අද වන විට බොහෝ දෙනෙක් තමන්ගේ පරිභෝජනය සඳහා අවශ්‍ය එළවළු සහ පලතුරු නිෙවසේදීම වගා කර ගැනීමට උනන්දු වෙති. එහෙත් වගාව ආරම්භ කළ මොහොතේ සිට අස්වැන්න නෙළන තෙක් විවිධ කෘමි හානි සහ රෝගාබාධයන්ට මුහුණ දීමට සිදුවීම සාමාන්‍ය දෙයකි. මෙවැනි අවස්ථාවලදී බොහෝ දෙනෙක් විසඳුම ලෙස තෝරා ගන්නේ පළිබෝධනාශක භාවිතයයි.
පළිබෝධනාශක යනු වගාවට හානිකර ජීවීන් මර්දනය කිරීමට නිපදවා ඇති රසායනික ද්‍රව්‍ය සමුදායකි. නිසි අවබෝධයකින් තොරව මේවා භාවිත කිරීම ඔබේත්, ඔබේ පවුලේ සාමාජිකයන්ගේත් සෞඛ්‍යයට මෙන්ම පරිසරයට ද දැඩි බලපෑම් එල්ල කළ හැකිය. විශේෂයෙන්ම ගෘහිණියක ලෙස ඔබ පළිබෝධනාශකයක් තෝරා ගැනීමේ සිට ඒවා පරිහරණය කිරීම සහ අස්වැන්න නෙළීම දක්වා අනුගමනය කළ යුතු විද්‍යාත්මක සහ ආරක්ෂිත ක්‍රමවේද පිළිබඳ මනා අවබෝධයකින් සිටීම ඉතා වැදගත් වේ.
පහත දැක්වෙන්නේ ඔබේ ගෙවතු වගාවේදී පළිබෝධනාශක ආරක්ෂිතව සහ කාර්යක්ෂමව භාවිත කරන්නේ කෙසේද යන්න පිළිබඳව ඔබ දැනගත යුතුම කරුණු කිහිපයකි.
පළිබෝධනාශකයක් තෝරා ගැනීමේදී සැලකිලිමත් විය යුතු කරුණු
පළිබෝධනාශකයක් තෝරා ගැනීමේදී සැලකිලිමත් විය යුතු ප්‍රධාන කරුණු කිහිපයක් තිබේ. මුලින්ම පළිබෝධනාශකය යොදන භෝගය කුමක්ද කියා හඳුනාගත යුතුය. එමෙන්ම එම භෝගයට ඇති වී තිබෙන හානිය කෘමි හානියක්ද, එසේත් නැතිනම් දිලීර ආසාදනයක් ද යන්න පිළිබඳව මනා අවබෝධයක් තිබිය යුතුය. මීට අමතරව, ශාකය පවතින්නේ කුමන අවධියක ද යන්නත් (කුඩා පැළයක් ද නැතහොත් අස්වනු නෙළන අවධියක ද) ඉතා වැදගත් වේ. පළිබෝධනාශකයක් (පළිබෝධනාශකයක්) යොදන්නේ නැතිව වෙනත් ක්‍රම මඟින් මෙම හානිය මර්දනය කරගත හැකිදැයි මුලින්ම සොයා බැලිය යුතුය. එසේ කළ නොහැකි අවස්ථාවකදී පමණක් නිවැරැදි පළිබෝධනාශකය තෝරා ගැනීමට පියවර ගන්න.
ලේබලයේ ඇති වර්ණ සංකේත සහ උපදෙස් හඳුනා ගනිමු
පළිබෝධනාශක බෝතලයක හෝ ඇසුරුමක ලේබලය දෙස බැලූ විට, එහි පහළින්ම එක් එක් වර්ගයට අදාළ වර්ණ තීරුවක් දැකිය හැකිය. මේ සඳහා රතු, කහ, නිල් සහ කොළ යන වර්ණ හතර භාවිත වේ. මෙම වර්ණ මඟින් කියැවෙන්නේ අදාළ පළිබෝධනාශකය මිනිසාට කෙතරම් විෂ සහිතද යන්නයි (විෂ මට්ටම)
රතු පැහැය
උග්‍ර විෂ සහිත වේ. මේ වන විට ශ්‍රී ලංකාවේ රතු ලේබලය සහිත පළිබෝධනාශක භාවිතය තහනම් කර ඇති බැවින් වෙෙළඳපොළේ ඒවා දැකිය නොහැකිය.
මෙම වර්ණ කේත පිළිබඳ දැනුම්වත් වීමෙන් තමන් භාවිත කරන ද්‍රව්‍යයේ ඇති අවදානම පිළිබඳව ගෘහිණියට ක්ෂණික අවබෝධයක් ලබාගත හැකිය.
අස්වැන්න නෙළීමේදී සැලකිලිමත් විය යුතු “පෙර අස්වනු කාලය”
පළිබෝධනාශක යනු අධික විෂ සහිත රසායනික ද්‍රව්‍ය බැවින්, ඒවා යෙදූ විගස අස්වැන්න නෙළීම ඉතා අනතුරුදායකය. රසායනික ද්‍රව්‍යවල විෂ මට්ටම අවම වන තෙක් අප රැඳී සිටිය යුතු කාලය ‘පෙර අස්වනු කාලය’ ලෙස හැඳින්වේ. මෙම කාලය පළිබෝධනාශකයෙන් පළිබෝධනාශකයට වෙනස් වේ (උදාහරණ ලෙස දින 7, 10 හෝ 14). ඔබ භාවිත කරන රසායනිකයේ ලේබලයේ සඳහන් එම නියමිත කාලය අවසන් වන තෙක් අස්වැන්න නෙළීමෙන් වැළකී සිටීමට වගබලා ගන්න.

ආරක්ෂිත ඇඳුම් සහ උපකරණ භාවිතය
පළිබෝධනාශක අපගේ සම, ඇස්, නාසය (ශ්වසනය) සහ මුඛය හරහා ශරීරගත විය හැකිය. මේ නිසා පළිබෝධනාශක යෙදීමට පෙර, යොදන අවස්ථාවේ සහ යෙදීමෙන් පසු යන අවස්ථා තුනේදීම දැඩි ලෙස ආරක්ෂාකාරී විය යුතුය.
ඇඳුම් පැලඳුම්:
වෙෙළඳපොළේ ඇති විශේෂ ආරක්ෂිත ඇඳුම් කට්ටල හෝ නිෙවසේ ඇති අත් දිග කමිස, දිග කලිසම්, බූට් සපත්තු, අත් මේස් (ග්ලවුස්), මුඛ ආවරණ සහ ඇස් ආවරණ භාවිත කරන්න.
පරිස්සම් වන්න:
රසායනික ද්‍රව්‍ය යොදන අතරතුර කිසිවක් අනුභව කිරීමෙන්, ජලය පානය කිරීමෙන් හෝ බුලත් විට හැපීමෙන් වළකින්න.
සුළං දිශාව:
සැමවිටම සුළං හමන දිශාවට ප්‍රතිවිරුද්ධව (පිටුපසින් පිටුපසට) ගමන් කරමින් රසායනික දියර ඉසීමට වගබලා ගන්න.
ගෙවත්තට පළිබෝධනාශක සුදුසුද? විකල්ප මොනවාද?
කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිර්දේශය වන්නේ කුඩා ගෙවතු සඳහා රසායනික පළිබෝධනාශක භාවිත නොකිරීමයි. ගෙවත්තක භෝග වර්ග කිහිපයක් ඉතා සුළු ඉඩක වගා කරන බැවින් විකල්ප ක්‍රම මඟින් ගැටලු විසඳා ගැනීම වඩාත් ප්‍රායෝගිකය.
කාබනික ක්‍රම: කාබනික පොහොර භාවිතය සහ ජෛව විද්‍යාත්මක ක්‍රම මගින් පළිබෝධකයින් පාලනය කළ හැකිය.
යාන්ත්‍රික ක්‍රම: පළිබෝධකයන් දුටු විට අතින් ඉවත් කිරීම හෝ රෝගී වූ ශාක පත්‍ර කඩා ඉවත් කර විනාශ කිරීම වැනි රසායනික නොවන ක්‍රම මඟින් ඔබේ ගෙවත්ත සුරක්ෂිත කරගත හැකිය.
TEXT – පූර්ණීමා ඉන්දීවරී
