Monday, February 23, 2026
Epaper
Home විශේෂාංගනිහඬව පැමිණෙන ගැබ්ගෙල පිළිකාවේ ඔබ දැනගත යුතුම ඇත්ත

නිහඬව පැමිණෙන ගැබ්ගෙල පිළිකාවේ ඔබ දැනගත යුතුම ඇත්ත

by Shanaka Lakehouse

ලංකාව තුළ ගැබ්ගෙල පිළිකා රෝගීන්ගෙන් 70%ක් පමණ හඳුනා ගනු ලබන්නේ රෝගය උත්සන්න වීමෙන් පසුවය.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) සංඛ්‍යාලේඛන වාර්තාවලට අනුව ලෝකයේ බහුලවම දක්නට ලැබෙන පිළිකා අතර ගැබ්ගෙල පිළිකාව සිව්වන ස්ථානයේ පවතී. ශ්‍රී ලංකාවේ සංඛ්‍යාලේඛනවලට අනුව එය දෙවැනි ස්ථානයේ පවතින අතර, පියයුරු පිළිකාවට පසුව කාන්තාවන් අතර බහුලවම දක්නට ලැබෙන පිළිකා රෝගය මෙයයි. ලංකාව තුළ ගැබ්ගෙල පිළිකා රෝගීන්ගෙන් 70%ක් පමණ හඳුනා ගනු ලබන්නේ රෝගය උත්සන්න වීමෙන් පසුවය. නමුත් මෙම පිළිකාව කල්තියා හඳුනාගෙන ප්‍රතිකාර කිරීමෙන් 93%කට වඩා වැඩි පිරිසකට වසර 5කට වඩා වැඩි කාලයක් ජීවත් වීමේ අවස්ථාව ලැබේ. මෙම පිළිකාව බොහෝ විට HPV වයිරසය මූලික කරගෙන හටගන්නා බැවින් අනාරක්ෂිත ලිංගික සබඳතාවලින් වැළකී සිටීම ඉතා වැදගත් වේ. ගැබ්ගෙල පිළිකාව මුල් අවධියේදී හඳුනාගැනීමෙන් එය සම්පූර්ණයෙන්ම සුව කළ හැකි බැවින් ඒ පිළිබඳව අනවශ්‍ය ලෙස බිය විය යුතු නැත.


‘ගැබ්ගෙල පිළිකාව’ යනු කුමක්ද සහ මෙය ඇති ෙන්නේ කෙසේද?

ගැබ්ගෙල (Cervix) ආශ්‍රිත සෛල අක්‍රමවත් ලෙස වර්ධනය වීම (Malignant Cell Growth) හරහා ගැබ්ගෙල පිළිකාව (Cervical Cancer) හට ගනී. මෙය බොහෝ විට Squamous Cell Carcinoma ලෙසත්, සමහර අවස්ථාවලදී Adenocarcinoma ලෙසත් ඇති විය හැකියි. මීට ප්‍රධානතම හේතුව වන්නේ ලිංගික සබඳතා හරහා බෝ වන HPV (Human Papilloma Virus) වයිරසයයි. මෙයින් HPV 16 සහ HPV 18 යන වයිරස් කාණ්ඩ දෙක වඩාත් අවදානම් සහගතය. මෙම වයිරසය ගැබ්ගෙල සෛලවලට ඇතුළු වී එහි DNA විකෘති කිරීම නිසා අක්‍රමවත් සෛල වර්ධනයක් සිදුවේ. මෙය සාමාන්‍යයෙන් වසර 10ත් 15ත් අතර කාලයක් තිස්සේ ඉතා මන්දගාමිව සිදුවන ක්‍රියාවලියකි.

අවදානම වැඩි කරන කරුණු

කුඩා අවධියේදීම ලිංගික සබඳතා ආරම්භ කිරීම.

බහු ලිංගික සබඳතා පැවැත්වීම.

HPV ආසාදිතයෙකු සමඟලිංගිකව එක්වීම.

දීර්ඝකාලීන දුම්පානය, මත්පැන් පානය සහ ප්‍රතිශක්තිය දුර්වල කරන වෙනත් රෝගී තත්ත්වයන්.

රෝගයේ මුල් අනතුරු ඇඟවීම් හෝ රෝග ලක්ෂණ මොනවාද?

ගැබ්ගෙල පිළිකාව මුල් අවධියේදී රෝග ලක්ෂණ නොපෙන්වන බැවින් මෙය ‘නිහඬ වර්ධනයක්’ (Silent Growth) සහිත රෝගයක් ලෙස හැඳින්වේ. කෙසේ වෙතත්, පහත ලක්ෂණ පිළිබඳව අවධානය යොමු කිරීම වැදගත්ය.

සාමාන්‍ය ඔසප් චක්‍රයට අමතරව අසාමාන්‍ය ලෙස රුධිරය වහනය වීම.

ලිංගික සබඳතාවලදී හෝ ඉන් පසුව රුධිරය වහනය වීම.

ආර්තවහරණය (Menopause) වූ කාන්තාවකගෙන් නැවත රුධිරය වහනය වීම.

යෝනියෙන් අසාමාන්‍ය ලෙස දුර්ගන්ධයක් සහිත හෝ රුධිරය මිශ්‍ර ද්‍රවසක් පිටවීම.

ලිංගික සබඳතාවලදී ඇතිවන වේදනාව (Dyspareunia).

යටිබඩ හෝ කලවා ආශ්‍රිතව ඇතිවන වේදනාව.

මීට අමතරව අධික තෙහෙට්ටුව, ආහාර රුචිය අඩුවීම, බර අඩුවීම සහ රාත්‍රියට දහඩිය දැමීම වැනි සාමාන්‍ය පිළිකා ලක්ෂණද මතු විය හැකිය. මෙම ලක්ෂණයක් තිබූ පමණින්ම එය පිළිකාවක් නොවිය හැකි බැවින් වෛද්‍ය උපදෙස් ලබා ගැනීම අත්‍යවශ්‍ය වේ.

මෙම රෝගයට ප්‍රධාන හේතුව HPV වයිරසයද? එය බෝ වන්නේ කෙසේද?

ඔව්, ගැබ්ගෙල පිළිකාවට ප්‍රධානතම හේතුව HPV වයිරසයයි. වෛද්‍ය විද්‍යාත්මකව පිළිගත් කරුණ නම් HPV ආසාදනයකින් තොරව මෙම පිළිකාව හට නොගන්නා බවයි. මෙය ප්‍රධාන වශයෙන් ලිංගික සබඳතා (Vaginal Intercourse) හරහා හෝ ලිංගික අවයව අතර සිදුවන ඝෘජු සම ස්පර්ශය හරහා බෝ විය හැකිය. HPV යනු ලිංගිකව සම්ප්‍රේෂණය වන ආසාදනයකි (STI). HPV ආසාදනය වූ සෑම කාන්තාවකටම පිළිකාව වැලඳෙන්නේ නැත; බොහෝ විට වසර 1-2ක් ඇතුළත සිරුරේ ප්‍රතිශක්තිය මඟින් වයිරසය ඉවත් කෙරේ. නමුත් HPV 16 සහ 18 වැනි ප්‍රචණ්ඩකාරී වෛරස් කාණ්ඩ සිරුරේ දීර්ඝකාලීනව රැඳී සිටීමෙන් පිළිකා තත්ත්වයක් ඇති කළ හැකිය.

වැඩිපුරම අවදානම පවතින්නේ කා හටද?

වයස:

බහුලව වයස අවුරුදු 30ත් 60ත් අතර කාන්තාවන්

ලිංගික ජීවන රටාව:

කුඩා කල ලිංගිකව එක්වීම, දරුවන් වැඩි පිරිසක් බිහි කිරීම (High Parity) සහ බහු ලිංගික සබඳතා

ප්‍රතිශක්තිය:

දුම්පානය හෝ ප්‍රතිශක්තිය අඩු කරන ඖෂධ (Steroids) භාවිතය නිසා සිරුරේ ආරක්ෂාව දුර්වල වීම.

නොසැලකිලිමත්කම: නිසි කලට පැප් (Pap Smear) පරීක්ෂණ සිදු නොකිරීම.

පැප් (Pap Smear) පරීක්ෂණය වේදනාකාරීද? එයින් සිදු කරන්නේ කුමක්ද?

පැප් පරීක්ෂණය පිළිබඳව සමාජයේ පවතින බිය අනවශ්‍යය. මෙය ඉතා කෙටි, සරල සහ ආරක්ෂිත පරීක්ෂණයකි. මෙහිදී සිදු කරන්නේ ගැබ්ගෙල මතුපිටින් ඉතා සුළු සෛල ප්‍රමාණයක් ලබා ගෙන පරීක්ෂා කිරීමයි. මෙහිදී පිළිකාවට පෙර ඇතිවන සෛලීය වෙනස්කම් (CIN) හඳුනාගත හැකිය. මෙය වේදනාකාරී නොවන අතර සුළු අපහසුතාවක් පමණක් දැනිය හැකිය. රෝග ලක්ෂණ මතු වීමට පෙර පිළිකා තත්ත්වයක් හඳුනා ගැනීමට ඇති හොඳම ක්‍රමය මෙයයි.

සිරුරේ ප්‍රතිශක්තිය වැඩි කර ගැනීමට ආයුර්වේදයේ ඇති උපදෙස් මොනවාද?

ආයුර්වේදයට අනුව ආහාරය යනු ප්‍රධානතම ඖෂධයයි. සිරුරේ ප්‍රතිශක්තිය (ව්‍යාධික්ෂමත්වය) වැඩි කර ගැනීමට පහත පියවර ගත හැකිය.

නැවුම් පලතුරු, දේශීය සහල්, කරවිල සහ නෙල්ලි වැනි ස්වාභාවික ආහාර භාවිතය.

සකස් කළ ආහාර (Processed Food), අධික සීනි සහ තෙල් සහිත ආහාරවලින් වැළකීම.

තිත්ත, කෂාය සහ සැර (ගම්මිරිස් වැනි) රසැති ආහාර (උදා: ලුණුවිල) ආහාරයට එක් කර ගැනීම.

නිසි වේලාවට ආහාර ගැනීම සහ ආහාර ජීර්ණය ක්‍රමවත්ව පවත්වා ගැනීම.

ප්‍රමාණවත් නින්ද, ව්‍යායාම සහ උදෑසන මඳ උණුසුම් ජලය පානය කිරීම.

යෝග සහ භාවනා මගින් මානසික සෞඛ්‍ය සුරැකීම.

ආයුර්වේද ක්‍රම අනුගමනය කරන අතරම පැප් පරීක්ෂණ වැනි වෛද්‍ය විද්‍යාත්මක පරීක්ෂණ සිදු කිරීමද ඉතා වැදගත් වේ.

මුල් අවස්ථාවේ හඳුනා ගත්තොත් මෙය සම්පූර්ණයෙන්ම සුව කළ හැකිද?

ඔව්, ගැබ්ගෙල පිළිකාව මුල් අවධියේදී හඳුනාගතහොත් සම්පූර්ණයෙන්ම සුව කළ හැකිය. මෙය ඉතා මන්දගාමිව වර්ධනය වන බැවින් පරීක්ෂණ මඟින් කල්තියා හඳුනාගැනීම පහසුය. ලැජ්ජාව හෝ බිය පසෙකලා නිසි වයසේදී වෛද්‍ය උපදෙස් ලබා ගැනීම වැදගත් වේ. මෙම වයිරසය ලිංගිකව බෝවන බැවින් මේ පිළිබඳව කාන්තාවන් මෙන්ම පුරුෂයන් ද දැනුවත් විය යුතුය.

කාන්තාවන් සඳහා දෙන සරලම උපදෙස් මොනවාද?

මට මේ රෝගය වැලඳෙන්නේ නැත” යන මිථ්‍යාවෙන් මිදී අදාළ පරීක්ෂණ සිදු කරගන්න.

බිය හෝ ලැජ්ජාව නිසා කාලය නාස්ති නොකරන්න.

අසාමාන්‍ය ලක්ෂණයක් දුටු සැණින් වෛද්‍යවරයකු හමුවන්න.

සෞඛ්‍යසම්පන්න සහ පිරිසුදු ජීවන රටාවකට හුරු වන්න.

ඔබ දන්නා කරුණු අන් අය සමඟ බෙදාගෙන ඔවුන්වද දැනුවත් කරන්න.

 

TEXT – දිලක්ෂි විමලසේන

You may also like

Leave a Comment

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?