන්තාවක් එසේ ස්වාධීනව ජීවත් වෙනවා යැයි කියන්නේ එය විශාල අභිමානයක්. මේ වන විට ජීවිතයේ සැඳෑ සමය ගත කරන අපේ අම්මා අදටත් අනුන්ගෙන් යැපෙන්නේ නැතිව ඇයට රිසි පරිදි සතුටින් ජීවත් වෙනවා.

 

TEXT – පසිඳු මිහිරාන් රැටියල

You may also like

Leave a Comment

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?